ඖෂධ වර්ග 48ක මිල අඩු කිරිම හී පැසසුමට

Spread the love

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ තීරණයකට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම රෝගීන් ලැබූ විජයග්‍රහණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය  සිය 2016 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්තාවෙන් ප්‍රකාශ කරයි.

එම වාර්තාවට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම සහ සීනි පරිභෝජනය අවම කිරීම සඳහා වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කරයි. ඒ පිළිබඳව සෙසු රටවල් අධ්‍යයනයක නිරත විය යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අතර, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම බෝනොවන රෝග අවම කිරීම සඳහා රුකුලක් වන බව ද පෙන්වා දෙයි.

දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඇතුලු රෝග රැසකට භාවිත කරන ඖෂධ මෙහිදී මිල අඩු කර ඇත. වසරක දී ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙදපොල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් පමණ වෙයි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිමට ගත් තීරණය යහපත් බලපෑමක් ඇති කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මිල අඩු කිරීම යටතේ ඇතැම් ඖෂධවල මිල සියයට 85 කින් පමණ අඩු වී ඇත. 

අත්‍යාවශ්‍ය ඖෂධ වල මිල අඩු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අධ්‍යයනයක නිරත වී ඇත. එහිදී වැදගත් තොරතුරු රැසක් හෙළි වූ බවත් එම ක්‍රමවේදය සාර්ථක ක්‍රියාවලියක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ශ්‍රී ලංකාව රෝගී අයිතිවාසිකම් රැක ගැනීම සාක්ෂි සහිතව මෙහිදී පෙන්වා දී ඇත. එමගින් රෝගී ජනතාවට මුල්‍ය පහසුකමක් ද ලැබී ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම විශ්වීය සෞඛ්‍ය රැකවරණ මුලධර්මයට ද රුකුලක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටියි. තිරසර සංවර්ධන ඉළක්ක ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනට පුර්ණ සහයෝගය ලබාදෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.