කිරි බබ්බුන්ගේ දේශපාලනය

Spread the love

රටේ ඉදිරි පැවැත්ම සඳහා අපි අයත් දිස්ත්‍රික්කයෙන් ජනතා නියෝජිතයින් දියවන්නාව තරණය කරවනු ලබන්නේය. ජනතා පොරොන්දු පත්‍රය තුල ඔවුන් ලියනු ලබන තිර නාටකය බොහෝ සෙයින් වර්ණවත්ය. හරිද දැකුම්කළුය. කණට මිහිරිය. තාප්ප පුරා ඇලවුනු වෛවාරණ පෝස්ටර් තුල අප්පච්චිගේ පින්තූරය ලොකුවට ගසා තමන්ගේ පින්තූරය පොඩියට ගසා ඉල්ලකම ලොකුවට ලියන්නෙ අප්පච්චී විකුණා හෝ දියවන්නාවේ වරප්‍රසාද භුක්ති විඳීමටයි.

අප මේ කතා කරන්නේ එවන් ආකාරයට තමන්ගේ පියාගේ ජනප්‍රියත්වය විකුණා දියවන්නාව තරණය කල පුතෙක් සහ ඔහුගේ පසුපස යමින් සිඟිති ආතල් ගන්නා තවත් පුතෙකුගේ සිඟිති ආතල් එකක් ගැනය. පසුගිය දිනක රටේ ජනපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය වැඩසටහනකට සහභාගී වී ” මයිලෝ ” නැමති ක්ෂණික දියර පානයක් ගෙන එහි ඇති සීනි ප්‍රථිශතය වැඩි බවත්, එම නිසා එහි සීනි ප්‍රථිශතය අවම කර වෙළඳපලට නිකුත් කරන ලෙසත් එම කිරිපිටි සමාගම දැනුම් දුන්නේය. ඒ හරහා ඔහු සිදුකලේ තරවටුවකි. අද ලංකාවේ අධික රුධිර සීනි තත්වය නිසා පීඩා විඳින රෝගීන් බොහොමයක් සිටිති. ” මයිලෝ ” නැමති පානය බහුල වශයෙන් ක්‍රීඩාවන් සඳහාද අනුග්‍රහයක් දක්වන ආයතනයක් සේම ක්‍රීඩකයන් අතරද ජනප්‍රිය පානයකි. එවන් නිෂ්පාදනයක් සිදුකරනා සමාගමක් එහි ඇති ගුණාත්මක භාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ජනපතිවරයා සිදුකලේ තරවටුවක් සේම සමාජයට යහපත් ක්‍රියාවකි.

නමුත් මෙම කරුණ හාස්‍යට ගෙන ප්‍රථිවිරුද්ධ පාක්ෂිකයන්, විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මතධාරීන් සමාජජාලා ඔස්සේ මෙම ක්‍රියාව දැඩි උසුළු විසුදුළුවට ලක් කලේය. නමුත් ජනපතිවරයා සිදුකල මෙම කාර්ය සමාජයට යහපත් ආකල්පයකින් සිදුකල ක්‍රියාවක් මිස ඔහුට පෞද්ගලික ලාභප්‍රයෝජනයක් නැත. මේ ආකාරයෙන් ආදර්ශවත් අයුරින් හැසිරෙන ජනපතිවරුන් මෙම සමාජයේ සිටියාදැයි සැකයක් පවතී.

පසුගිය දිනක හිටපු ජනපති පුත් පා.ම. නාමල් රාජපක්ෂ සහ පා.ම. ඩී.වී. චානක විසින් ” මයිලෝ ” පැකට් දෙකක් අතට ගෙන ඡායාරූපයක් සමාජ ජාලා වෙත එක්කර තිබුනි. මීට ප්‍රථම ඔවුන් මෙවැනි ක්‍රියාවකට පෙලඹී තිබුනේ නැත. එසේම ජනපතිවරයාගේ මයිලෝ විරෝධය හරහා වෙනත් කිසිඳු දේශපාලනඥයෙකු මෙම ක්‍රියාව පිළිබඳව අවඥාවට ලක්කලේ නැත. කිසිසේත්ම මේ ආකාරයට ඡායාරූප ගෙන සමාජ ජාලා වලට එක් කලේ නැත. එවැනි ක්‍රියා නුසුදුසු බව වැදගත් සහ මහත්මා ගතිගුණ ඇති දේශපාලඥයන් දනී. සමාජයට යහපක් සිදුවේ නම් ඒ සඳහා ඔවුන් විරෝධයක් දක්වන්නේ ඇයි දැයි ගැටලුවක් පැනනගී. නාමල් රාජපක්ෂ රගර් ක්‍රීඩකයෙකි. ඔහුගේ කාල්ටන් ක්‍රිඩා සමාජයට මයිලෝ සමාගම කෝටි ගණනින් අනුග්‍රාහකත්වයන් දක්වා ඇත. සමහර විට ජනපතිවරයා විසින් සිදුකරන ලද සමාජයට යහපත් ක්‍රියාව නාමල්ට හිතවත් සමාගමට බලවත් පාඩුවක් සිදුවන්නට ඇත. නමුත් නාමල් රාජපක්ෂ සහ චානක යන මන්ත්‍රීවරුන් තමන්ගේ පුග්ගලික වරදානයන් උදෙසා ජනපතිවරයා විසින් සිදුකල ප්‍රකාශය අවඥාවට ලක්කර ඇත.

එය දේශපාලනඥයන්ට නුදුසුදු ලඳ බොළඳ ක්‍රියාවකි. වයසින් මුහුකුරා නොගිය ලපටි පැටවුන් ජනප්‍රියත්වය නිසා පාර්ලිමේන්තු පැමිණි පසු මාන්නය වැඩිවීම නිසා මෙවැනි ක්‍රියාවන් සිදුවේ. ඒවැනි උන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වී නැති බව කිව යුතුය. නොඑසේ නම් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු එකතුවී මොවුන්ගේ මොලය වර්ධනය කල යුතුය. අඩුම තරමේ නිවසෙහි පවත්වාගෙන යන කාල්ටන් පෙරපාලට හෝ ඇතුලු කල යුතුය. රටක දේශපාලනයට උචිත අන්දමට හැදියාව සකස් කල යුතුය. නාමල්ලා එදා පටන් කලේ තමන්ගේ පියාගේ චරිතය කෙලෙසන වැඩ බව අතීත කරුණු ගෙනහැර පායි. මහින්ද ජනපති වී සිටින අවධියේ ඩිලන්ත මාලගමුවගේ ලැම්බෝගිනි මෝටර් රථය පැදීම සඳහා කොල්ලුපිටිය සිට ගාලු මුවදොර අවට ප්‍රදේශයේ මාර්ගය හිතුමතේ වසා කාර් පැද රටේ ජනතාව අපහසුතාවයට ලක්කර සිය ආශාව සංසිඳුවා ගත්තේය. එතැනින් නොනැවතී මහින්දගෙන් පොලු පාරක්ද කෑවේ ” උඹ මට ගෙදර යන්න වැඩ කරනවා” දැයි අසමිනි. ඒ දෙය ඒ අයුරින්ම සිදුවිය. පුත්තුන්ගේ මෙවැනි ලඳ බොළඳ ක්‍රියා නිසා මහින්ද ජනතා උදහසට ලක්වී ගෙදර ගියේය. පුත්තු හැංගුණහ. දැන් නැවතත් කරළියට පැමිණ රඟමින් සිටී. ඒ තමන්ගේ ළඳ බොළඳ බව නැවතත් සමාජයට පෙන්වීම සඳහාය. නාමල්ගේ පසුපස වැටී තමන්ගේ අනාගතය අඳුරු කරගන්නා චානක මන්ත්‍රීවරයාට නම් අනුකම්පා කල යුතු බව සඳහන් කරමි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුණි, හිටපු ඇමතිවරුනි, ඔබලාට අද විපක්ෂයට වී සිටීමට සිදුව ඇත්තේ නාමල්ලා එදා කරපු වැරදි නිසාය. ඔබලාගේ වරදාන වරප්‍රසාද නොමැතිව අද පාරක් පාරක් ගානේ රස්තියාදු වන්නේ නාමල්ලා කරපු වැරදි නිසාය. අවසානයේ ඔබලාට සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කිවයුතු දෙයක් ඇත.

” මේ ගොනා බැඳදමන්න “