ගීතා ගාල්ලේ දේශපාලන වැඩවලට යළි සම්බන්ධ කරගන්න එපා!

Spread the love

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රිනි ගීතා කුමරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලට යළිත් සම්බන්ධ කර නොගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු පළාත් සභා මන්ත්‍රි එකමුතුව ඉල්ලීමක් කර ඇත.

එජනිස දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාගේ නිවෙසේදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පළාත් සභා මන්ත්‍රිවරුන් අතර පෙරේදා (25දා) පැවැති සාකච්ඡාවකදී මෙසේ පළාත් සභා මන්ත්‍රිවරුන් විසින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
මේ ඉල්ලීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදී ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසද මෙහි ඉල්ලීම වී ඇත.
මේ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නොමැති අතර අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද සහ හිටපු ඇමැති බැසිල් යන මහත්වරුන් දැනුවත් කරන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මහතා දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රි චම්ලි විතානාච්චි මහතාගෙන් “අප ” විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.
ඔව්, 25දා පැවැති රැස්වීමේදී අපි එවැනි ඉල්ලීමක් කළා. ඒ සඳහා පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 16 දෙනාගේ එකඟතාව ඇතිවයි ඉදිරිපත් කෙළේ. එම රැස්වීම සඳහා නොපැමිණි හතර දෙනෙක් ඉන්නවා. එහෙත් ඒ අය පවා ඒ ඉල්ලීමට එකඟයි. අපි කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනයට ගීතා කුමාරසිංහ මහත්මිය අවශ්‍ය නෑ. ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල අපි බලාගන්නවා. අවශ්‍ය නම් එතුමිය ජාතික ලැයිස්තු හරි මොනවා හරි එකකින් එන එකට අපි විරුද්ධ නෑ. එහෙත් ගාල්ල සක්‍රිය දේශපාලනය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි සියලු දෙනාගේ විරෝධත්වය ප්‍රකාශ කරන බවත් අවශ්‍ය නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම හෝ මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවද අපි රමේෂ් මන්ත්‍රිවරයාට පැවැසුවා. ඔහු කිව්වා මේ සම්බන්ධයෙන් පක්ෂයෙන් විමසා බලා තීරණයක් ලබා දෙනවා කියලා.

[rns_reactions]