ජනගහනය කෝටි 140ට ආසන්න චීනය පෘථිවිය තුළ ඇති දැවන්ත ලෝකයකි. මේ චීන ලෝකයට අයත් චෙන්දු (CHENGDU)නිරිතදිග චීනයේ සිචුන් (SICHUEN) ප්‍රාන්තයේ අගනගරය වේ. චෙන්දු නගරයේ ජනගහනය මිලියන 15ට ආසන්න වන නමුත් කලබල ගතිය අඩු, මනස්කාන්ත නගරයක් ලෙස මෙය ප්‍රකටය. එය අපට අත්දකින්නට ද හැකි විණි. එහි ජනගහනයට සාපේක්ෂව වාහන ධාවනය හෝ ගමනාගමනය හෝ එදිනෙදා ජනජීවිතය හෝ මොනතරම් නම් කලබලකාරී වටපිටාවක් නිර්මාණය කරනු ඇතිද යනුවෙන් නොදුටු නගරය ගැන සිතෙනු ඇත. නගරයේ සිට දසතට, කිලෝමීටර් සිය ගණන් දුරට අධිවේගී මාර්ග ජාලයක් ඇදී ගියත්, දිවා රෑ වෙනසක් නැතිව ඒවායේ වාහන පිරී ගියත්, කඩි රැළක් මෙන් වීදි සිසාරා මිනිසුන් ඹබ මොබ ඇදුනත්, කොළඹ නගරයේ දී දනවන වෙහෙස නම් එහි ගිය ගමන්වලදී අපට නොදැනුණි. මහල් 20, 30, 40, ඊටත් ඉහළට නැඟුණු ගොඩනැඟිලි හා කොන්ක්‍රීට් මාර්ග පද්ධති අතරින් ඉඩ ඇති සෑම තැනකින්ම ආවේණික ගස් නැගී සිටීමත් මේ මනස්කාන්ත නගරයට ආභරණයකි. ඊටත් වඩා එහි සන්සුන් බව ගෙන එන්නේ ඒ මිනිසුන් වෙතින් ප්‍රකට වෙන විනයානුකූල ගතිය බව අපගේ වැටහීමයි. චීන කොමියුනිස්ට් ක්‍රමය ගැන කටපාඩම් කළ මෙරට දේශපාලනඥයන් අපට පුරුදු කළේ කොයි දේට වුවද විරුද්ධ වෙන විරෝධාකල්පය ප්‍රගුණ කිරීම නමුත් චීන ජනතාව එයින් ඉගෙන ගත්තේ විනය ගරුක සමාජයක වටිනාකම බව වෙන්දු සංචාරයේදී හැම විටෙකම අපට කල්පනා විණි. නගරයෙන් දුර ඈතට වන්නට කලාතුරකින් තනි තනිව නිවාස දැක ගත හැකි නමුදු නගරබදව වෙසෙන චීන ජනතාවගේ වාසය මහල් නිවාසවල බව ද මෙහිදී සිහිපත් කළ යුතුයි. නීතිගරුක, විනය ගරුක සමාජයකට අවශ්‍යම සමාජයේ සාමූහික බව එමඟින් ද ශක්තිමත් කරනු ලැබේ. වෙන්දු නගරයට ආවේනික නෙත සිත පිනන සාමාකාමී ස්වභාවය ගොඩ නැඟි ඇත්තේ මිනිසුන්ගේ සිතිවිලි මතිනි.
අපගේ සංචාරක වැඩසටහනේ එක් අංගයක් වූයේ ලෙෂාන් ගියන්ට් (Lesshan Giant) බුද්ධ ප්‍රතිමාව දැක බලා ගැනීමයි. ගලක නෙළන ලද වාඩිවී සිටින ලොව උසම බුදු පිළිමය ලෙස මෙය සැලකේ. නූතන යුගයට පෙර එනම් ක්‍රි. ව. 713 – 803 අතර කාලයේ දී මෙය ඉදි කර ඇත.
වෙන්දු නගරයේ සිට කිලෝ මීටර් 150 ක් පමණ දුරින් පිහිටි ලෙෂාන් නගරයයට බටහිරින්, ගංගා තුනක සන්ධීස්ථානයක මෙය පිහිටයි. ආසියාවේ දිගම ගංගාව සේ සැලැකෙන යැන්ෂි (Yangtze) ගංගාව පිහිටන්නේ ද සෙචුන් ප්‍රාන්තයේ ය.
එදා ලෙෂාන් ගියන්ට් බුදු පිළිමය ඉදිකරන්නට මුල් වූ බව කියන භික්ෂුන් වහන්සේගේ එක් අධිෂ්ඨානයක් වී ඇත්තේ පිළිමය ඉදිරියෙන් ගලන ගඟේ ගමන් ගන්නා ඔරු පාරු කිසිවකට අනතුරක් නොවී නිරුපද්‍රිතව ගමනාන්තයට යන්නට මේ පිළිමය නිමවූ පසු හැකි විය යුතු බවයි. ඇතැම් විටෙක මෙම දැවන්ත ගඟ එහි ගමන් ගත් ජනයා පීඩාවට පත් කරන්නට ඇති නිසා එවැනි අධිෂ්ඨානයකට හේතු වන්නට ඇත.
අනෙක් අතට චීනයේ ගංගා, විශේෂයෙන් ම නගරාශ්‍රිතව ගලන ගංගා ගමනා ගමනය සඳහා යොදා ගත්තේ වර්තමානයේ පමණක් නොවන බව භික්ෂුන් වහන්සේගේ එකී අධිෂ්ඨානයෙන් පෙනී යයි. අදත් වෙන්දු හෝ බෙයිජිං හෝ චීනයේ සෑම ජනාකීර්ණ නගරයක් ආසන්යෙන් ගඟක් ගලා යා නම් දුම්රිය බස්රිය ගමන් කරන මාර්ග ඊට සමාන්තරව ඉදි වී ඇත. මේ ගංගා නවීන බෝට්ටු භාවිතා කරන ගමන් මාර්ග වී තිබීම ඊට හේතුවයි.
එදිනෙදා ගමන් බිමන් සඳහා මෙන්ම විනෝද සංචාර සඳහා ද ගොඩ බිම මෙන්ම ජලමාර්ග ද චීන ජනයා භාවිතයට ගනී. ගොඩබිම මාර්ග හා ජල මාර්ග අතර සහයෝගී ගමන් රටාවක් පවත්වා ගන්නට චීන ගමනා ගමන සැලැසුම් විනයානුකූල වී ඇත. එයම නගරයට, අවට වටපිටාවට අලංකාරයක් ගෙන දෙයි. ඇතැම් විටෙක මේ නගරයද, මේ ගමද කියා වෙන් කර ගත නොහැකි තරමට වටපිටාව සැකසී ඇත.
ජනාකීර්ණ බව හා වාහන තදබදය අඩු පළාතක සාමකාමී බව නගරය වෙතද කැන්දා ගැනීමට චීන නගර සැලැසුම් විශාල උත්සාහයක් ගෙන ඇති බව දක්නට හැකිය. අප එවැනි චිත්‍රයක් දකින්නේ ජනගහනය උතුරා පිටාර ගලන භූමියක, රටක වීම බව කල්පනා කරන විට එවැනි නගර සැලැසුම්වල වටිනාකම තව තවත් කැපී පෙනෙයි.
ලෙෂාන් ගියන්ට් බුදුපිළිමය වෙත අප ගමන් ගත් වෙන්දු නගරයෙන් ඈත ගමන පේන තෙක් මානයට විහිදෙන ගොවි බිම් අතරින් යෙදී තිබිණි. වී, ඉරිඟු, දොඩම්, මිදි පමණක් නොව නගරයෙන් ඈතට යන විට තේ වගාවද එහි විණි.
කෘෂිකාර්මික සශ්‍රීකත්වයට නිදසුනක් සේ චීනය විසින් ඔසවා තබනු ලබන වෙන්දු ‘කිරි පැණි මිටියාවත‘ නමින් අන්වර්ථ නාමයකින්ද හැඳින්වෙයි. ඊට හේතුව ලංකාවේ දකුණ කිරි – පැණි සඳහා ප්‍රසිද්ධ මෙන් වෙන්දු කිරි පැණියෙන් පිරී ඇති නිසා නොවේ.
කෘෂිකාර්මික සංවර්ධනයේ සාමාකාමී බව හා එහි සරුසාර ගතිය දනවන්නට එවැනි අන්වර්ත නාමයක් යොදා ගත් බව පැහැදිලියි. කෘෂිකාර්මික භෝග අතරින් වෙන්දු වඩාත් ජනප්‍රියව ඇත්තේ තේ සඳහාය. නගරයෙන් ඈත කුඩා කඳු ගැටවල මෙන්ම මිටියාවතේ ද තේ වැවී ඇති අයුරු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකාවේ තේ වගාවට වෙනස් එහි තේ වගාවේ එක් ලක්ෂණයක් ලෙස, ගස් අතර පරතරය වැඩිවීම දක්නට හැකි විණි. ඒ පරතරය වැඩි, තේ ගස් අඩු ඉඩක සරුවට වැඩී ඇති ගෝවා හෝ ප්‍රදේශයට ආවේණික වෙනත් භෝගයක් හෝ සරුවට වැඩී තිබීම සශ්‍රීක බව මෙන්ම අලංකාරයද දනවයි.
කෘෂිකාර්මික සරු බවක් ඇති වීම කෙරෙහි හේතු වූයේ චීනය සතුව ඉඩම් තිබීම පමණක්ම නොවන බව කිව යුතුයි. කඩිසර ගති සහිත චීන ජනතාවගේ වුවමනාව මෙන්ම නගරයෙන් ඈත ගමටම අධිවේගී මාර්ග පද්ධති ඉදිකිරීම වැනි යටිතල පහසුකම් සලසා රජය විසින් නිෂ්පාදන ආර්ථිකයකට දොරටු විවර කරදීමටද ඊට හේතු වී තිබේ.
චීන කොමියුනිස්ට් ක්‍රමය හේතු වූයේ නොසන්සුන් සමාජයකට මඟ පෑදීමට නොව හැකිතරම් හිතට සාමය ගෙන ඒමට බව සිතන්නට හැකිය. චීනයට ගොඩබට විට ඉක්මනින් දැනෙන සාමකාමී බව කෙරෙහි එවැනි රාජ්‍ය පාලන සැලැසුමක් ද හේතු වූවා නිසැකයි.
නූතන චීනය ගොඩ නඟන විප්ලවය ඇරැඹෙන්නේ ඉඩම්හිමි ප්‍රභූ පංතියට එරෙහිව නිර්දන පන්තියේ ජනයා දියත් කරන නිදහස් අරගලයෙනි. ඊට නායකත්වය දෙන්නේ මා ඹ් සේතුං නම් ලෝපතළ ප්‍රබල නායකයා ය. මෙතෙක් ලොව සිදුවූ දීර්ඝතම පාද යාත්‍රාව ලෙස සැලැකෙන චීන මහා පාගමන (1934 – 1935) මා ඹ් සේතුං නම් මහා මිනිසාගේ නායකත්වයෙන් දියත් කෙරුණු විප්ලවයේ ප්‍රධාන ක්‍රියාන්විතය යි. වසර එකහමාරක් එක දිගට, චීනයේ දස දෙසින් අතු ගංගා සේ ඇදී ආ මහා මිනිස් පවුර අවසානයේ බෙයිජිං අගනගරය මහ ගඟක් සේ එක්ව, මහජන චීනයේ නිදහස ප්‍රකාශ කෙරිණි. සඳ මත පා තැබූ මිනිසා පෘථිවි ග්‍රහයා මත පිහිටි යම් සලකුණක් දුටුවා නම් ඒ අන්කිසිවක් නොව චීන මහා ප්‍රාකාරයයි. එහි දැවන්ත බව කීමට තවත් අමුතු හැඳින්වීම් අවශ්‍ය නොවේ.
චීන මහා ප්‍රාකාරයට නොදෙවැනි දැවන්ත මිනිස් පවුරක් දීර්ඝ පා ගමන වෙනුවෙන් එක් රැස් වූ බව පැවසේ. රටේ දසතින් ගමන් අරැඹමින් තැන තැන කඳවුරු බැඳ, ඉඩම් හිමි පන්තියේ බළ ඇණි සමඟ සටන් වැද, පොදු ජන නිදහස තහවුරු කර ගත් බව කියැවෙන ස්මාරක අදටත් චීනයේ සෑම පළාතකම වාගේ වෙයි. වෙන්දු නගරයෙන් කි. මී. සියයකට එහා පිහිටි රතු සෙබළ ස්මාරකය, එදා මේ පාගමන සඳහා කඳවුරු බැඳගත් එවැනි ප්‍රධාන ස්ථාන කිහිපයෙන් එකකි. මේ ප්‍රෙද්ශය ජීවත්වීමට ප්‍රිය උපදවන ගම්මාන සිරිය නොඅඩු වුවද ගමනාගමනය, සන්නිවේදනය, වැනි යටිතල පහසුකම් ගෝලීයකරණයටම යා වී ඇත. එහෙත් ඒ විවෘත බව චීනයේ අනන්‍යතාව රැකෙන ලෙසිනි. ලෝකයට මුහුණ දීම පිණීස අවශ්‍ය කරන ඒ ශක්තිය සාම්ප්‍රදායික චීන සංස්කෘතියෙන් ගලා එන්නක් වුව ද සාමූහික බව හා විනය ගරුක සමාජය තව දුරටත් ශක්තිමත් කළේ තවමත් දශක අටක් පමණ වයස, දීර්ඝ පා ගමන මතින් නැඟුණු රතු හමුදාවේ විප්ලවයයි.
වෙන්දු සංචාරයේ දී නගරයේ මෙන්ම ඈත පිටිසර දී ද චීනයට ආවේණික රසවත් ආහාර පානවලින් සංග්‍රහ ලැබිණි.
අපට හුරු කන්කුං වැනි දෑ, මස් වර්ග, මාළු වර්ග, අපට නුහුරු විවිධ සුප් වර්ග, එමෙන්ම චීන වයින් වැනි දෑ, චීනයේ ජාතික ආහාරපාන දක්වාම, තරු පහේ හෝටල්වල මෙනු පත දක්වාම පැමිණියේ දීර්ඝ පාගමනේදී චීන ජනයා විඳි දුෂ්කර ජීවිත ඔස්සේයැයි ඔවුන් තම නිදහස වෙනුවෙන් විඳි අනන්ත දුෂ්කරතා අතර කුස ගින්න වෙනුවෙන් මාරාන්තික සටනක යෙදුණු බව කියැවෙයි.
තම නිදහස දිනා ගැනීම වෙනුවෙන් පා ගමනේ නිරතවන අතර, කුසගින්න ඉවසිය නොහැකි තැන, කෑමට කිසිම දෙයක් නැති විට, තම ඉණ පටිය තම්බා සුප් සාදා බීවාලු. කංකුං වැනි පලා වර්ග ආහාරයට ගන්නට පුරුදු වී ඉතිරි වූ බත් පල්වෙන්නට තබා අවශ්‍ය මධ්‍යසාර පෙරා ගත්තාලු.
අද අන්තර්ජාතික තලයේ ඉල්ලුමක් ඇති චීන වයින් වැඩි දියුණු වී ඇත්තේ ඒ ඔස්සේය. අපට නුහුරු සර්පයින් අනුභවය වැනි පුරුදු චීන සමාජයට ඇති වූයේ ද පා ගමනේ දී අත්විඳින්නට වූ ආහාර හිඟයට පිළියමක් ලෙස කැලයේ දී හමු වන හැකි සෑම දෙයක්ම ආහාරයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. සටන් මඟ දී තමන්ගේ ජීවිත රකින්ට මුල් වූ ඒ සෑම ආහාර පානයක් ම අද චීන ජනයාගේ ජාතික ආහාර පාන පමණක් නොව චීනයට ඇදී එන සංචාරකයාගේ විශාල ඉල්ලුමක් සහිත ආහාර පාන බවට ද පත්ව ඇත. එපමණක් නොව පාගමනේ දී විඩාවට පත් ජනයා දිරි ගැන්වීමට යොදා ගත් ගැමි සංගීතය හෝ ඔපෙරො හෝ නූතන චීනයේ විඩාව නිවන සංගීත සම්ප්‍රදායන් බවට පති විණි. එය වෙනමම සාකච්ඡාවට ගත යුතු සංස්කෘතික කතාවකි.
[rns_reactions]