ජනපති සංකල්පයෙන් ඉදිවන රාජගිරිය ගුවන් පාලම අද හෙටම ජනතා අයිතියට

Spread the love

රටක් සංවර්ධනයේ නිම්වළලු කරා පිය නඟින කල ඊට ප්‍රබලම දායකත්වයක් සපයනුයේ එරට මාර්ග පද්ධතිය බව අවිවාදිතය. ඒ බව පසක් කරන හොඳම උදාහරණයක් සපයන රටක් හැටියට මැලේසියාව හැඳින්විය හැකිය. ඒ අනුව වර්තමානයේ මෙරට මාර්ග පද්ධතියෙහිද ශීඝ්‍ර සංවර්ධනයක් සිදුවන බවක් පෙනෙන්නට තිබෙන ඉදිකිරීම් බොහෝ සේ දක්නට ලැබේ. එලෙස නව අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ඉදිවෙනවා සේම ජනාකීර්ණ පෙදෙස්වල පවතින මාර්ග තදබදයට පිළියම් සොයන ඉදිකිරීම් ද සිදු වෙමින් පවතී.
වර්තමාන යහපාලන රජය බලයට පත්වී කෙටි කලක් තුළ ගත් තීන්දු තීරණවල මල්පල හටගනිමින් තිබෙන අයුරු පසක් කරමින් රාජගිරිය මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ වැඩ කටයුතු මේ දිනවල ලහි ලහියේ නිම වෙමින් පවතී.
මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණයෙන්, ස්පාඤ්ඤ රජයේ ණය ආධාර මත ඉදිවන මේ ගුවන් පාලමේ සියලු ඉදිකිරීම් ස්පාඤ්ඤයේ සෙන්චූනියන් සමාගම සහ මෙරට ඇක්සස් සමාගම විසින් සිදු කරනු ලබයි. මීටර් 532ක දිගින් සහ මීටර් 21ක පළලින් යුත් මංතීරු හතරකින් සමන්විත පාලම සඳහා රුපියල් මිලියන 4700ක පමණ මුදලක් වැයවෙතැයි ගණන් බලා ඇත.

දිනකට වාහන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් එහා-මෙහා ගමන් කරන රාජගිරිය මංසන්ධිය යනු මෙරට තුළ තිබෙන අධික වාහන තදබදයක් පවතින ප්‍රධාන මංසන්ධියක් ලෙස සැලැකේ. එම ගුවන් පාලම ඉදිවන රාජගිරියේ වැලිකඩ හන්දියෙන් දිශාවන් හතකට විහිදෙන මාර්ග පද්ධතියක් සහිත ඉතාම සංකීර්ණ වාහන හැසිරවීමක් සිදුවන බව ගුවන් පාලමේ ව්‍යාපෘති ඉන්ජිනේරු හිමන්ත ජයලත් මහතා අපට පැවැසීය. එසේම ඒ මහතා පවසා සිටියේ එම මන්සන්ධියේ පවතින දැඩි වාහන තදබදය නිසා ඒ අවට මන්සන්ධිවලද පවතින අධික තදබදය නිරාකරණය කිරීමට අපහසු වී තිබෙන බවකි.

මෙලෙස අධික වාහන තදබදයක් පවතින මොහොතේදී එම මාර්ගයේ වාහනවල වේගය පැයට කිලෝමීටර් දෙකක පමණ ඉතාම මන්දගාමී තත්ත්වයක් පවතින බවක් ද වාර්තා වේ. එවැනි හේතු කාරණා නිසා රටක් වශයෙන් මෙරටට සිදුවන පාඩුව සුළුපටු නොවන හෙයින් වර්තමාන රජය ගත් ඉතාම කාලෝචිත සහ කඩිනම් තීන්දුවක් ලෙස මේ ගුවන් පාලම ඉදිකිරීමට සැලැසුම් කිරීම සැලැකිය හැකි බව බොහෝ දෙනකුගේ අදහසයි.

පාලමේ ඉදිකිරීම් ගැන ව්‍යාපෘති ඉන්ජිනේරු හිමන්ත වැඩිදුරටත් පවසා සිටියේ, 2015 වර්ෂයේ තමයි මේ පාලම ඉදිකිරීමට ගිවිසුම් අස්සන් කළේ. 2016 වර්ෂයේයි වැඩ ආරම්භ කළේ. උතුරු, දකුණු පාලම ලෙස අදියර දෙකකින් වැඩ අවසන් කරන්න මුලින් සැලැසුම් කළේ. ඒ වගේම 2018 ජනවාරිවලයි මෙහි වැඩ අවසන් කොට ජනතා අයිතියට පත්කිරීමට සැලැසුම් කළේ. එහෙත් අවැසි සියලු කටයුතු වෙලාවට කලාවට කඩිනම්ව සිදුවූ නිසා ලබන දෙසැම්බර්වල අදියර දෙකෙහිම වැඩ අවසන් කොට 2017 ජනවාරි මාසයේදී ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව ඔහු පවසයි.
ඒ අනුව සියලු වැඩ කටයුතු කඩිනම්ව සිදුවූ හෙයින් නියමිත කාලයට අවුරුද්දකටත් කලින් වැඩ අවසන් කිරීමට නියමිත ගුවන් පාලමේ තාක්ෂණික ගැටලුවක් ගැන පසුගිය දිනවල ඇතැම් දෙනා ප්‍රශ්න මතු කළහ. එම සියලු පැනයන්ට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු නිහාල් සූරියආරච්චි මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

“මේ පාලමේ ඔය කියන විදිහේ කිසිම තාක්ෂණික ගැටලුකාරී තත්ත්වයක් නැහැ. අපි ඒ ගැන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මඟින් සියලු දේ පරීක්ෂා කර වාර්තාවක් ගත්තා. ඒ මඟින් මේ පාලම ඉතාම විශිෂ්ට ඉදිකිරීමක් බව සනාථ කර තිබෙනවා. පොඩි ගැටලුවක් පැනනැඟුණේ එකලස් කිරීමේ කටයුතුවලදී. මොකද මෙහි සියලු කොටස් ස්පාඤ්ඤයේ එකලස් කරලා ගෙනාවේ. පාලමේ තිබෙන වංගු හැඩය නිසා මධ්‍ය ලක්ෂ්‍යයේ සිට කුඩා ප්‍රමාණයක් පැත්තකට යෑමක් සිදු වෙනවා. ඒ සියලු දේ කිසිම ගැටලුකාරී තත්ත්වයක් නොවන බව මොරටු ඉංජිනේරු පීඨය සියලු දේ පරිගණක තාක්ෂණයෙන් සනාථ කළා.”

තව නොබෝ දිනකින් ජනයාට විවෘත වන රාජගිරිය ගුවන් පාලම යුරෝපීය සම්මතයන්ට අනුව ඉදිකරමින් යකඩ මත කොන්ක්‍රීට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප්‍රථම ගුවන් පාලම ලෙසද ඉතිහාසගත වේ. පාලම ඉදිකිරීමෙන් අනතුරුව රාජගිරිය අවට මාර්ගවල පවතින තදබදය තුරන් වී වර්තමානයේ පවතින වේග සීමාව අට ගුණයකින් පමණ ඉහළ යා හැකි බවට සැලැසුම් කර ඇතැයි ව්‍යාපෘති ඉංජිනේරු හිමන්ත පවසා සිටියේය

[rns_reactions]