ජාතිය ගොඩනගන්න ආ SF ලොකු පොලිසියට කොටු කරගත්තේ මෙහෙමයි.

Spread the love

කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් රථයක් …පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධව විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (26දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ටියුෂන් ගුරුවරයකු භාවිත කළ සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් රථයක් කල්බදු නොගෙවීම නිසා අත්පත් කර ගැනීමේ නිලධාරීන් විසින් අත්පත් කරගෙන කොළඹ ප්‍රදේශයට රැගෙන යමින් තිබියදී රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත එය පැහැරගෙන අයිතිකරුට භාරදී පොලිස් අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් දින පහක් තිස්සේ කට්ටි පනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර එස්.එෆ්. ලොක්කා ඔහුට අයත් පැති වීදුරු අඳුරු කරන ලද සුදු පැහැති වෑන් රථයෙන් දහයියාගම දෙස සිට ජයන්ති මාවත දෙසට ගමන් කරන බවට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේන යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ වෑන් රථය පසුපස හඹාගොස් මඟ අහුරා අනුරාධපුර දහයියාගම හන්දියේ පිහිටි ආරක්ෂිත දුම්රිය ගේට්ටුව අසලදී අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබූහ.

සැකකාර එස්.එෆ්. ලොක්කා පලා යෑමට උත්සාහ කළ හැකි නිසා ඒ අවස්ථාවේම ඔහුගේ දෙඅතට විලංගු දැමීමට පොලිසිය කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් වෑන් රථය දැඩි සෝදිසියට ලක් කළ අවස්ථාවේ යුද හමුදාව හා ත්‍රස්තවාදීන් යුද සමයේදී භාවිත කළ විදේශීය ජීව අත්බෝම්බයක් සූක්ෂ්මව රථයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

මොහු යුද හමුදා විශේෂ කාර්ය බළකා සෙබළකු බව පැවැසුවත් ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බළමුළුවේ සේවය කරමින් සිටියදී සේවයෙන් පලා විත් සිටින්නකු බව පොලිසිය පැවැසූ අතර මූල්‍ය සමාගම රැගෙන ගිය අවුට් ලෑන්ඩර් රථය පැහැර ගැනීමට සම්බන්ධ වී පොලිසියට බියෙන් තවත් සැකකරුවන් තිදෙනකු සැඟවී සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පැවැසුවේය.

පසුගියදා (21දා) එස්.එෆ්. ලොක්කා ඇතුළු පිරිස අනුරාධපුර මල්අතු පටුමඟ ප්‍රදේශයේදී අත්පත් කර ගැනීමේ නිලධාරීන් අත්පත් කරගෙන කොළඹට ගෙනයමින් තිබූ ජීප් රථය පැහැර ගෙන එහි හිමිකරු වන ටියුෂන් ගුරුවරයාට භාරදී තිබූ අතර ගුරුවරයා ජීප් රථය කුරුන්දන්කුලම ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී පොලිසිය අත්අඩංගුවට ගත්තේය. සැකකාර එස්.එෆ්. ලොක්කා වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීම හා ඔහුගේ රාත්‍රි සමාජ ශාලාවට පහරදී අලාභ කිරීම සම්බන්ධයෙන් හා සමාජ ශාලාවට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම යන චෝදනාවන්ට මහාධිකරණයේ දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින්නෙකි.
සමාජ ජාල වෙබ් අඩවි වන ෆේස්බුක්, යූ ටියුබ් හරහා මොහු සිංහලයා වෙනුවෙන් පෙනී සිටින බවට හඟවමින් සමාජයේ ධාර්මික මුහුණුවරක් ගැනීමට කටයුතු කරමින් සිටින බවද පොලිසිය පවසයි.
එහෙත් මොහු කප්පම් ගැනීම්, පුද්ගලයන්ට පහරදීම්, මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ තැනැත්තකු බවද පොලිසිය සඳහන් කරයි.

[rns_reactions]