ජැෆ්නා කිංග්ස් Vsගෝල් මාවල්ස් : අවසන් පන්දුවෙන් ගාල්ල ගොඩ යයි

ජැෆ්නා කිංග්ස්  Vsගෝල් මාවල්ස් : අවසන් පන්දුවෙන් ගාල්ල ගොඩ යයි
Spread the love

LPL-5 ක්‍රිකට් තරාවලියේ දෙවැනි තරගයේදී ප්‍රබල සටනකින් පසු ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව අවසන් පන්දුවේදී ජය වාර්තා කිරීමට ගෝල් මාවල්ස් කණ්ඩායම අද (02 දා) පස්වරුවේ සමත්විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 03 ක් ලබාගත යුතු වූ අතර පන්දුවට පහර දුන් සහන් ආරච්චිගේ ෆයින් ලෙග් කලාපයට ඉහළින් එල්ල කරන හතරේ පහරත් සමඟ කඩුලු 5 ක ජයක් ගෝල් කණ්ඩායමට හිමිවිය.

පැතුම් නිස්සංක (51), සහ අවිශ්ක ප්‍රනාන්දුගේ (59) අර්ධ ශතක වලින් හැඩ වුණු දෙවැනි කඩුල්ලේ ලකුණු 80 ක සම්බන්ධතාව පෙරටුකොට ගෙන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 178 ක ඉලක්කයක් ගෝල් හමුවේ ලබා දුන් නමුත් කඩුලු 5 ක් දැවී ගොස් තිබියදී ඔවුහු ඉලක්කය සපුරා ගත්හ.

ගෝල් කණ්ඩායමට අවසන් පන්දුවාර 4 දී ලකුණු 49 ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වුවත්, පවර් බ්ලාස්ට් අවස්ථාවට හිමි එක් පන්දුවාරයක් වන 17 වැනි පන්දුවාරයත්, අනතුරුව යැවුණු 18 වැනි පන්දුවාරයත් අවසන් වන විට එම පරතරය පන්දු 12 කදී ලකුණු 20 දක්වා අඩු පරතරයකට රැගෙන ඒමට භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ දෙදෙනා සමත්වූහ. ඊට පෙර පළමු කඩුල්ල වෙනුවෙන් නායක නිරෝෂන් දික්වැල්ල සහ ඇලෙක්ස් හේල්ස් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන්පන්දු 43 කදී වේගවත් ලකුණු 66 ක අඩිතාලමක් එක් කර දුන් අතර එහිදී දික්වැල්ලගේ දායකත්වය පන්දු 27 කදී ලකුණු 47 ක් විය. හේල්ස් ගේ ලකුණු 65 ක ඉනිම සඳහා ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් එල්ල කළේය.

අවසන් පන්දු 6 දී ලකුණු 09 ක ඉලකක්යක් ගෝල් පිලට හිමිවූ අතර දෙවැනි පන්දුවම හතරේ සීමාව වෙත යැවීමට ජනිත් ලියනගේ සමත්වූවේය. එහෙත් එවැනිම පහරක් එල්ල කිරීමට යෑමේදී ජනිත් ලියනගේ තෙවැනි පන්දුවේදී දැවී ගියේය. කෙසේ වෙත්ත අවසන් පන්දුවේ ලකුණු 3 ක අභියෝගය හතරේ පහරක් එල්ල කරමින් තරගය නිමා කිරීමට ආරච්චිගේ සමත්වූවේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ලකුණු 04 කට දැවී ගියද දෙවැනි කඩුල්ලට එක්වුණු අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක සමගින් ලකුණු 81 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වූහ. පන්දු 48 කට මුහුණ දුන් අවිශ්ක හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 59 ක්ද පැතුම් නිස්සංක හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ද සමගින් පන්දු 33 කදී ලකුණු 51 ක්ද රැස් කළහ.

නිස්සංකගේ දැවී යෑමත් සමඟ ලකුණු 25 ක් ඇතුළත ජැෆ්නා කණ්ඩායමේ කඩුලු 3 ක් බිඳ වැටුණු නමුත්, අනතුරවු පිටියට පිවිසි චරිත් අසලංක (33) සහ ධනංජය ද සිල්වා (18) වැටී සිටි ජැෆ්නා පිල ඔසවා තැබූහ. මෙවර වෙන්දේසියේදී ඩොලර් ලක්ෂයක මුදලකට අලෙවි වුණු ඉසුරු උදාන යවන ලද පන්දුවාර 4 දී ලකුණු 60 ක් උදුරා ගත් ජැෆ්නා පිතිකරුවෝ අද දිනයේදී ඔහුට කලකට අමතක නොවන මතකයක් එක් කර දුන්හ.

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 177 යි –

(අවිශ්ක ප්‍රනාන්දු 59, පැතුම් නිස්ංක 51, චරිත් අසලංක 33, ධනජය ද සිල්වා 18, ඩ්වයින් ප්‍රි ටෝරියස් 23/2, ඉසුරු උදාන 60/2, සහූර් ඛාන් 34/3)

ගාල්ල මාවල්ස් පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 179 යි –

(නිරෝෂන් දික්වැල්ල 47, ඇලෙක්ස් හේල්ස් 65, ටිම් සීෆර්ට් 10, භානුක රාජපක්ෂ 13, ජනිත් ලියනගේ 25, අසිත ප්‍රනාන්දු 40/2, ෆේබියන් ඇලන් 33/2) 

Sources – Sri Lanka Cricket