ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන නිසා වසන්ත මුදලිගේ ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලාලු

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන නිසා වසන්ත මුදලිගේ ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලාලු
Spread the love

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට කිසිදු ගිවිසුමකට එළැඹීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජන අරගල සන්ධානයේ ජාතික විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණයවල පොලී අනුපාතය මුලින් 5%ත් 7%ත් අතර පැවති බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ රජය මෙය 8.2% දක්වා වැඩි කර පසුව 7.4% දක්වා අඩු කර ඇති බවත් පෙත්සම්කරු කියා සිටී.

මේ හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 16.4 සිට ඩොලර් බිලියන 19.1 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාව මත විශාල ආර්ථික බරක් පැටවී ඇති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා ජනතාවගේ මූලික මානව හිමිකම් කඩවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ වසන්ත මුදලිගේ මෙසේ පැවසීය, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම මත රජය යෝජනා කරන ආර්ථික විසඳුම් වත්මන් ආර්ථික අර්බුදයට කිසිවිටෙකත් ස්ථිරසාර විසඳුම් වන බව අපි විශ්වාස කරන්නේ නැහැ. බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පිටවීමේ ව්‍යාපාරයට අපි අඛණ්ඩව සහාය සහ නායකත්වය ලබා දෙනවා”

Post Comment