දේශපාලනය තුළ “තනි පුද්ගලයෙක් අත ඇති බලයට විය යුතු දෙය” ජනපති කියයි

Spread the love

නොඛෙදුණු ඒකීය රාජ්‍යයක සියලූ ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැගෙන ව්‍යවස්ථාවක් මගින් පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් අද (03) පස්වරුවේ පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි.

පාර්ලිමෙන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම සහය ඒ සඳහා අපේක්ෂා කරන බව ද කියා සිටියා.

“තනි පුද්ගලයෙක් අත ඇති බලය සාමුහිකත්වයට යොමුවිය යුතු බැවින් එම දේශපාලන න්‍යාය ධර්මය තුළ කටයුතු කරමින් රටේ ආර්ථීක සමෘද්ධිය ඇති කිරීමට කැපවෙමු” යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහිදී සියලූදෙනාට ආරාධනා කළා.

එමෙන්ම ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ගැටුම් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය සඳහන් කළ ජනාධිපතිවරයා ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් වූ උත්තරිතර ආයතනය ලෙස පාර්ලිමේන්තුවට ලැබී ඇති ව්‍යවස්ථාදායක බලය කිසිසේත් කිසිවෙකුට අභියෝගයක් නොවන ආකාරයෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම විධායකයේ තිබිය යුතු ක්‍රමිකබව සහ විධිමත්බව තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින් නීතියේ ආධිපත්‍යය ද තහවුරු කළයුතු බව කියා සිටියා.

නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ දී අධිකරණයට ස්වාධීනව හා අපක්ෂපාතීව කටයුතු කිරීමේ අයිතිය තහවුරුකර දියයුතු බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළා.
 
70 වසරක කීර්තිමත් පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සුවිශේෂී මෙහෙවරක නිරතවූ සියලූ දේශපාලන නායකයින් ද මෙහිදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලැබුවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුථ දේශපාලන නායකයින් විසින් සභාව ඇමතූ අතර සාර්ක් රාජ්‍යයන් හි සියලූ පාර්ලිමේන්තුවල කතානායකවරු, නියෝජ්‍ය කතානායකවරු ඇතුථ දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මීට එක්ව සිටියා.

[rns_reactions]