නිරෝෂාගේ නැටිල්ලට සැමියා අකමැතිද? පුවත්පතක් ඇය සමග කළ සංවාදයක සටහනයි..

Spread the love

දක්ෂ රංගන ශිල්පිණියක් ලෙස වගේම නර්තන ශිල්පිණියක ලෙස නිරෝෂා තලගල කා අතරත් සිත් දිනාගෙන සිටින්නියක්.පහුගිය කාලේ පුංචි තිරයේ වගේම රිදී තිරයේත් නිතර නිතර දක්නට ලැබුණු නිරෝෂා මේ දවස් වල නම් ටිකක් නිහඩ වෙලා වගේ තමයි පේන්න තියෙන්නේ.මේ පුවත්පතක් ඇය සමග කළ සංවාදයක සටහනයි..

නිරෝෂා අල්ලගන්නත් අමාරුයිනේ. දැන් ගොඩක් කාර්යබහුලයි වගේ?

පසුගිය කාලේ නම් රංගන කටයුතුවලට ගොඩක් කාර්යබහුල වුණා. හැම නාළිකාවේම ගොඩක් වෙලාවට පේන්න හිටියා. වෙලාවකට හිතුණා පේන්න ඉන්නවා වැඩීද දන්නේ නැහැ කියලත්. ඒ නිසා මේ දවස්වල තෝර බේරගෙන වැඩ කිහිපයකට සම්බන්ධ වෙනවා. හාර කෝටිය ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. තවත් අලුත් නාට්‍යයක වැඩ ඉදිරියේදී පටන් ගන්නත් තියෙනවා.

පේනවා වැඩි නිසාම විතර ද තෝරා බේරා ගැනීම් කරන්නේ?

ඇත්තටම මට මේතාක් ලැබුණේ විවිධ චරිත. මට නොදැනීම මම චරිතාංග රංගන ශිල්පිනියක් වුණා. ඉතිං ඒ පසුබිමත් එක්ක මම කැමැති වුණේ නැහැ එහෙන් මෙහෙත් එන චරිත කරන්න. මට හරියන චරිත හම්බවුණෙත් නැති අවස්ථාවල ඔක්කෝම දේවල් බදාගෙන කරනවාට වඩා කරන වැඩ ටික පාඩුවේ කරගෙන යන එක හොඳයි කියලා හිතුවා.

දැන් නැටිල්ලෙත් ඉවරයක් නෑ වගේ?

මේ අවුරුද්දේ පටන් ගැන්ම එක්ක මම හිතුවා නර්තන කණ්ඩායමකට මුල් තැන දෙන්න ඕන කියලා. ඒ නිසා රිහර්සල්වලට අලුත් ළමයි පුහුණු කිරීම්වලටත් කාලය යොදවනවා. ඒ වගේම මේ දවස්වල නැකත් තිබෙන නිසා, වෙඩින්වලට නර්තන කණ්ඩායම සම්බන්ධ කරන වැඩත් තියෙනවා.

නිරෝෂා නර්තන කණ්ඩායම නියෝජනය කරන්නේ අඩුවෙන්ද?

නර්තන කණ්ඩායම සම්බන්ධ වෙන හැම ඉවෙන්ට් එකක්ම මම නියෝජනය කරන්නේ නැහැ. මම සහභාගි විය යුතුම තැනක් නම් තමයි මම එයට සම්බන්ධ වෙන්නේ. මම ඒ වැඩේට සම්බන්ධ වෙන්න අවශ්‍යද නැද්ද කියන එක සංවිධායකයන්ගෙන් අහලා බලනවා.මම රංගන ශිල්පිනියක් නිසා මට නටන්න පුළුවන් තැන් වගේම බැරි තැන් තියෙනවා. නටන්න බැරි තැන්වල මම නටන්නේ නැහැ.

නිරෝෂා නම පාවිච්චි කරලා නර්තන කණ්ඩායම ගොඩදාගන්න හදනවා කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන් නේද?

මම මෙතුවක් කාලයක් එහෙම කරලා නැහැ. මම එනවා කියලා කිසිම වැඩකට නොගිහින් ඉඳලා නැහැ. මම වැඩක් භාර ගනිද්දී මාව ඒ තැනට ඕනද නැද්ද මට ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන්ද බැරිද කියලා කලින්ම දැනුවත් කරනවා. කවදාවත් මම සම්බන්ධ වෙනවා කියලා නර්තන කණ්ඩායම ගොඩදාගෙන නැහැ. මම කරන වැඩේ හරියට කරනවා. කරන දෙයට බොරුවක් කරන්නේ නැහැ.

නිරෝෂා නර්තන අංගයකට සම්බන්ධ වෙන්න ලොකු ගණන් ඉල්ලනවලු නේද?

මෑත කාලයේ මම දැකපු දෙයක් තමයි නර්තන කණ්ඩායම් ගොඩක් අඩු මුදලට වැඩ කරනවා. නමුත් මගේ කණ්ඩායමේ ළමයින්ට හොඳ මාර්කට් එකක් වගේම හොඳ පිළිගැනීමක් හැදිලා තියෙනවා. මගේ ළමයින්ගේ ගාණ වැඩියි. මාව යම් වැඩසටහනකට අවශ්‍ය නම් මම ඒත් මුදලේ වෙනසක් කරනවා. මගේ නර්තන කණ්ඩායමේ අයකිරීම වැඩියි තමයි. නමුත් අපිට වැඩ අඩුත් නැහැ.

නිරෝෂාගේ නැටිලිවලට සැමියාගේ අකැමැත්තක් නැද්ද?

එයා කවදාවත් මට ඒ දේවල්වලට මුකුත් කියන්නේ නැහැ. මම මගේ ඩාන්සින් ටීචර්ගේ ගෘෘප් එකේ නර්තනවලට සම්බන්ධ වෙද්දී නම් එයා ටිකක් අකැමැති වුණා. නමුත් මගේම ටීම් එකක නටනවාට එයාගේ අකැමැත්තක් නැහැ.

දැන් සැමියා ලංකාවට ඇවිත් නේ ඉන්නේ. ආයෙත් සැමියා විදේශගත වෙයිද?

ආපහු එයාව ලංකාවෙන් යවන්නේ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ.

ඔය තීරණය ගත්තේ දැන් වෙන් වෙලා හිටියා ඇති නිසාද?

ඔව්. දැන් දෙතැනක හිටියා ඇති. මම එයාට කිව්වා ආයෙත් විදේශගත වෙනවා නම් මාවත් එක්ක යන්න කියලා. එයා කැමැති නැහැ මගේ හැකියාවන් නැති කර ගන්නවට. ඒ නිසා අපි දෙන්නම ලංකාවේ ඉඳියි.

සැමියා නිරෝෂාට තහංචි දාන්නෙම නැද්ද?

එයා බිරියව හිර කරන සැමියෙක් නෙවෙයි. නමුත් එයාගේ එක්තරා සීමා මායිම් ටිකක් තියෙනවා. මගේ සීමාවන් තමයි එයාගේ සීමාත්. ඒ නිසා එයත් එක්ක ජීවත් වෙන්න මට පහසුයි.

දැන් යන යන තැන සැමියාව එක්ක යනවාද?

මම ෂෝවලට යද්දී එයා කැමැතියි මාත් එක්ක එන්න. ඒත් අපි කරන කාර්යය පුදුම කට්ටක් කාලා කරන වැඩක්. මම නර්තනවලට යද්දී හස්බන්ඩ්ට ඔහේ එහෙට මෙහෙට වෙවී ඉන්න සිද්ධ වෙනවට මම කැමැති නැහැ. ඒ නිසා මම එයාව වැඩවලට එක්ක යන්න හදන්නේ නැහැ.

තරුණ නිළියෝ මැදි වයසේ චරිත, මවකගේ චරිත කරන්න කැමැති නැහැ. හැබැයි නිරෝෂා පුංචි තිරයේ මවක් වෙන්න මැළි වෙන්නේ නැහැ නේද?

යම් චරිතයක් කළාම ඒ චරිතයට ඒ කෙනාව කොටු කරන පිරිසක් ලංකාවේ ඉන්නවා. නමුත් මාව එහෙම කොටු වුණේ නැහැ. මම නර්තන ශිල්පිනියක් නිසා මාව සුන්දර විදියට බොහෝ දෙනෙක් දකිනවා. ඒ නිසා රංග භූමිකාවේදී මට විවිධ චරිත කරලා මගේ හැකියාව පෙන්වන්න පුළුවන් වුණා. ඒ වගේම අධ්‍යක්‍ෂකවරු මාව චරිතවලට කොටු කළෙත් නැහැ.


[rns_reactions]