නොහොඳ නෝක්කාඩු අවසන් කර ගමනක් යන ජනපතිගෙන් අගමැතිට ආරාධනයක්..!

නොහොඳ නෝක්කාඩු අවසන් කර ගමනක් යන ජනපතිගෙන් අගමැතිට ආරාධනයක්..!
Spread the love

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇතිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය ආරෝවන්, තරහ මරහ අමතක කර ආණ්ඩුව අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධ, විවෘත ආරාධනාවක් කළේය. ඊට අග්‍රාමාත්‍යවරයාගෙන් සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු දක්නට ලැබිණ. 

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ එම කථාව ඔහුගේම වචනවලින් මෙසේය.

‘‘ගරු අග‍්‍රාමාත්‍යතුමනි, මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක් සමරනවා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරහමාරක් ගතවෙනවා. මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස හතරක පහක කාලයක් පමණයි. ඒ නිසා මේ අවුරුදු හතරහමාරක කාළ සීමාව තුළ ආණ්ඩුවක් විදියට අපි හරියට කරාද වැරදුනාද කියලා සොයා බැලිය යුතුයි. මේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් දැන් තියන්න වෙලාව ඇවිත් තියෙනවා.

මේ කාළය තුළ ආණ්ඩුව නරක් විමට ප‍්‍රධානතම හේතුව තමයි 19 වැනි සංශෝධනය. 19 වැනි සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබුණා. මේ රටේ ජනතාව අතර විශාල චෝදනාවක් තියෙනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්වය ඇති වුණෙත් 19 වන සංශෝධනය නිසයි. 18 වන සංශෝධනය තනිකරම ආඥාදායක ඒකාධිපති ක‍්‍රමයක් ඒක ඉතාම නුසුදුසුයි. 18 වන සංශෝධනය අහෝසි කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැදුවේ.

ඒත් 19 වන සංශෝධනයෙන් මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතිව ගියා. මේ සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක‍්‍රමයක් ඇති වුනා. ඒකෙන් රටටත් ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා.

18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන් රට අස්ථාවර වෙනවා. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ මේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවූ තත්වය නිසයි. 19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ඨට ජයග‍්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා” යැයිද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවැසීය.