ප්‍රසාද්ට ඇමරිකානු තානාපතිකම දුන් අය අද ඔහු ඇමරිකානු ඒජන්තයෙක්‌ කියා කියනවා

ප්‍රසාද්ට ඇමරිකානු තානාපතිකම දුන් අය අද ඔහු ඇමරිකානු ඒජන්තයෙක්‌ කියා කියනවා
Spread the love

ප්‍රසාද් කාරියවසම් මහතා ඇමරිකානු තානාපති තනතුරට පත් කළ අය අද ඔහු ඇමෙරිකානු ඒජන්තයෙක්‌ බවට චෝදනා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ප්‍රසාද් කාරියවසම් මහතාට විදෙස්‌ වැටුපක්‌ සහිතව පාර්ලිමේන්තුවේ තනතුරක්‌ ලබා දී ඇති බවට පසුගියදා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් ඊයේ ද සභාව තුළ අදහස්‌ ඉදිරිපත් වූ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.

මේ සම්බන්ධව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ ප්‍රකාශයක්‌ කළ පසුව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කළ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස්‌ පළ කරමින් මෙසේද කීය.

සමහර විට පාර්ලිමේන්තුවට යම් යම් ආයතනවලින් කෙළින්ම ආධාර ලැබෙනවා. එහෙම නැත්නම් ආරාධනා ලැබෙනවා. ඇමරිකාවේ ආරාධනාවලින්, යුරෝපීය සංගමයේ ආරාධනාවලින්, චීනයේ ආරාධනාවලින් අපි පිටරට ගිහින් තිබෙනවා. හෙට ඉඳලා අපි මේ ආරාධනා අනුව පිටරට යනවාද නැද්ද? මන්ත්‍රී කණ්‌ඩායමක්‌ එපා කියනවා. ඒ අය යන්නේ නෑ කියනවා. මින් පසු අගෝස්‌තු, සැප්තැම්බර් මාසවල යන්න එපා කියනවා. චීනයට යද්දී මේ පක්‍ෂයෙන් නම ගන්නේ නැතිව වෙනත් පක්‍ෂවලින් නම් ගන්න.

විදේශීය සම්මන්ත්‍රණවලට අපි සහභාගි වෙනවද නැද්ද. වෙනත් ආයතනවලින් මුදල් දෙනවා නම් ඒවාට සහභාගි වෙනවාද නැද්ද. උපදේශකවරුන් ලෙස අමුණුගම පත් කරද්දී, කාරියවසම් පත් කරද්දී මගෙන් නම් කිසිවක්‌ ඇහුවේ නෑ. ඒ පත්කළ අවස්‌ථාවේදී පක්‍ෂ නායකයන් විරුද්ධ වෙන්න පුළුවන්. ලබන සතියේ හෝ කථානායක හමුවිය හැකියි.

කාරියවසම් කියන්නේ ඇමරිකානු නියෝජිතයෙක්‌ කියලා ප්‍රශ්නයක්‌ තියෙනවා නම් ඔහුව ඇමරිකාවට පත් කළේ ඒ ආණ්‌ඩුව. ඇක්‌සා ගිවිසුම අත්සන් කළේ එදා ආණ්‌ඩුව යටතේ. ඇත්ත වශයෙන් එදා අපි ඒකට විරුද්ධ වුණේ නෑ. 2007 දී අත්සන් කළේ. ඒ ගිවිසුම යළි දීර්ඝ කිරීම තමයි අපි අත්සන් කළේ. ඔබතුමන්ලා අත්සන් කරද්දී හොඳයි. අපි අත්සන් කළ එක හොඳ නැහැ. ඇමරිකානු පුරවැසියෙක්‌ පමණක්‌ නොවේ ඇමරිකානු ඒජන්තයොත් ඔවුන්ට සිටිනවා. අපි මේ ගැන විවාදයක්‌ තියමු. අපිට මේ ගැන කිසිම ප්‍රශ්නයක්‌ නෑ. ඔබතුමන්ලා මුළු විදේශ ප්‍රතිපත්තියම ඇමරිකාවට භාර දුන්නා. දැන් කෑ ගහනවා.