බෞද්ධ අධ්‍යාපනය ගැන ජනපතිගෙන් සහතිකයක්

බෞද්ධ අධ්‍යාපනය ගැන ජනපතිගෙන් සහතිකයක්
Spread the love
  • පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් ජනපති පවසයි.
  • මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා පමණක් ජනාධිපති අරමුදලින් වසරකට රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වෙන් කෙරේ.

කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අද (24) අරලියගහ මන්දිරයේ දී පැවති උත්සවය අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක තවත් ශිෂ්‍යත්ව වැඩසටහනක් ලෙස දිවයිනම ආවරණ වන පරිදි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

පිරිවෙන්(සාමාන්‍ය පෙළ) දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා අ.පො.ස (සාමාන්‍ය පෙළ)දක්වා ඉගෙනුම ලබන ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මසකට රුපියල් 3000/-බැඟින් මාස 12 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම මේ යටතේ සිදු කෙරෙන අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ අද දිනයේම මෙම සිසුන්ගේ ගිණුම්වලට රුපියල් 9000/-ක් සෘජුවම බැර කිරීමට කටයුතු කෙරුණු අතර ඉදිරියේදී රුපියල් 3000/-බැගින් මාසිකව ගෙවීම් සිදු කෙරේ.

එසේම පිරිවෙන් (සාමාන්‍ය පෙළ)/අපොස(සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට විභාගය සමත්ව පිරිවෙන් ප්‍රාචීන විභාගය සඳහා හෝ අපොස (උසස්පෙළ)විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විභාගයට පෙනී සිටින මාසය තෙක් මසකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ද නියමිත අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානොත්සවය පැවති අද දිනම මෙම එක් එක් ශිෂ්‍යත්වලාභියාගේ ගිණුමට රුපියල් 18000/-ක මුදලක් එකවර බැර කිරීමට කටයුතු කෙරිණි.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට කැඳවා නැති අනෙකුත් ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඉදිරි දිනවලදී සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වාරික මුදල් ගෙවීමට කටයුතු කරනු ලැබේ.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාල සියලුම ශිෂ්‍යත්වලාභීන් තෝරාගෙන ඇත්තේ එක් එක් පිරිවෙනේ පරිවේණාධිපති හිමියන් /ආයාතනාධිපති හිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් වන අතර සියලු කටයුතු අධීක්ෂණය කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පිරිවෙන් අධ්‍යාපන අංශ මගිනි.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජනාධිපති අරමුදලෙන් වසරකට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.