මම වලව්වකින් නැතුව පුංචි තැනකින් ආපු පොඩි ගොවි පවුලක මිනිහෙක් නිසාද මට මේ තරම් ගරහන්නේ.. ජනපතිගෙන් ඇසට කඳුළු උණන කතාවක් (වීඩියෝ)

මම වලව්වකින් නැතුව පුංචි තැනකින් ආපු පොඩි ගොවි පවුලක මිනිහෙක් නිසාද මට මේ තරම් ගරහන්නේ.. ජනපතිගෙන් ඇසට කඳුළු උණන කතාවක් (වීඩියෝ)
Spread the love

අද වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යද්දී ඊට විරුද්ධව විශාල පිරිසක් අධිකරණයට ගොස් මුලික අයිතිවාසිකම් යනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන ඇති බවත්, රටේ දුවා දරුවන් සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටිද්දී තමාට කුඩු ජාවාරම් කරුවන්ගේම කුලී හේවායන් විසින් චරිත ඝාතනය කරමින් පහර දෙන බවත් මේ වන විට තමාට ජීවිත තර්ජන පවා මේ වන විට එල්ල වී ඇති බවත් සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවේදී කතාවක් සිදුකළේය.

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීම වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා වංචාව සහ දූෂණය පිටුදැකීමේ දී ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් නීතිය ක්‍රියාත්මක කිරීම තම ප්‍රතිපත්තිය බව ද කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු අටදහසක් ප්‍රදානය වෙනුවෙන් ඊයේ (02) පස්වරුවේ පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවය අමතමිනි.

තමා ගොවියෙකුගේ පුංචි ගොවි පවුලකින් ආ පොඩි මිනිසෙකු බවත්, තමාට වලව් හෝ ඔක්ස්ෆඩ්, ක්‍රේම්බිජ් පසුබිමක් නොතිබෙන නිසාද, මේ තරම් නින්දා, අපහාස කරමින් තම චරිතය ඝාතනය කරමින් තමාගේ ප්‍රතිරූපය සමාජ ජාල මාධ්‍ය කෙළසන්නේ දැයි ජනාධිපතිවරයා ඉතා සංවේදීව ජනතාවගෙන් ප්‍රශ්න කර සිටියේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම කථාව රැස්ව සිටි ජනතාවට දැඩි සංවේදීත්වයක් ඇති කළ බව පෙනෙන්නට තිබුණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට තමා පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ වාර්තාව අද ලැබුණු බවත්, පසුගිය යුගය තුළ එහි සිදුව ඇති වංචා සහ අක්‍රමිකතා පිළිබඳ එමඟින් අනාවරණය කර ඇති සියලූ කරුණු තමා ඉදිරියේ දී පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් හෙළි කරන බවත් ජනාධිපතිවරයා පවසයි.

ඉහළ දේශපාලන නායකයින් සිදු කරන කෝටි, ප්‍රකෝටි මුල්‍ය වංචා මෙන් ම අහිංසක ගොවියෙකුට ඉඩම් බලපත්‍රයක් ලබාදීමේ දී තම සාක්කු පුරවා ගැනීමට උත්සහ දැරීම ද තමාට ඉවසා සිටිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් 2015 ජනාධිපතිවරණයේ දී තමා මේ රටේ ජනාධිපති ධූරයට පත් කරගත්තේ එම සියලූ ආකාරයේ වංචා සහ දූෂණ පිටුදැකීමට බව ද කියා සිටියේය. 

වංචාව හා දූෂණය පිටුදකිමින් රට ගොඩනැඟීමට කටයුතු කරද්දි තමා බලයට පත්කර ගැනීමට සහය වූ අය මෙන්ම විරුද්ධ පක්ෂයේ අය ද තමාට විරුද්ධ වී සිටින බව පැවසු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා තමාට වෙනසක් නොමැති අතර සියලූ වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන බවත්, අද තමාට ආණ්ඩුවේ අය මෙන්ම විපක්ෂයේ අය ද දොස් නගන්නේ දූෂණය සහ වංචාව පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ නිසා බවත් කියා සිටියේය.

අප්‍රේල් 21 වන දා සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසම පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ අද පරික්ෂණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක වන්නේ අදාළ කොමිසන් සභා වාර්තාව අනුව බවයි. 

මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 07ක් පවරා තිබෙන අතර, තමා ද එම සිදුවීමට වගඋත්තරකරුවෙක් කර ඇත්තේ තමා විසින්ම මේ රටේ ගොඩනැඟු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය අපක්ෂපාතිව කටයුතු කර ලබා දෙන ඕනෑම තීන්දුවක් භාරගනීමට තමා සූදානමින් සිටින බව ද කියා සිටියේය.

මෙම සියලූ කටයුතු වෙනුවෙන් තමා ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කර තිඛෙන අතර, කරුණු නොදැන ඇතැම් පිරිස් තමාට චෝදනා නඟන බවත්, කුමන බාධා හමුවේ වුව ද තම වගකීම රට වෙනුවෙන් ඉටු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමා පිළිබඳ චෝදනා ඇත්නම් ඕනෑම අයෙකුට අධිකරණයට ගොස් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ හැකි බවයි.