මම සාමාන්‍ය ගුරුවරියක්.එත් මගේ විදුහ‍ලේ ඉන්න සිසුවියන් හිතන්නේ මම සැර ගුරුවරියක් කියලා…(Photos)

Spread the love

ගුරු වෘත්තිය හා රංගනය දෙකම මනා සේ හසුරවන අති සුන්දර රුවකට හිමිකම් කියන ඔබ කවුරුත් රූපය දුටු පමණින් හඳුනන දුලානි අනුරාධා පුවත්පත් සාකච්ඡාවකදී ඇය ගැන ඇය විසින්ම කියූ කරුණු ස්වල්පයක් ඔබ හමුවේ තබන්නෙමු….

ඔබේ රංගනයන් ඉදිරියේදී දක්නට ලැබෙන්නේ කවර නිර්මාණ තුළින්ද?
මම රඟපෑ චිත්‍රපට දෙකක් සහ ටෙලි නාට්‍යය කිහිපයක් ඉදිරියේදී එන්නට තිබෙනවා. අවසන් වතාවට කළේ “එක හීනේ පාට ගොඩයි” කියන ළමා චිත්‍රපටය. ඉන්පසුව නම් අලුත් නිර්මාණයකට දායක වුණේ නැහැ.
රඟපාන නිර්මාණ ප්‍රමාණාත්මකව අඩුවන්නට හේතුව ඔබ තෝරා බේරාගෙන රඟපාන නිසාද ?
ඔව්, මට තෝරා ගැනීමක් කරන්න සිදුවෙනවා. මොකද, මම වෘත්තියෙන් ගුරුවරියක්. ඒ නිසා මට විශාල කාලයක් රංගනය වෙනුවෙන් යොදවන්න බැහැ.
දුලානි සරල විනෝදාත්මක සිනමාවේ මල්ගස් වටේ රඟන පෙම්වතිය විදියට දකින්න ලැබෙන්නේ නැහැ.. 
මට එවැනි නිර්මාණවලට ආරාධනා ලැබිල තියෙනවා. ඒත් මට ඒ වගේ නිර්මාණ භාරගන්න පුංචි බයක් තියෙනවා.
ඇයි ඒ .. ?
යම් ගැඹුරක් සංකීර්ණ බවක් තියෙන හැලහැප්පීම්වලට ලක්වන චරිත රඟපාන්න මට පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ඒත් සරල විනෝදාත්මක සිනමාවේ මල්ගස් වටේ රඟන පෙම්වතියට තිබිය යුතු සරල බව මට මගේ රංගනය තුළින් හරියට මතු කරගන්න බැරිවෙයි කියලා බයක් මට හිතෙනවා. ඒ හින්දා මම එවැනි චරිත රඟපාන්න යන්නේ නැතුව මට ගැළපෙන දේ විතරක් කරනවා.
සරල බව ඔබට සංකීර්ණයි. සංකීර්ණ බව සරලයි. ඔය දේ සාමාන්‍ය ජීවිතයටත් ‍පොදුද? දුලානි අනුරාධා කියන්නේ සැබෑ ජීවිතේදීත් හැමදේම සංකීර්ණව දකින සුළු ප්‍රශ්නවලට විසඳුම් පවා ගැඹුරින් හොයන කෙනෙක් ද?
ඒ කතාවේ යම් තරමකට සත්‍යතාවක් නැත්තෙත් නැහැ. ඇත්තටම මම මහ ලොකු ප්‍රශ්න කරගත්තු සමහර දේවල් බොහොම පුංචි දේවල් නේද කියලා පස්සේ හිතුණ අවස්ථා තියෙනවා. ඒ වගේම එහි අනිත් පැත්තත් තියෙනවා. සමහර ලොකු දේවල් දිහා කිසිම බරක් පතළක් නැතුව හරිම සරලව සැහැල්ලුවෙන් බැලූ අවස්ථාත් මගේ ජීවිතේ තියෙනවා.
ඔබ ගුරුවරියක්. නිළියක් විදියට ජනප්‍රිය චරිතයක් වීම පාසල් භූමිය තුළ කෙබඳු තත්ත්වයක්ද ඇති කරලා තියෙන්නේ. ගුරුවරියක ලෙස සිසු පිරිස ඉදිරියේ ඔබේ පෞරුෂය රැකගන්නට නිළිකම බාධාවක් වෙලා නැද්ද ?
පාසල තුළ මම සාමාන්‍ය ගුරුවරියක්. මගේ විදුහ‍ලේ ඉන්නේ සිසුවියන් විතරයි. ඒ අය අතර තියෙන්නේ මම ටිකක් සැර ගුරුවරියක් කියන හැඟීමක්. මට පාසල් භූමිය තුළදී නිළියක් කියන හැඟීම හිතේ තියාගෙන හැසිරෙන්න බැහැ. එතැනදී මට මගේ පෞරුෂය රැකෙන ආකාරයටයි හැසිරෙන්න සිදුවන්නේ.
ඔබ ළඟට ඇවිත් රඟපාන්නට අවස්ථා ඉල්ලන සිසුවියන් නැද්ද ?
එහෙම අයත් ඉන්නවා. ඒ අයට මම කියන්නේ රඟපාන්න කලින් තමන්ගේ අධ්‍යාපනය හරියට කරගෙන ඉන්න කියලා.
තවමත් තනිකඩව දිවි ගෙවන්නේ ඇයි ?
ජීවිත කාලෙම තනිකඩව ඉන්නවා කියලා මම කිසිම තැනක කියලා නැහැ. මගේ විවාහය තවත් කාලෙකින් සිදුවන්නටත් පුළුවන්, හෙට සිදුවන්නටත් පුළුවන්.