මහින්ද යුද හමුදා මූලස්ථානය තිබුන ඉඩම ෂැංග‍්‍රිලා සමාගමට අත්තනෝමතිකව විකිණීමෙන් කෝටි 500ක් රජයට පාඩුයි…

Spread the love

 

නිසි ආරක්‍ෂක ක‍්‍රමෝපාය සහිතව ඉදිකර තිබූ යුද හමුදා මූලස්ථානය මෙසේ වෙනස් කිරීම නිසා රටේ ආර්ථිකයට ගැටලූ ඇතිවූවා මෙන්ම ආරක්‍ෂාවටද ගැටලූ ඇතිවිය හැකිව තිබූ බව කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින්  වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

එතුමා එසේ පැවසුවේ පසුගිය රජය සමයේ යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ භූමිය විකුණා එම මූලස්ථානයේ ස්ථාපිතව පැවති යුද හමුදාවේ විවිධ අංශ කුලියට ගත් ගොඩනැගිලි 15ක් ස්ථාපිත කිරීම හේතුවෙන් වාර්ෂිකව කුලිය ලෙස රුපියල් කෝටි 500ක් ගෙවීමට රජයට සිදුව ඇතැයි ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප‍්‍රකාශ කළ බව සඳහන් කරමිනි.

මෙම ඉඩම විකිණීමට පෙර යුද හමුදා මූලස්ථානයක් ඉදිකිරීමට හෝ එක් නිශ්චිත ස්ථානයක් තෝරාගැනීමට කටයුතු කළා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව කී අමාත්‍යවරයා ෂැංග‍්‍රිලා සමාගමට මෙම ඉඩම ලබාදී ඇත්තේ ද සින්නක්කරවම බව ප‍්‍රකාශ කළේය.

ඇමෙරිකාවේ ආරක්‍ෂක මූලස්ථානය වන පෙන්ටගනය හා සමානව යුද හමුදා මූලස්ථානයක් ඉදිකිරීමට පසුගිය රජය සමයේ කටයුතු ආරම්භ වුවත් එහි අක‍්‍රමිකතා සිදුව ඇති බවට ලැබුණු පැමිණිල්ල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට රජයට සිදුවූ බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.