රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් සකස් කර ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවන තොරතුරු මා කොමිසමට ඉදිරිපත් කළා. ඒවා ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට යෑවූ බවත් මා කීවේ නෑ. මා කී එම කරුණ අසත්‍ය බව කියන්නේ නම් ඒ බව ඔප්පු කළ යුතු යෑයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සේපාල රත්නායක මහතා ඊයේ (03 දා) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඊයේ (03 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී කීවේය.
මහ බැංකුවේ සහකාර අධිපති සේපාල රත්නායක මහතා ඊයේ (03 දා) දෙවැනි දිනයටත් ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය.
ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා.
2015 මාර්තු 02 දින වන විට අවශ්‍යව පැවැති රු. බිලියන 13.5 ක මුදලින් රු. බිලියන 3.4 ක මුදලක් සෘජු නිකුතු මඟින් උපයා ගෙන තිබුණා. එය 2015.02.27 දින ටෙන්ඩර් මණ්ඩල රැස්වීමට පෙර ඔබ දන්නවාද ?
සාක්ෂිකරු – ඔව්.
ජනාධිපති නීතිඥ – 5% ක එක්දින පොලිය අයින් කළානෙ. ඒ අනුව මේ රු. බිලියන 7.4 ක මුදල සෘජු නිකුතු ක්‍රමයෙන් ලබාගන්න පුළුවන් ද?
සාක්ෂිකරු – එය පහසුවෙන් රැස් කර ගන්න පුළුවන්. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඒ ස්ථාවරයේ සිටියේ.
ජනාධිපති නීතිඥ – ඔබේ ප්‍රස්ථාර හදන විට මුලින් කී සියයට 5 පොලිය අයින් කළ බව සැලකිල්ලට ගෙන නැහැ නේද.
සාක්ෂිකරු – මම පැහැදිලිව සඳහන් කළා එය. 2015.02.27 දින තිබුණු වෙළෙඳපළ තත්ත්වයන් තමයි මම සැලකිල්ලට ගත්තේ.
මෙහිදී 2015.02.27 දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රු. බිලියන 2.608 ක ලංසු පිළිගෙන ඉතිරි ප්‍රමාණය සෘජු නිකුත් කිරීම් මඟින් උපයා ගත්තා නම් වෙන්දේසි ක්‍රමයේදී ලැබෙන පොලිsයට වඩා අඩු පොලියක් සේවක අර්ථසාධක අරමුදලට ලැබෙන බවට කළ විමසුමට පිළිතුරු ලෙස සේපාල රත්නායක මහතා ප්‍රකාශ කළේ එය රජයට වාසිදායක තත්ත්වයක් බවයි. මහ බැංකුව ලෙස මෙහිදී බලන්නේ ණය රැස්කර ගන්නා ලෙස රජයේ පැත්තෙන් පමණක් බව ද රත්නායක මහතා කියා සිටියේය.
අර්ථසාධක අරමුදලට අවාසිදායක බවට කීවත් එය රජයට වාසියක්. අපි මෙය බලන්නේ රජයේ පැත්තෙන්. අපි මෙහිදී එක් එක් ලංසු ඉදිරිපත් කරන අයගේ පැත්තෙන් බලන්නේ නැහැ. අර්ථසාධක අරමුදල මෙහිදී බාහිර පාර්ශ්වයක්. අපට මෙහිදී ඇත්තේ වෙනත් කාර්යයක් බව ද මහ බැංකුවේ සහකාර අධිපති සේපාල රත්නායක මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය.
මෙහිදී ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කිසියම් ලේඛනයක් ගැන සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එම ලේඛනය සාක්ෂිකරුට පෙන්වා ප්‍රශ්න කළ යුතු බව කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා ජනාධිපති නීතිඥ ප්‍රනාන්දු මහතාට කියා සිටියේය.. ඔබ ප්‍රශ්න ඇසීම සඳහා සූදානම්ව පැමිණිය යුතු බව ද කොමිසමේ සභාපතිවරයා ජනාධිපති නීතිඥවරයා අමතමින් කියා සිටියේය.
ජනාධිපති නීතිඥ – ඔබ සෘජු නිකුතු ක්‍රමයට කැමැති කෙනෙක්ද?
සාක්ෂිකරු – නෑ, මම කැමැති මිශ්‍ර ක්‍රමයටයි.
ජනාධිපති නීතිඥ – කවර ප්‍රතිශතයන්ගෙන් යුත් මිශ්‍ර ක්‍රමයකට ද ඔබ කැමැති?
සාක්ෂිකරු – එය තීරණය වන්නේ වෙළෙඳපොළ තත්ත්වයන් මතයි.
ජනාධිපති නීතිඥ – අතුරු අයවැයෙන් රාජ්‍ය වැටුප්, වියදම් ඇතුළු රාජ්‍ය වියදම් ඉහළ ගිය බව ඔබ දන්නවා.
සාක්ෂිකරු – අප සලකන්නේ මහා භාණ්ඩාගාරයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් අප වෙත එවන අරමුදල් ප්‍රකාශයේ ඇති අරමුදල් අවශ්‍යතාව ගැනයි.
ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා (සාමාජික) – 2015 පෙබරවාරි සිට පොලී අනුපාතවල ඉහළ යැමක් තිබුණා.
සාක්ෂිකරු – ඔව්.
විනිසුරු ජයවර්ධන – ඔබ කිව්වා 2015 පෙබරවාරි 27 දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පසු පොලී අනුපාත ඉහළ ගියා කියලා.
සාක්ෂිකරු – ඔව්, එය පොලී අනුපාත ඉහළ යැමට බලපාන ලද සාධකයක්.
ජනාධිපති නීතිඥ – ගෙවුම් ශේෂ අර්බුදය කුමක් ද කියා ඔබට කොමිසමට පැහැදිලි කරන්න පුළුවන්ද?
සාක්ෂිකරු – සිනහසෙයි.
විනිසුරු ජයවර්ධන – ගෙවුම් ශේෂ අර්බුදයන් හේතුවෙන් වෙනම පොලී අනුපාත ඉහළ යන්න හේතු වෙන්න පුළුවන්.
සාක්ෂිකරු – එය දේශීය භාණ්ඩාගාර බිල්පත් අනුපාත ඉහළ යන්න හේතු විය හැකියි.
ජනාධිපති නීතිඥ – වෙන්දේසි ක්‍රමය ගොඩක් විනිවිදභාවයෙන් යුක්ත ක්‍රමවේදයක් නේද?
සාක්ෂිකරු – මම එම ප්‍රකාශයට එකඟ වෙන්නේ නැහැ. ඒ සඳහා තරගකාරී බව සහ හොඳ ආයතනික ක්‍රමවේද යනාදියත් පැවතිය යුතුයි.
ජනාධිපති නීතිඥ – මම ඔබට කියනවා ඔබගේ ආර්ථික මත සියල්ල අනිත් අර්ථ ශාස්ත්‍රඥයන්ගේ අදහස් වලට වඩා වෙනස් කියලා.
සාක්ෂිකරු – ඒක ඔබේ මතය. සෘජු නිකුතු ක්‍රමයේදී සමාන වටිනාකමින් සහ සමාන පරිණත කාලයන් සඳහා වන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වුවත් ඇතැම් අවස්ථාවලදී ප්‍රාථමික අලෙවි නියෝජිතයන්ට වෙනස් පොලී අනුපාත මහ බැංකුවෙන් ඉදිරිපත් වී තිබිය හැකි බවට කොමිසමේ දී අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පිළිගත්තේය. එවැනි සුළු වෙනස්කම් ඇතැම් විට තිබිය හැකි වුවත් එහිදී අඩු පොලියකට ඉල්ලීම ඉදිරිපත් කර ඇති ප්‍රාථමික අලෙවි නියෝජිතයාගේ අනුපාතය වෙනස් කිරීමට මහ බැංකුව ඉදිරිපත් නොවන බව ද, එය රජයට වාසිදායක බව ද එම වෙනස් පොලී අනුපාත (සෘජු නිකුතු වලදී) ගැන අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රත්නායක මහතා කියා සිටියේය.
එහෙත් එවැනි වෙනස් පොලී අනුපාත සෘජු නිකුතු සඳහා ලබාදී ඇති අවස්ථාවන් පිළිබඳව නිශ්චිතව පිළිතුරු දීමට නම් ඊට අදාළ ඩීල් ටිකට් එක පරීක්ෂා කළ යුතු බව ද රත්නායක මහතා කීවේය.
තමා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ ප්‍රකාශ කළාට වෙනස් දෙයක් මේ කොමිසමේ දී ප්‍රකාශ නොකළ බව ද එහෙත් කෝප් එකේදී තිබූ සීමිත කාලයේදී සියලුම විස්තර එහිදී ප්‍රකාශ කිරීමට ඉඩ නොලැබුණු බව ද රත්නායක මහතා සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා – ඔබ 2015.02.27 දින බැඳුම්කර ටෙන්ඩර් මණ්ඩලයේ සටහන් සහ මෙමෝ එකක් ගැන සඳහන් කළා.
සාක්ෂිකරු – ඔව්.
ජෙ. නි. සො. ජනරාල් – එම ටෙන්ඩර් මණ්ඩල සටහන් පී. සමරසිරි මහතා කෙටුම්පත් කළ ඒවා.
සාක්ෂිකරු – ඔව්. හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව සටහන් කළ ඒවා.