ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනු ලැබූ පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයන් සිවුදෙනකු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (28 දා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.
කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ පසුව හොර රහසේම මාලදිවයින බලා පැන යෑමට උත්සාහ කරද්දී එහි සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදි.
‘ෆ්ලයි ඩුබායි’ ගුවන් යානයකින් ඊයේ උදෑසන 6.15 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එම පාතාල සාමාජිකයන් සිවුදෙනා ඊයේ උදෑසන මාලදිවයින බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානයේ කවුන්ටරය වෙත ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයන් ඩුබායි දේශයේ සිට ශ්‍රී ලංකාව හරහා මාලදිවයින බලා යෑම සඳහා ගුවන් ටිකට්පත් ද ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් සෙසු පාතාල සාමාජිකයන් වන්නේ රොටඹේ අමිල, අනුෂ්ක කෞෂාල්, ඇන්වර්යන් ප්‍රනාන්දු යන අය බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් සියලූදෙනා කටුනායක ගුවන් තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඊයේ උදෑසන අත්අඩංගුවට ගත් මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් නොහොත් කංජිපාන ඉම්රාන් නමැත්තා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිිදු වූ මිනීමැරුම්, මිනී මැරීමට තැත් කිරීම් 11 කට සම්බන්ධ බවට විමර්ශනවලින් හෙළි වී ඇත.
මීට මාස කිහිපයකට උඩදී මාලිගාවත්තේදී තම බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීම, ස්ථාන කිහිපයකදී සිය විරුද්ධවාදීන් සිවුදෙනකු මරා දැමීම. කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අපරාධ ගණනාවක් මොහු විසින් මෙහෙයවා ඇති බව පොලිසිය පවසයි.
කොළඹ නගරය පුරා හෙරොයින් බෙදා හැරීමේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන කංජිපාන ඉම්රාන් කාලයක් තිස්සේ මාකඳුරේ මධුෂ් සමඟ එක්ව ඩුබායි දේශයේ සුපිරි ජීවිතයක් ගත කරමින් සිටි බව පොලිසිය කියයි.
මීට වසර දහයකට පමණ උඩදී මාලිගාවත්ත ජුම්මා පල්ලිය අසල සව්කැඳ කරත්තයක් තබාගෙන කැඳ වෙළෙඳාමේ යෙදුණු මොහු පසු කලෙක පාතාල ලෝකයට සම්බන්ධ වී කංජිපාන ඉම්රාන් ලෙස ප්‍රසිද්ධ වුණේය.
මාකඳුරේ මධුෂ් විසින් ඩුබායි හි සංවිධානය කළ උපන් දින සාදයේදී කොකේන් පානය කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 34 දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර මාකඳුරේ මධුෂ්, කංජිපාන ඉම්රාන්, රොටඹේ අමිල, ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වැන්රෝවන් ද සිටියහ.
මාස දෙකකට ආසන්න කාලයක් පුරා ඩුබායි පොලිසිය රඳවාගෙන සිටි මෙම සැකකරුවන්ගෙන් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නිලධාරියකු වන ලලිත් කුමාර පෙරේරා (27 දා* එරටින් පිටුවහල් කළහ. ඔවුන් මෙරටට පැමිණි පසු නදීමාල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු මුදාහල අතර ලලිත් කුමාර නමැති බන්ධනාගාර නිලධාරියා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.
කංජිපාන ඉම්රාන් ඇතුළු අපරාධකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ සවස භාරදීමට නියමිතව තිබේ.

