මේ දිනවල රට පුරා අලවා තිබෙන ‘‘බය නැති අගමැති‘‘ පෝස්ටරය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙනවා. මේ අතරවාරයේ පසුගිය 21 දා සංවිධානය කර තිබුණු මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර මේ පාඨය වෙනස් කල යුතු බව සඳහන් කලා.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙසද කියා සිටියා. ‘‘අගමැතිවරයා කොමිසමට ගිහින් ඇවිල්ලා කිව්වා වැරැදි වුණානම් නිවැරැදි කර ගන්නවා කියලා. ඒකෙන්ම පිළිගන්නවා වැරැද්දක් වුණා කියලා. නමුත් එදා මේ හොරකම වහන්න මොනවද නොකළේ. කලින් කෝප් වාර්තාව එන්න දවසකට කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වා. ෆුට් නෝට් කල්ලිය දාලා ගේමක් ගැහුවා. එජාප නීතිඥයන් දාලා කමිටුවක් හදලා මේකේ වැරැද්දක් නෑ කිව්වා. පොත් ගැහුවා. මොන විහිළුද මේ. ඒ නිසා ‘‘බය නැති අගමැති‘‘ නෙමෙයි ලැජ්ජ නැති අගමැති කියලා වෙනස් කරන්න ඕන.
අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටීමත් සමඟ රට තුල ප්රජාතන්ත්රවාදය බොහෝ සෙයින් ඉස්මතු වී ඇති බව බොහෝ දෙනා පවසනවා. එසේම වෙනත් රටවල්වල මේ වගේ දේවල් නොවන බවටත් සමාජය තුල කතාබහට ලක්වෙනවා. කොහොම වුනත් මේ දේවල් වලට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ වෙන රටවල තියා අපේ රටේවත් මෙතෙක් හිටපු කිසිම අගමැති කෙනෙක් මහ බැංකුව මංකොල්ලකා නොමැති බවයි.
එසේම දප්පුල ද ලිවේරාට ප්‍රශ්න අහන්න එපා කියලා කිව්වේ බය නැති නිසාද කියලත් මන්ත්‍රීවරයා මෙහිදී මතක් කලා. එසේම බය නැතිනම් හරස් ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශකලා. සති දෙකකට කලින් නීතිපතිතුමා අගමැතිතුමාට යවපු ප්‍රශ්න ටිකට උත්තර දීම පමණක් මෙහිදී සිදු වූ අතර එය කොමිසමට නොයා වුවද සිදුකල හැකි බව කංචන විජේසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කලා.
එසේම කොමිසමට යාමට පෙර මහ බැංකුවේ නිලධාරීන් බය කල බවටද චෝදනා කල මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වනවිට මහ බැංකුවේ නිලධාරීන් 200ක් පමණ මාරුකර ඇති බවයි. මේ දේවල් ගැන පැවසූ මන්ත්‍රීවරයා අවසානයේ නැවතත් කියා සිටියේ ‘‘ ඉතිං බය නැත්තන් මේ වගේ දේවල් කරයිද කියලා..?‘‘
