රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට
Spread the love
  • අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරනවා.
  • සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීම මගේ අපේක්ෂාවයි- ජනපති.
  • සියලු නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින එකඟතා ගිවිසුමෙහි කොන්දේසිවලට අනුකූලයි.
  • 2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
  • සැකයක් ඇති කර ගැනීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ.
  • මූලික වැටුප් 24% සිට 50%-60% දක්වා වූ පරාසයකින් වැඩි වෙනවා.
  • වැටුප් වැඩිවීමේ වාසිය විශ්‍රාමිකයන්ටත් හිමි වෙනවා- කමිටු සභාපති උදය ආර්. සෙනවිරත්න මහතා.

2025 වසරේ ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින එකඟතා ගිවිසුමෙහි ඇතුළත් කොන්දේසිවලට අනුකූලව මෙන්ම ඒ සඳහා අවශ්‍ය කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම පිළිබඳ මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත මෙම වාර්තාව සකස් කර තිබෙන බව එහිදී කමිටු සභාපති උදය ආර්. සෙනවිරත්න මහතා පැවසීය.

රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ විශේෂඥ කමිටුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතව 2024 ජූනි 12 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලදී.

හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, BCS International Technology PTY LTD හි ප්‍රධාන මහජන නිලධාරි චන්දි එච්. ධර්මරත්න, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ඉසුරු තිලකවර්ධන, ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්ණන් පෙරේරා යන මහත්ම මහත්මීහු කටයුතු කරනු ලැබීය.
මාස 03ක් ඇතුළත අදාළ අවසන් වාර්තාව ලබාදීමට කමිටුවට නියම කෙරුණු අතර කරුණු 18ක් යටතේ රාජ්‍ය සේවයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ වැටුප් වර්ධක වැඩි කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය අදාළ වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත්, එම වාර්තාවේ නිර්දේශවල සඳහන් වන ආකාරයට සියලු දෙනාගේ ආදායම් වැඩිකර දීම තමන්ගේද අපේක්ෂාව වන බවත්ය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමට පියවර රැසක් ගැනීමට සිදු වුණා. එම අවස්ථවේදී රාජ්‍ය සේවකයන්ට ද ජීවන බර පිළිබඳ විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. කොතරම් ප්‍රශ්න තිබුණද සියලුදෙනාම තමන්ගේ කාර්යන් නිසි ලෙස ඉටු කළා. ඒ නිසාම 2023 වසරේ මෙරට දළ ජාතික නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට හැකි වූ අතර රටේ ආර්ථික තත්ත්වය දියුණු වුණා.

2023 වසරේ රජයට ලැබුණු මුදලින් අස්වැසුම වැඩසටහන ගෙනවිත් අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසිමට අප කටයුතු කළා. 2024 වසරේ සිදු වු ආර්ථික දියුණුව සමඟ රාජ්‍ය අංශයේ වැටුප් සහ දීමනා ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අපේ අවධානය යොමු වුණා.

ඒ අනුව එම වාර්තාව උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු සාමාජිකයන් අපට ලබා දී තිබෙනවා. එම නිර්දේශ අනුව ක්‍රියා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් ලබාදීමට මුදල් අමාත්‍යාංශයට භාර දෙනවා. මෙමගින් බලාපොරොත්තු වන්නේ අදාළ කමිටු වාර්තාවෙන් යෝජනා කර තිබෙන අන්දමට සියලුදෙනාගේ ආදායම් වැඩි කර දීමටයි. මෙම වාර්තාව සකස් කර ලබාදීම පිළිබඳ උදය ආර්. සෙනෙවිරත්න මහතාටත් එම කමිටුවේ සියලු සාමාජිකයන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ කමිටු සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා,

රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යුගහකරණය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව 2024 ජූනි 12 වනදා පත් කරනු ලැබුවා. එම කමිටුව රාජ්‍ය අංශයත්, පුද්ගලික අංශයත් නියෝජනය කරමින් සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත වූවා.

මාස 03 ක් ඇතුළත ආදාළ වාර්තාව ලබා දෙන ලෙස අපට උපදෙස් ලබා දුන් අතර ඒ අනුව අගෝස්තු 12 වනදා අතුරු වාර්තාව ඉදිරිපත් කළා. කරුණු 18ක් යටතේ රාජ්‍ය සේවයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ වැටුප් වර්ධක වැඩි කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය අප ඉදිරිපත් කළා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අගෝස්තු මස 12 වනදා ලබා දුන්නා. එම අනුමැතියට අනුකුලව සමස්ථ රාජ්‍ය සේවයේ සියලුම ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා, විශ්වවිද්‍යාල ඇතුළු සියලුම රාජ්‍ය තන්ත්‍රීය අංශ ආවරණය වන ලෙස සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් අප විසින් සකස් කළා.

විශේෂයෙන් මූලික වැටුප 24% සිට 50%-60% දක්වා වු පරාසයකින් වැඩි වෙනවා. ආරම්භක වැටුප රුපියල් 30,000ක් ලෙස මෙයට පාදක කරගත් අතර, 1 ට 6 යන අනුපාතය අනුව මෙම මූලික වැටුප සංශෝධනය කෙරෙනවා.

ඒ අනුව මිලියන 1.5කට ආසන්න රාජ්‍ය සේවකයන් සහ එයට අනුරූපීව විශ්‍රාමිකයින්ටත් මෙම වැටුප් වැඩිවීමේ වාසිය ලබාදීම සඳහා රාජ්‍ය සේවකයන්ට වගේම විශ්‍රාමිකයන්ටත් ලබාදෙන ජීවන වියදම් දීමනාව 50%ක් ලබාදීමට නිර්දේශ කළා.

මාස 03 කාල සීමාව ඉක්මවා යාමට සතියකට පෙර අවසන් කමිටු වාර්තාව අපි ගරු ජනාධිපතිතුමාට භාර දුන්නා. ඒ අනුව සමස්ත රාජ්‍ය සේවකයන් සඳහා විශාල සහනයක් මේ තුළින් ලැබෙන බව තහවුරුයි. අප මෙම නිර්දේශ ඉදිරිපත් කළේ මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකස් කර ගැනීමට භාණ්ඩාගාරයේ ද එකඟතාව ලබා ගෙනයි. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව අප මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ නිසා ඒ පිළිබඳ කිසිවෙකු සැකයක් ඇති කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම වැඩපිළිවෙළ 2025 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව රාජ්‍ය සේවයේ කළයුතු තවත් සංශෝධන සහ ප්‍රතිසංස්කරණ රාශියක් අප යෝජනා කර තිබෙනවා. ඉදිරි වර්ෂවල මේ ප්‍රතිසංවිධාන නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් විශිෂ්ට රාජ්‍ය සේවයක් රට තුළ නිර්මාණය කළ හැකියි. ඒ තුළින් විශිෂ්ඨ මහජන සේවාවක් සලසමින් රටේ ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබාදීමට රාජ්‍ය යාන්ත්‍රණයට හැකියාව ලැබෙනවා.

Post Comment