ජී 7 සමුළුවේ දී ලෝක නායකයින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලඟට පැමිණ ලබාදුන් ගෞරවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
2015 වසරට පෙර ශ්‍රී ලංකාව පිළිබදව ලෝක නායකයින් දක්වන ලද ප්‍රතිචාරය වර්තමානයේ දක්නට ලැබෙන බද අමාත්‍යවරයා පවසයි.
හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ 06 වන ගුණසමරු උත්සවය වෙනුවෙන් ජා-ඇල ප්‍රාදේශීය රෝහලේ රුපියල් මිලියන 20 ක මුදලක් වැය කරමින් ඉදිකිරිමට යෝජිත අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයට අද (24) පස්වරුවේ මුල්ගල තබමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය. වර්තමානයේ කසකිස්ථානය, බලුකිස්තානය වැනි රටවල් වලින් පමනක් ජනාධිපතිවරයාට ආරාධනා ලැබෙන බවද අමාත්‍යවරයා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දී ද ශ්‍රී ලංකාවට පැමිණියේ තුට්ටු දෙකේ නායකයින් පමනක් බවත් භාර්යාවන් 32 ක් ඉන්න රාජ්‍ය නායකයෙක් ද ලංකාවට පැමිණි බවත් එම තත්ත්වය වත්මන් නායකත්වය විසින් යළි උදාකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“දොස්තර ජයලත් ජයවර්ධන මහතා ගිනස් වාර්තා තබමින් වෛද්‍ය ශාස්ත්‍රය ජනතාවට කියා දුන්නා. සැම පුද්ගලයෙකුටම වෛද්‍ය උපකාර සිදු කළා. මමත් ජයලත් ජයවර්ධන මහතාත් හොද මිත්‍රයන්. ඔහු ප්‍රබුද්ධ දේශපාලනඥයෙක්. ජාතිය, ආගම, කුලය බලා ජනතාවට සේවය කළේ නැහැ. යුධ ගැටලු පැවැති කාලයේ දී උතුරේ ජනතාවටත් සේවය කරමින් සංහිදියාව ගොඩ නැගීමට යුග මෙහෙවරක් කළා.”
“හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩි බණ්ඩාරනායක මහතා බලය ලබාගන්නා විට අයවැය අතිරික්තයක් තිබුනා. අයවැය හිඟයක් තිබුනේ නැහැ. නමුත් ජාතිය, ආගම ප්‍රශ්න මත රට කෑලි වලට කැඩුනා. පවුලක වුනත් ප්‍රශ්න තිබුනා නම් සාර්ථක වන්නේ නැහැ.
රටේ තිබූ සමගිය නැති වුනා. අපේ රටට නිදහස ලබාගත්තේ සියලු දෙනා එකමුතු වෙලා. එය අපට තනියෙන් බුක්ති විදින්න බැහැ. විවිධ චෝදනා එල්ල කරන අයට වඩා මම හොද බෞද්ධයෙක්. මම පිළිගන්නේ බුද්ධ දර්ශණයයි. ඔය එක එක්කෙනා කියන දර්ශණ මම පිළිගන්නේ නැහැ.
එකමුතුව ලබාගත් නිදහස කෑලිවලට කඩමින් 1956 සිට තවම ජාතිය ආරක්ෂා කරනවා. පසුගිය කාලයේ සිට ආගමත් ආරක්ෂා කරන්න අපේ අය පුරුදු වුනා. වර්තමානයේ අපි මාලදිවයිනටත් පිටුපසින් සිටින්නේ. ඊනියා දේශපාලනඥයින් මෙය පිළිගත යුතුයි. ජාතිය පිළිබද ප්‍රශ්න ඇති කරලා අපේ රට කාලකණ්නි රටක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ අපේ රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි.
ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් ලක්ෂ 04 ඉක්මවනවා. අපි අපේ අදහස් ප්‍රකාශ කරන්නේ රට හදන්නයි. රට හදන්න පුළුවන් කටින් නොව මොළය භාවිතා කරලයි. සිංහල බෞද්ධ දේශපාලනය තිබෙන්නේ ඡන්ද ලබාගැනීමටයි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම එදා ක්‍රියාත්මක කළා නම් අද ප්‍රශ්ණයක් ඇති වෙන්නේ නැහැ කියලා සමහරු කියනවා.
අපේ ආණ්ඩුව අපේම ප්‍රචාරක කටයුතු නතර කළා. අපි ඉටු කළ සේවාවන් ජනතාව අතරට ගියේ නැහැ. මම මීගමුව රෝහලේ තට්ටු 08 ක ගොඩනැගිල්ලක් ඉදිකරනවා. නමුත් මම මීගමු රෝහලට ගිය අවස්ථාවේ එළියේ සිටි පොහොට්ටුවේ 25 ක් විතර කෑගහලා තිබුනා. එය තමයි අපේ මාධ්‍යයට ප්‍රවෘත්තිය වුනේ.
මම එම මිනිස්සු දැක්කෙත් නැහැ. අපේ රජයේ සිටින්නේ පසේ බුදුවරු. නමුත් අපි බය නැතිව කියන්න තිබෙන දේ කියනවා. 2019 සහ 2020 මැතිවරණ අපි අනිවාර්යයෙන්ම ජයගන්නවා.
අපේ රටේ ඉන්නේ බත් කන ජනතාවක්. ලංකාවේ මොනතරමි නොතේරෙන පුද්ගලයින් සිටියත් බුද්ධිමතුන් ද සිටිනවා.”

