මෙම වර්ෂයේ පසුගිය මාස 8 තුළ වනඅලි මරණ 239ක් සහ අලි – මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 57ක් අහිමි වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම වනඅලි මරණ සිදුව ඇත්තේ, වෙඩි තැබීම්වලින් 40ක්, විදුලිසැර වැදීමෙන් 31ක්, ‘හක්ක පටස්’ හේතුවෙන් 28ක්, විෂ ශරීරගත වීමෙන් 04ක්, දුම්රිය අනතුරුවලින් 05ක්, මාර්ග අනතුරුවලින් 06ක්, දියේ ගිලීමෙන් 11ක් සහ වෙනත් අනතුරුවලින් 07 වශයෙනි. අනෙකුත් මරණවලට හේතු වන්නේ ස්වාභාවික හෝ හඳුනා ගැනීමට නොහැකි වූ වෙනත් හේතූන් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
මෙම මිය ගිය අලි ඇතුන්ගෙන් බහුතරය තරුණ අලි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
වනජීවී දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව 2023 දී අලි – මිනිස් ගැටුම ඇතුළු විවිධ හේතූන් මත අලි – ඇතුන් 488ක් මිය ගොස් ඇති අතර ගැටුම හේතුවෙන් මිනිස් මරණ 184ක් සෘජුවම සිදු විය.
2011 දී සිදුකළ සමීක්ෂණයකට අනුව ඇස්තමේන්තුගත වන අලි ගහනය 5,878ක් බවත් නව ඇස්තමේන්තු අනුව වනඅලි ගහනය 6,000ත් 7,000 ත් අතර පරාසයක පැවතිය හැකි බවත් මේ සම්බන්ධ විශේෂඥයෝ පවසති.
මේ අතර වනජීවී දෙපාර්තමේන්තුව විසින් අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් පසුගියදා අවසන් කළ අතර එහි අවසන් ප්‍රතිඵල ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව ද වනජීවී දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.