“එ.ජා.ප. යට අද මේ තත්තවයන් ඇති කරන්නේ, මෑතකදී පවත්වන්නට නියමිත ඡන්දයෙන් දිනන්න ඕන කියලා දගලන, අවම වශයෙන් අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති පුද්ගලයින් කිහිපදෙනෙක් එකතු වෙලා. එක්කෙනෙක් ගම්පහින්. අනෙක් පුද්ගලයා මාතරින්. අනිත් කෙනා හම්බන්තොටින් තමයි මේ කඩාකප්පල් වැඩකරන්න ඉදිරිපත් වෙලා සිටින්නේ. මේ අය එක්වෙලා අපේ පක්ෂය නැති කරන්න දගලනවා. මොවුන් අඩුගානේ තම ආසනය, කොට්ඨාශය, දිස්ත්‍රික්කය පවා දිනාගන්න බැරිවුණ පුද්ගලයෝ. මොවුන් එකතුවෙලා ඩි.ස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් බාරොන් ජයතිලක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ වගේ පුද්ගලයින් ගොඩනැගුව, රැකගෙන ආව එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න උත්සාහ කරනවා. ශ්‍රී ලංකා නිදහස් ප්කෂයත් නැති කරපු චන්ද්‍රිකා බණ්ඩාරනායක වගේ අයට අපේ පක්ෂයට හිරිහැර කිරීම තමයි තිබෙන එකම අරමුණ. අපි නිර්භීතව මේ පක්ෂය ආරක්ෂා කරනවා. අපි බයෙන් දේශපාලනය කරන්න ඇවිත් නැහැ. නමුත් මේ අයට විරුද්ධව නීතිමය කටයුතු කලයුතුම නිසයි අද මම මේ පැමිණිල්ල සිදුකරන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙම අදහස් පළකලේ, ඊයේ (20) පස්වරුවේ කොළඹ පොලිස් මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිලිතුරු වශයෙනි. පසුගිය දින කිහිපය තුලදී නොයෙක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අමාත්‍යවරයා වෙත එල්ලකර ඇති අසත්‍ය චෝදනා, අපහාස සහ තර්ජන පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙසට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය කරුණානායක මහතා මෙසේ පොලිස් මූලස්ථානයට පැමිණ ඇත.
මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වු අමාත්‍යවරයා,

” අද අපේ පක්ෂය විනාශ කරන්න පිටස්තර පුද්ගලයින් යොමුවෙලා සිටිනවා. ඔවුන් අපේ චරිත ඝාතනය කරන්නත් පෙළඹිලා. ඒ නිසා අද මම පොලිස් මූලස්ථානයට ආවේ එ සම්බන්ධයෙන් 03 ක් ගැන පැමිණිලි කරන්නයි.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එ.ජා.ප. ය නිවැරදි වේලාවට, නිවැරදි තීන්දුව ගන්නවා. අනෙක් අය කෑ ගහන පලියට, ඒ අයට ඕන විදියට අපි තීන්දු ගන්නේ නැහැ. තමන්ගේ ආසනය, කොට්ඨාශය, දිස්ත්‍රික්කය පවා වසර 15 කට දිනාගන්න බැරිවුණ පිරිසක් තමයි අද මේ කෑගහන්නේ. ඡන්දයක් කිට්ටු වෙද්දි, බලහත්කාරයෙන් නායකත්වය ගන්න හදන ක්‍රියාවක් තමයි මේ. වරක් ගල් ගහලා බලය ගන්න හැදුවා. චරිත ඝාතනය කරලා අපේ නායකයෝ නැති කරන්න හැදුවා. තවත් වරක් කල්ලි හැදුවා. මේවා වෙන පක්ෂ වලින් කරන් වැඩ. එයාලා කියන්නේ අපි වෙන පක්ෂ සමග සම්බන්ධකම් පවත්වනවා කියලා. වසර 25 ක් තිස්සේ පක්ෂය රැකගෙන ඉන්න අපට මේවගේ විහිළු කතා කරන්නෙපා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටට අවශ්‍ය, රටට උරුම පක්ෂයක්. ඒ නිසා අපි සාමූහිකව පක්ෂය රැකගත යුතුයි. ජාතික ප්‍රතිපත්තියක් ඇතිව රටක් ඉදිරියට ගෙනියන්නනම්, පාලකයන් උගත් පිරිසක් වියයුතුයි. කාටවත් බැනලා, කෑගහලා, දෝෂාරෝපණය කරලා රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ සදහා සෑමදෙනාම එකමුතුව ඒකරාශිවෙලා කටයුතු කළ යුතුයි. රට හදන්න පුළුවන් එකම පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. ඒ පක්ෂය තුලින් දක්ෂයන් ඉදිරියට ගෙනඒමට හදන අවස්ථාවේ චරිත ඝාතනය කිරීම නොවෙයි අවශ්‍ය වන්නේ “යැයි පැවසීය.

