වායු දූෂණයේ බිහිසුණු සෞඛ්‍ය ගැටලු මෙන්න !

වායු දූෂණයේ බිහිසුණු සෞඛ්‍ය ගැටලු මෙන්න !
Spread the love

වායු දූෂණය , ශ්වසන පද්ධතියේ රෝග, හදවත් රෝග, මොළයේ රෝග වැනි දීර්ඝ කාලීන රෝග රැසකට හේතුවන බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.

විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බෝ නොවන රෝගයකින් මියයාමට ඇති දෙවන ප්‍රධාන හේතුව වායු දූෂණය බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

වායු දූෂණය යම් වෙලාවකට පමණක් බලපාන දෙයක් නොවන බව ද , එනම් කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව වැනි එවෙලේ හටගන්නා තත්ත්වයක් පමණක් නොවන බව ද විශේෂඥ වෛද්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

දූෂිත වායුගෝලයේ පවතින සංඝටක අපගේ පෙනහළු පද්ධතියට පමණක් නොව අපගේ ශරීර අවයවයන් බොහෝමයකට නරක බලපෑම් එල්ල කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

වායුගෝලයේ අවට ඇති ඇතැම් සංඝටක වලින් මිනිසුන්ගේ ආයු කාලය සෑහෙන ප්‍රමාණයකට අඩු කළ හැකි බවට සොයාගෙන ඇතැයි ද දැනට සිදුකර ඇති විද්‍යාත්මක පර්යේෂණ වාර්තා 70,000 කින් පමණ අවුරුද්දකට මිලියන 07ක් ජනතාව තමන් මියයාමට සුදුසු කාලයට පෙර වායුදූෂණය හේතුවෙන් මියයන බව තහවුරු වී ඇතැයි ද  විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.  මෙය විශාල ප්‍රමාණයක් බව පැවසූ ඔහු නිවෙස් තුළ පවතින වායු දූෂණය ද විවිධ රෝගාබාධ ඇතිවීමටත් ඇතිවී ඇති රෝගාබාධ වර්ධනයටත් ඒවා පාලනය දුර්වල වීමටත් හේතුවන බව සඳහන් කළේය.

ඇතැම් සංඝටක පෙනහළු තුළට ගියපසු පිළිකා ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බව ද ඉන්දියාවේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරු පවසන පරිදි කලින් දුම් පානය කරන්නන්ගේ පෙනහළු ආශ්‍රිත පිළිකා තත්ත්වයන් වැඩි වශයෙන් නිරීක්ෂණය වුව ද වර්තමානයේ දුම් නොබොන අය සහ ගැහැණු අයටද මෙවැනි රෝග තත්ත්වයන් වලට වායු දූෂණය හේතුවෙන් මුහුණපෑමට සිදුව ඇතැයි ද පැවසුවේ ය.

වායු දූෂණයේ පවතින ඇතැම් අංශු පෙනහළු වලට ගිය පසු පෙනහළු ප්‍රදාහයන් ඇතිවී දීර්ඝකාලීන සංකූලතා ඇතිවන අතරම මෙම ඉතා සියුම් සංඝටක රුධිරයට යාමෙන් විශාල ගැටලු ඇතිවිය හැකි බවද ගර්භණී මවකගේ වැදැහැමහ හරහා ගොස් දරුවාගේ ජානවලට බලපෑම් කළ හැකි යැයි ද මෙලෙස වායු දූෂණය ඊළඟ පරම්පරා වලට ද බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බව ද විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක සඳහන් කළේය.