වින්දිත වෛද්‍යවරියගේ නොපැමිණීමෙන් ‘හඳුනාගැනීමේ පෙරට්ටුව’ කල් යයි

වින්දිත වෛද්‍යවරියගේ නොපැමිණීමෙන් ‘හඳුනාගැනීමේ පෙරට්ටුව’ කල් යයි
Spread the love

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදුකිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද (මාර්තු 17) පැවැත්වීමට නියමිතව තිබුණ ද එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මාර්තු 24 දා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළේ ය.

ඒ හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු යුද හමුදා සෙබලා ලබන 24 වැනිදා දක්වා යළි රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදිනට සැකකරු යළි හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට තවදුරටත් නියෝග කරනු ලැබී ය.

මේ අතර පැමිණිලිකාර වෛද්‍යවරිය එදිනට හඳුනා ගැනීමේ පෙරටුව සඳහා කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කෙරිණි.

මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලීසිය අධිකරණයට පැවසුවේ, හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා පෙනී සිටින ලෙසට පැමිණිලිකාර වෛද්‍යවරියට දැනුම් දී ඇතත් ඇය අද දින අධිකරණයේ පෙනී නොසිටි බව ය. ඒ අනුව ඊළඟ නඩු දිනයේදී පැමිණිලිකාර වෛද්‍යවරිය හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා සහභාගි කිරීමට පියවර ගන්නා බව ද අධිකරණයට දැනුම් දුන් පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බව ද පැවසුවේ ය.

Post Comment