වෙඩි වැදුණු විජයගේ මුහුණ බලා බිරිඳ චන්ද්‍රිකා කිව්වේ කුමක්ද? …

Spread the love

1988 පෙබරවාරි 16 වෙනිදා දහවල් 12.20 ට පොල්හේන්ගොඩ තම නිවසේදී සාහසිකයෙකුගේ වෙඩි පහරකට ගොදුරු වූ විජය කුමාරතුංග මුලින්ම ඇතුලත් කරන්නේ කොළඹ ජාතික රෝහලටය.

හැබැයි එවිටත් ඔහු ජිවිතයෙන් සමු අරන්.

දහවල් 1.45 ට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සිට විජයගේ දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට ගෙනයනවා.

පැය හයක් විතර පැවතුණු මරණ පරීක්ෂණය සවස 7.45 ට විතර නිමාවීමෙන් පසුව මළ සිරුර බානි රේමන්ඩ් මල් ශාලාවට අරන් එන්නේ, ඒ එනකොටත් පොල්හේන්ගොඩ විජයගේ ගෙදරට රැස්වෙලා ඉන්න අයට පෙන්නන්න පුළුවන් විදිහට විජයගේ සිරුර හදන්න.

රේමන්ඩ් මල් ශාලාවට ඒ වෙද්දී විජයගේ හිතවතුන් කිහිපදෙනෙකුත් ඇවිත් ඉන්නවා.

විජයගේ හිස සහ ගෙල පසාරු කරමින් වෙඩි උණ්ඩ තුනක් සහ උදරයට වෙඩි උණ්ඩ දෙකක් වැදිලා නිසා මළ සිරුර සකස්කිරීම ලෙහෙසි වුණේ නැහැ.

වඩාත්ම අසීරු වුණේ විජයගේ මුහුණ වෙඩි පහරවලින් විනාශ වී ගොස් තිබීම නිසායි.

එදා රේමන්ඩ් මල් ශාලාවේදී ගත තීරණයට අනුව විජයගේ දේහය මහජන ප්‍රදර්ශනයට තැබුණේ හිස කොටස වසා දැමූ පෙට්ටියක තැන්පත් කිරීමෙන් අනතුරුවයි.

මේ තීරණය ගන්න පෙර එහි සිදුවූ දේ ගැන මතකය අවදිකරන අය අතුරින් කෙනෙක් තමයි විජයගේ හිත මිතුරු එම්.එස්.එම් කබීර්. එදා මුළු රාත්‍රියම රේමන්ඩ් මල් ශාලාවේ සිටි ඔහු වසර 29 කට පෙර සිදුවූ සිදුවීම ගැන ඉරිදා ජන යුගයට හෙළි කළා.

“විජය මහත්තයාගේ බොඩි එක මොචරියේ ඉඳන් ගෙනාවේ බානි රේමන්ඩ් එකට.එතැනදී බානි රේමන්ඩ් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු ඔවුන්ගේ කාර්යය ඉටු කළා. නමුත් විජය මහත්තයාගේ මුහුණ පෙන්වන්න බැරි තත්වයෙනුයි තිබුණේ. මෙතනට ඇවිල්ලා හිටියා කමල් අද්දර ආරච්චි.මම කමල් මහත්තයගෙන් ඉල්ලුව කොහොමහරි විජයගේ මුහුණ පෙන්වන්න හදන්න ඕන කියල. එදා ඒ වැඩේට මහන්සි වුණේ කමල් අද්දරආරච්චියි. මමත් මහ රෑ කොටුවට ගිහින් ලේස් රෙද්දක් එහෙම ගෙනාව මතකයි”

කබීර්ට අනුව එදා විජයගේ මුහුණ සැකසීමට වෙහෙස වුණේ කමල් අද්දරආරච්චි. ඔහු විජයගේ මතකයන් සේක්කම මේ කතාව දිගහැරියා.

“මට මතක විදිහට දේශපාලනඥයන් කිහිප දෙනෙකුත් සිටියා. චන්ද්‍රිකා මැතිනියත් අපිත් එක්ක බානි රේමන්ඩ් එකේ හිටිය. එදා විජයාට වෙඩි වැදුනට ඔඅස්සේ චන්ද්‍රිකා විජයව දැකපු මුල්ම වතාව නොවුණත්, විජය පෙට්ටියක් ඇතුලේ ඉන්නවා දැක්කේ පළමු වතාවට. එදා ඒ පෙට්ටිය ඇරියම අපිට පුදුම දුකක් ඇතිවුණේ. විජය කියල යන්තම් අඳුනන්න පුළුවන් කම විතරයි තිබ්බේ. මුහුණට වෙඩි වැදිලා නිසා හිස් කබල පත්වෙලා මුහුණ ඇතුලට බැහැල මුහුණේ දෙපැත්තක් මත්වෙලා තිබ්බේ. නහය ළඟින් වෙඩි උණ්ඩයක් පිටවෙලා මුහුණ සම්පුර්ණයෙන් ම වෙනස්වෙලා තිබුණේ..”

දේහය මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නිසා විජයගේ මුහුණ සැකසීම කමල්ට පැවරෙනවා.

“නහය උඩ ඉඳන් කට හරියට එනකම් විජයගේ මුහුණේ පැල්මක් වගේ තිබුණා. එක මහල තිබ්බේ හරියට ගෝනි නූලකින් වගේ. දේහය කළුවෙලා තිබුණේ. මට තේරුණා මුණ ඇතුලට බැහැල, කම්මුල් දෙපැත්තේ අනවශ්‍ය මහතක් තියෙනවා කියල. අපි බැලුවා යම් හෙඩ් ඩ්‍රෙස් එකක් වගේ දාල ඒ වැඩිවෙච්ච ප්‍රමාණය අඩු කරලා විජයගේ මුහුණේ හැඩය හදන්න. නහයට දාල තිබ්බ ගෝනි නූල් තරම් මහත නූල ඒ වෙනකොටත් හයිවෙලා ගලවන්න බැහැ..”

ඔවුන්ගේ ඊළඟ අභිප්‍රාය වූයේ ඒ මහත නූල් වසා දැමීමය.

“ඒ ගෝනි නූල් වැහෙන විදිහට වේශ නිරුපන ශිල්පීන්  පාවිච්චි කරන පොටි එකක් දාල නහයක් නිර්මාණය කරලා විජයගේ මුහුණේ හැඩය ගන්න අපි උත්සහ කළා. මේ වැඩේට හවුල් වුණේ ඊබට් විජේසිංහ. හුත් උපරිම වෙහෙසක් ගත්තා. ඊබට් එදා හිටියේ මේ වැඩෙන් සැලිලා. එදා අපිට අද භාවිත කරන නවීන වේශ නිරූපන ආම්පන්න, අමුද්‍රව්‍ය තිබුනෙත් නැහැ. ඒ නිසා ඒ කලර් කෝඩ් එක හරියට ආවත් ඒ වැඩේ  සාර්ථක වුණේ නැහැ… අපි එදා බොහෝ වෙලාවක් ඒ වැඩේට මහන්සි වුණා.”

කමල් සහ ඊබට් තමන්ගේ උපරිම උත්සාහයෙන් විජයගේ මුහුණ යතා තත්වයට පත්කිරිමට ගත උත්සාහය සාර්ථක වුණේ නැහැ. ඒ වෙඩි ප්‍රහාරයෙන් මුහුණට වී තිබුණු හානිය නිසයි.

 

” චන්ද්‍රිකා මැතිනිය අපි  කරන දේ බලන් හිටියා මිසක් වචනයක්වත් කතා කළේ නැහැ. ඇය ඒ තරම් ශෝකයෙන් හිටියේ.. අවසානයේ අපි ගත් උත්සාහය බලපු  චන්ද්‍රිකා මැතිනිය කිව්ව “මිනිස්සු විජය දැක්කේ මෙහෙම නෙමෙයි බොහොම සුන්දර විදිහට..ඒ නිසා විජයව මෙහෙම මිනිස්සුන්ට පෙන්වුවොත් එය විජයට කරන අගෞරවයක්” කියලා. අපි විජයගේ මුහුණ ආපහු හදන්න හැදුවත් ඒක සාර්ථක නොවුණු නිසා මමත් හිතුවේ විජයගේ මුහුණ නොපෙන්වන එක හොඳයි කියලයි.. ”

ඒ අවස්ථාවේ කෙනෙක් විජයගේ මඟුල් මුද්ද ගෙනවිත් චන්ද්‍රිකා මැතිනිය ගේ අතට දුන්නේ යයි කමල් අද්දර ආරච්චි පවසයි. මේ ගැන චන්ද්‍රිකා කුමාරතුංග ගේ විජය ග්‍රන්ථයෙද සඳහන් වෙයි. ඒ මෙසේ ය. ” 

” මම මානසිකව විජය මැරුණා කියල පිළිගත්තේ නැහැ. මම යනකොට විජයගේ හිස වසා තිබුණා. කවුදෝ කෙන් ඇවිත් විජයගේ ඇඟිල්ලේ තිබුණු මංගල මුද්ද හා අත් ඔරලෝසුව මට ගෙනත් දුන්නා. විජය මියගිය බව මා පිළිගත්තේ එවිටයි.. ”

කමල් අද්දර ආරච්චිගේ මතකයට අනුව චන්ද්‍රිකා අතට ඒ මුද්ද ලැබෙන්නේ මහජන ගෞරවයට ප්‍රදර්ශනය කිරිමට පෙර ඒ මුද්දෙන් විජයගේ ඇඟිලි සැරසීමට ය.

” කවුද ඇවිත් විජයගේ මඟුල් මුද්ද ගෙනත් දුන්න දේහයට දාන්න. ඒ වෙලාවේ චන්ද්‍රිකා මැතිනිය දේහය ලඟට ඇවිල්ල මුද්ද අතේ තියාගෙන කරකියාගණන් දෙයක් නැතුව බලාගෙන හිටියා. මුද්ද දාන්නෙත් නැහැ.. කතා කරන්නෙත් නැහැ ඒ වෙලාවේ මම චන්ද්‍රිකා මැතිනියගෙන් මුද්ද ඉල්ලලා විජයගේ ඇඟිල්ලට දැම්මා. මුද්ද දාල අපි දේහයේ මුහුණ කොටස වහලා පොල්හේන්ගොඩට දේහය ගෙනියන්න තීරණය කළා… ”

කමල් අද්දරආරච්චි අදත් ඒ සිදුවීම සිශිපත් කරන්නේ වේදනාවෙනි.

1988 පෙබරවාරි 17 උදෑසන පොල්හේන්ගොඩ නිවසට ගෙන එන විජයගේ දේහය දින දෙකහමාරක් එතනත්, පසුව කලාභාවනෙත් තැන්පත් කර 21 වැනිදා සවස නිදහස් චතුරශ්‍රයේදී ආදාහනය කරනු ලබයි.

විජය සමඟ කමල් රඟපෑවේ එකම එක චිත්‍රපටයක එක ජවනිකාවකටය.ඒ පාරමිතා චිත්‍රපටයේ ය.

” මම ලාබාල තරුණයෙකුගේ චරිතයක් රඟපෑවේ.මම විජයට යමක් කියනවා විජය අහගෙන ඉන්නවා. විජය රැවුල දාගෙන ඉන්නේ.. එදා ඒ ජවනිකාව ඉවර වුනාම විජය මගේ පිටට තට්ටු කරලා හොඳට කළා වගේ ඇඟේව්වා.”

විජය ලෙහෙසියෙන් මිතුරුකම අතහැර දමන්නේ නැත. ඒ නිසා කමල් සමඟ ද ඔහු ඉතා සුහද වුයේ ය..

“එකම චිත්‍රපටයක විතරක් එකට රඟපෑවට විජය මා එක්ක බොහොම සුහද වුණා. මට ඔහුගේ ගෙදරට එන්න ආරාධනා කළා. නමුත් එහෙම ගියානම් මම අනිවාර්යෙන් ම ඔහුගේ පාක්ෂිකයෙක් වෙනවා. විජය කතාකරන දේවල් අහන් ඉන්න ඕන කෙනෙක් ඔහුට ආකර්ෂණය වෙනවා. ඒ නිසා ඔහු කිව්වනම් මගේ දේශපාලනය කරන්න කියල මට එක නොකර බැරිවෙනවා. ඒ නිසයි මම නොගියේ.. ඒ නිසා ඔහු ආශ්‍රය කරන්න තිබ්බ කාලය මග හැරුණා කියල විජය මියගිය දා මට හිතුණා. අදත් හිතෙනවා. ..”

[rns_reactions]