ශ්‍රීලනිප ධජයට මුවාවී වෙන පක්ෂ දිනවන්න වැඩ කරන කල්ලතෝනින්ව පක්ෂයෙන් නෙරපනවා..

Spread the love

එළැඹෙන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු නොකර වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කිරීමට කටයුතු කරන ඕනෑම ශ්‍රී .ල.නි.පක්ෂ මැති ඇමැතිවරයකුට එරෙහිව පක්ෂය දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

මහලේකම්වරයා මේ බව පැවැසුවේ මේ වනවිට ශ්‍රී .ල.නි.පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පුළුල් සන්ධානයක් ලෙස එළැඹෙන මැතිවරණයට මුහුණ දීමට තීරණය කර ඇති බවත් කිසිදු විටෙක ශ්‍රී .ල.නි.පක්ෂය සමඟ එකතු නොවන බවටත් අපට දැනගන්නට ලැබුණු පුවත පිළිබඳව මහලේකම්වරයාගෙන් විමසූ අවස්ථාවේදීය.

මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී .ල.නි.පක්ෂය නියෝජනය කරන කවර හෝ අමාත්‍යවරයෙක්, මන්ත්‍රිවරයෙක් වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරයි නම් ඔවුන්ව පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවයි.

එවැනි අයකු සිටී නම් පක්ෂයෙන් ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට පෙර පක්ෂයෙන් ඉවත් වී තමන් කැමැති පක්ෂයක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස මහලේකම්වරයා එවැනි මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

[rns_reactions]