ශ්‍රී ලංකාවේ අට දෙනකුගෙන් එක්‌ අයෙකුට මානසික රෝගයක්…..

Spread the love

ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් අට දෙනකුගෙන්ම එක්‌ අයෙකු කුමන හෝ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මානසික සෞඛ්‍ය නිලධාරි සුවීන් තිරපති මහතා පැවැසීය.

මෙම මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයගෙන් සියයට 60 ක්‌ ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවන අතර ප්‍රතිකාර ලබාගනුයේ සියයට 40 ක්‌ පමණකැයි වෛද්‍ය තිරපති කීවේය.

මෙරට වැඩි වශයෙන් ම පැතිර පවතින මානසික රෝගී තත්ත්වය වනුයේ විශාදය හෙවත් ඩිප්‍රෙෂන් වන අතර වාර්ෂිකව 80,000 ක්‌ පමණ දෙනා මෙරට විශාදය රෝග තත්ත්වයට ගොදුරු වන බවත් දැනට මෙරට 800,000 කට අධික පිරිසක්‌ විශාදයෙන් පෙළෙන බව හෙතෙම සඳහන් කළේය.

මෙරට ජනගහනයෙන් සියයට 2 ක්‌ දරුණු ඝනයේ විශාදය ඇතුළු උග්‍ර මානසික රෝගවලට ගොදුරු වී සිටින බව අනාවරණය වී තිබේ.

විශාදය පුද්ගලයකු දුබල බවට පත් කරන ලොව ප්‍රධානතම හේතුව බව අනාවරණය වී ඇති අතර ඕනෑම වයසක අයෙකුට එය වැළඳීමේ හැකියාව පවතින බව (29 දා) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක්‌ අමතමින් වෛද්‍ය තිරපති කීවේය.

ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය වශයෙන් ද විශාදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණයවී ඇති අතර, පිරිමින්ට වඩා වැඩි වශයෙන් කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වන බව වෛද්‍ය මතය වී තිබේ.

විශාදය සැදුණු අයෙකුට මුල් අවස්‌ථාවේදී බෙහෙත්වලින් තොරව රෝගය සුවපත් කළ හැකි අතර, රෝගයටද ප්‍රතිකාර පමා වීමෙන් වර්ධනය වූ විට චර්යාත්මක ප්‍රතිකාර ඇතුළු මානසික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා දිය යුතු බව මානසික රෝග විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මෙහිදී කීවේය.

රෝගය මුල් අවස්‌ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර කිරීම සෘන ආකල්ප ධනාත්මක ආකල්ප බවට පත් කිරීම, සිය හැඟීම් පවුලේ සාමාජිකයකුට සමීප මිතුරෙකුට පැවසීම, දිනපතා ව්‍යායාමයක නිරත වීම, ඵලදායී ක්‍රියාවක නිරත වීම හරහා ම විශාදය රෝගය සුපවත් කළ හැකි බව හෙතෙම සඳහන් කළේය.