ශානි සහ රවී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන නීතිපති කළ ප්‍රකාශය

ශානි සහ රවී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන නීතිපති කළ ප්‍රකාශය
Spread the love

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව නීතිපතිවරයා අද ( 20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ, හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කරන ලද විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදීයි.

අදාළ පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති බවයි.

විමර්ශන තවමත් මූලික අදියරේ පවතින බවත් පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීමට මේ මොහොතේ තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

කෙසේ වෙතත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තරම් ප්‍රමාණවත් සාක්ෂි මතුවුවහොත් එවැනි තීන්දුවක් අධිකරණයට දන්වා මෝසමක් ගොනු කරන බවද ඔහු සඳහන් කළේය.

Post Comment