සිහින ලෝකවල කටයුතු කරන්න එපා – ජනපති රනිල්

සිහින ලෝකවල කටයුතු කරන්න එපා – ජනපති රනිල්
Spread the love
  • වගකීම් භාරගත හැකි මෙන්ම සත්‍ය නොබියව ප්‍රකාශ කළ හැකි දේශපාලන නායකයන් රටට අවශ්‍යයි.
  • සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන ඉදිරියට යමු.
  • ඇතැමුන් ආදර්ශයට ගන්නා ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් අසාර්ථක පුද්ගලයෙක්.
  • සිංහල ජාතිය කිසිදා සිඟමන් යැද්දේ නැහැ – අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් තුළින් මෙරට ආර්ථිකය ඉහළට ඔසවා තබනවා.
  • එම වැඩපිළිවෙළේදී බැංකු පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙනවා – බැංකුකරුවන්ගේ සංසඳයට එක් වෙමින් ජනපති පවසයි.

රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බවත්, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන පිරිසක් එම දේශපාලන ක්‍රමවේදය තුළ බිහිවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (05) සංවිධානය කර තිබූ බැංකුකරුවන්ගේ සංසඳයට සහභාගී වෙමිනි.

රට හමුවේ ඇති ආර්ථික අභියෝගය තමා ජනතාව හමුවේ නොබියව ප්‍රකාශ කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රට එම අර්බුදයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි වැඩපිළිවෙළ ද මේ වන විට පැහැදිළිව රටට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක් රටට නොමැති බව පැවසූ ජනාධිපතිවරයා සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සහාය වීම සියලුදෙනාගේ වගකීම බවද පැවසීය.

ඇතැමුන් ආජර්ටිනාවේ මාටින් ගුස්මාන් ආදර්ශයට ගෙන කථා කළද ඔහු අසාර්ථක පුද්ගලයෙකු බව පැවසු ජනාධිපතිවරයා තවත් පිරිසක් ලෝක නායකයන්ගෙන් මුදල් ඉල්ලාගෙන එන ලෙස තමන්ට පැවසුවත් සිංහල ජාතිය කිසිදා සිඟමන් යැදි ජාතියක් නොවන අතර ස්වඋත්සාහයෙන් නැගි සිටින ජාතියක් බවද අවධාරණය කළේය.

අපනයන ආර්ථිකයක් මත පදනම්ව රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාම තම අරමුණ බව පැවසු ජනාධිපතිවරයා අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමේ දී බැංකු පද්ධතියට විශාල වගකීමක් පැවරෙන බවත් කියා සිටියේය.

මෙහිදී ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් සහභාගී වූ සාකච්ඡාවක් ද පැවැත්විණි.