හැරී – මේගන් යුවළ ඇමෙරිකාවේ පදංචියට පැමිණෙයි

හැරී – මේගන් යුවළ ඇමෙරිකාවේ පදංචියට පැමිණෙයි
Spread the love

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් ගේ ආරක්ෂාව වෙනුවෙන් වැයවන මුදල දැරීමට එක්සත් ජනපදය සුදානම් නැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මෙම ප්‍රකාශය කළේ හැරී කුමරු සහ මේගන් පදිංචිය සඳහා කැනඩාවේ සිට එක්සත් ජනපදයට පැමිණි බවට වාර්තා පළ වෙමින් තිබියදී ය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඔහු “රැජිනගේ සහ එක්සත් රාජධානියේ මිතුරෙකු සහ ප්‍රසාදිතයෙකු” වන බවය; නමුත් “ඔවුන් ගෙවිය යුතුයි!” යනුවෙන් ද සඳහන් කර ඇත

මහජන මුදලින් ආරක්ෂාව ලබා ගැනීමට කිසිදු සැලසුමක් නොතිබුණු බව හැරී යුවළ පැවසූහ.

කොරෝනාවෛරසය ව්‍යාප්තවෙමින් පවතිද්දී හැරී යුවළ කැලිෆෝනියාවේ පවතින, මේගන් ට අයත් නිවසේ පදිංචියට පැමිණ ඇති බවට වාර්තා වේ.

එම යුවල ජ්‍යෙෂ්ඨ රාජකීය තත්ත්වයෙන් ඉවත්වීම මාර්තු 31වනදා නිල වශයෙන් සිදුවන අතර ඉන් පසුව ඔවුන් රැජින නියෝජනය කරමින් රාජකාරී නොකරනු ඇත.

නමුත් මෙම විධිවිධාන වසරකින් යළි විමර්ශනය කෙරෙනු ඇත.

ප්‍රකාශකයෙකු හරහා ඉරිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ “එක්සත් ජනපද ආණ්ඩුවෙන් ආරක්‍ෂක පහසුකම් ඉල්ලා සිටීමේ සැලසුමක් ආදිපාදවරයා සහ ආදිපාදවරිය සතුව නොතිබුණු අතර පෞද්ගලික වියදමින් ආරක්ෂාව සලසාගෙන තිබූ” බවය.

සිය පුතු ආචි සමඟ මෙම වසරේ වැඩි කාලයක් හැරී යුවල ජීවත් වුයේ කැනඩාවේ ය. ඔවුන් කැනඩාවට පැමිණියේ නත්තල් නිවාඩු සමයේ වැන්කුවර් දූපත් හි සති හයක සංචාරයක් අවසාන කරමිනි.

“රාජකීය තත්ත්වය වෙනස් කිරීම” හේතුවෙන් හැරී පවුලට ආරක්ෂාව සැපයීම නතර කරන බව කැනඩා රජය පසුගිය මාසයේ දී නිවේදනය කළේය. දැන් ජනාධිපති ට්‍රම්ප් ද ඒ මග ගෙන තිබේ.

පසුගිය සතියේ හැරී යුවල ලොස් ඇන්ජලීස් නුවරට පැමිණ සිටි බව එක්සත් ජනපද මාධ්‍ය සඳහන් කරයි. මේගන් හැදී වැඩුණේ ලොස් ඇන්ජලීස් නුවර ය. ඇයගේ මව මේ වන විට ජීවත් වන්නේ එම නුවරය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් පණිවිඩය නිකුත් වූයේ එක්සත් ජනපදය පුරා නව කොරෝනාවෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතරවාරයේ ය.

මේ වනවිට කොවිඩ් – 19 ආසාදිතයන් 135,499ක් එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබේ. මිය ගිය පුද්ගල සංඛ්‍යාව 2,381කි.

කැලිෆෝනියාවේ කොරෝනාවෛරස ආසාදිතයන්ගේ ගණන දිනෙන් දින ඉහළ යමින් පවතින අතර එම ප්‍රාන්තයේ පමණක් 5,565 දෙනෙකුට කොවිඩ් – 19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තිබේ. එහි 121 දෙනෙකු මරණයට පත් විය.

මේ හේතුව නිසා කැලිෆෝනියාවේ වැසියන් නිවසට වී සිටිය යුතු බවට නියෝගයක් එහි ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරනු ලැබීය. නිවසින් බැහැරව යාමේ අවසරය ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සපයන්නන් හට පමණි. එක්සත් ජනපදය තුළ ඉහළම සීමා පැනවීම් සහ තහනම් නියෝග නිකුත් කර ඇත්තේ කැලිෆෝනියාවට ය.

හැරී කුමරුගේ පියා වන චාල්ස් කුමාරයාට නව කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව මෙම සතිය මුල දී වාර්තා විය. නමුත් ඔහු “යහපත් සෞඛ්‍ය තත්වයෙන්” පසුවන බව බැකිංහම් මාලිගාව නිවේදනය කළේය.

71 හැවිරිදි චාල්ස් කුමරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව දියත් වූ දින හතක ස්වයං නිරෝධායනය අවසාන කර ඇත.

චාල්ස් කුමරු
කොරෝනාවෛරසය ආසාදිත වූ චාල්ස් කුමරු ස්වයං හුදෙකලාව අවසන් කළ බව නිවේදනය කෙරිණි.

ඔහු රජයේ නියෝග අනුගමනය කරමින් සිටින බව මාලිගාව නිවේදනය කළේය.

රජයේ නියමයට අනුව, රෝග ලක්ෂණ මතු පුද්ගලයා දින හතක් වෙන් වී සිටිය යුතු අතර ඔහු සමඟ වාසය කරන අනෙකුත් පුද්ගලයන් සති දෙකක් හුදෙකලා වී සිටිය යුතුය.

BY BBC.COM