2021/22 ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම අවුල්

2021/22 ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම අවුල්
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2021/2022 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති කොන්ත්‍රාත් ගිවිසුමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් මුදල 50% කින් පමණ කපාහැර ඇති අතර මීට පෙර පැවති කොන්ත්‍රාත්තු සමග සැසදීමේදී සමස්තයක් ලෙස ක්‍රීඩකයකුගේ ගෙවීමෙන් 35%කට ආසන්න මුදල් ද කපා හැර ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතර උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ක්‍රීඩකයන් නව කොන්ත්‍රාත්තුවට අස්සන් කිරීම ප්‍රමාද කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙවර ඉහළම කොන්ත්‍රාත් මුදලක් හිමිව ඇති ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ලයි. ඔවුන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ගෙවීමක් හිමිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු සදහන් කළේ ‘‘අපි මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළා. ඔවුන් අද හෙටම ඔවුන්ගේ පැහැදිලි කිරීම කරයි‘ යනුවෙනුයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් නිලධාරියෙක් පැවසුවේ දක්ෂතා මත පදනම්ව වැටුප් ගෙවන බවට මීට පෙර ක්‍රිකට් ක්‍රීඩකයින්ට දන්වා තිබූ බවත් එය ප්‍රසිද්ධ කරුණක් බවයි.

‘‘ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව, වෘත්තීය දස්කම්, නායකත්ව ලක්ෂණ සහ අනාගත වටිනාකම යන ලක්ෂණ පදනම් කරගනිමින් තමයි 2021/22 කොන්ත්‍රාත් ගිවිසුම සකස් කළේ. මෙවර අප සමග ක්‍රීඩකයින් 24 දෙනෙක් ගිවිසුම් ගත වෙනවා. එම ක්‍රීඩකයන් 24 දෙනා ඒ, බී, සී සහ ඩී යන කාණ්ඩ යටතේ ඇමරිකානු ඩොලර් 25,000 සිට ලක්ෂය දක්වා වන සේ කාණ්ඩ ගත කර තිබෙනවා‘‘

2021/22 කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් වන්නේ, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, දසුන් ශානක, වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙනිය, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර සහ අකිල ධනංජය.