Blog

  • උපයන විට ගෙවන බද්ද, ආර්ථික විද්‍යා සහ දිව්‍ය ලෝකය

    උපයන විට ගෙවන බද්ද, ආර්ථික විද්‍යා සහ දිව්‍ය ලෝකය

    මෙම ප්‍රවෘත්තියක් හා විශේෂාංගයක් ලෙස කොටස් දෙකකින් යුතුය.  අද බදු පැනවීම ගැන ඉලක්කම් විද්‍යාව මෙහි ඇත. දෙවන කොටස එහි බලපෑම ගැන උපහාසාත්මක කතාවකි.  කැමති විදිහකට පළ කලාට කම් නැත.  ඇමුණුමේ ඇත්තේ පසුගිය රජය විසින් උපයන විට ගෙවන බද්ධ රු. 150,000 ට අප්‍රේල් මස සිට අඩු කිරීමට ගත් කැබිනට් තීරණය යි.  

    රජය බදු සහන කිහිපයක් නිවේදනය කර ඇත. උපයන විට ගෙවීමේ බද්ද නැත්තම් PayE tax  (බද්ද) අවම සීමාව රු. ලක්ෂයේ සිට රු. 150,000 දක්වා අඩු කර ඇත. සරළව වැටුප රු. 150,000 ට අඩු නම් බදු නැත.

    රු. ලක්ෂ 2 කට අඩු අයෙකුට බදුද 71% කින් ද, ලක්ෂ තුන හමාරක වැටුපට බද්ද 25.5% කින් ද ඒ අනුව නිදහස් වේ.  ඡන්ද වේදිකාවේ පැවසූ ලෙස PayE tax  රු. ලක්ෂ 2 දක්වා අඩු පහත දමා, නැතත් එය යහපත් කාර්යයකි. ජයවේවා!

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතා සීමාවන් අනුව රජය මේ බද්ද පනවන විට එයින් අපේක්ෂිත බදු මුදල රු. බිලියන 160 ක් විය.  අද වන විට එමගින් රු. බිලියන 190 ක් ලැබේ. නව බදු අඩු කිරීම තුල රජයට අහිමි වන මුදල රු. බිලියන 40 කි.  එනම්, බදු ආදායම ලෙස රජයට ඉතිරිවන්නේ රු. බිලියන 150 කි.

    කෙටියෙන්ම, බද්ද පනවන විට බලාපොරොත්තු වූ ආදායම රු. බිලියන 160 වෙනුවට රු. බිලියන 150 ක් සංශෝධනය අවසානයේ දී ද හිමිවේ. 

    දැන් මේ අහිමි වන මුදල රජය ලබා ගන්නේ කෙසේද? යන්න ඊලඟ ප්‍රශ්නයයි.

    බදු සංශෝධනයේ දී 5% ක් වූ රැඳවුම් බද්ද ‘Withholding tax’ 10%  දක්වා වැඩි කර ඇත.  සරළව ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදලට රු. ලක්ෂයක පොලියක් ලැබෙන්නේ යැයි සිතන්න. ඊයේ වන තුරු එයින් රු. පන්දහසක බද්දක් රජයට ලැබුණි.  එම බද්ද දැන් රු. 10,000 දක්වා වැඩි වන්නේය. මෙය බැංකු පොලිය එකතු කරන මොහොතේම කපා ගෙන රජයේ ගිණුමට බැර වන්නේය.

    PayE tax අඩුවීම නිසා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයින්ට  සහනයක් ලැබේ.  අනෙක් අතට, විශ්‍රාමිකයින් බහුතරය එනම් අර්ථසාධක අරමුදල බැංකුවේ දමාගෙන පොලියෙන් ජීවත් වන පිරිසට එදා ලැබුණු 15% ක පොලිය අද 7.5% දක්වා පහත වැටී ඇත. එදාට සාපේක්ෂව දැන් ලැබෙන සොච්චම් පොලියට ගැසූ 5% ක බද්ද 10% දක්වා වැඩිවී ඇත. මේ බදු වෙනස නිසා බද්ද පනවන විට අපේකෂා කල මුදලට වඩා රු. බිලියන 5 ක් පමණ රජයට අහිමි වන්නේය.

    සීයා තරුණයින්ට බදු ගසා, වයසක උදවියට සහන දුන් අතර, ඩබල් පොකට් තරුණයා වැඩිහිටියන්ගෙන් කපාගෙන, වැඩකරන වයසේ අයට සහන දී ඇත. දෙකම හොඳය. 

    විශ්‍රාමිකයින් බහුතරය ඉල්ලා සිටින්නේ තමන්ට දිගු කාලයක් ලැබුණු ‘ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉහළ පොලී අනුපාතය’ ලබා දී තම ජීවිත සුඛිත මුදිත කරන ලෙසය. දැන් ඔවුනට ලැබෙන පොලියට අඩු වි ඇත.

    ———————————– Part 11——————–
     
    මිත්‍රවරුණි, පමාවී දිව්‍යලෝකයේ ගිය බිරිඳ හා සැමියාගේ කතාව ඔබ දන්නවාද?

    ස්වාමියා අසනීප වී රෝහල් ගත කළ විට වෛද්‍යවරුන් කීවේ ලුණු, මිරිස් අඩුවෙන්, කිරි නැතුව, මස්, මාළු, අරක්කු සිගරට් නැතිව ජීවත් නොවන්නේ නම් තව සතියකට වඩා ජීවත් නොවන බවය. වෛද්‍ය උපදෙස් පළිපැදි  බැවින් පුරුෂයාගේ ආයු දික් විය. වසර 10 ක් ජීවත් වී මිය ගිය විට යහපත් කල් ක්‍රියාව නිසා දිව්‍ය ලෝකයේ ඉපදුණි.

    දැන් දිව්‍ය ලෝකයේ දිවා ආහාර වේළාවයි. බිරිඳ, ස්වාමියා වෙනුවෙන් ඇණවුම් කරන්නේ ලුණු, මිරිස්, තෙල්, කිරි, මධ්‍යසාර නැති භෝජනයකි.

    වේටර් කියන්නේ, දිව්‍ය ලෝකයේ කුමන ආහාරය ගත්තත් ලෙඩ නොවන බවත්, දීර්ඝායු ලැබෙන බවත් ය.

    ස්වාමියා, බිරිඳ දෙස බලා අමු තිත්ත කුණුහරුපයෙන් ඇය අමතන්නී, ‘මේ ගෑණු නොවුණා නම් මම දැන් අවුරුදු 10 ක් දිව්‍ය ලෝකයේ මේ රසමසවුළු රස විදිනවා යැයි කියමිනි.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • SMEs Guide SL:  ව්‍යවසායකයකු වන්න කැමති නම් ‘පලතුරු බීම නිෂ්පාදන කර්මාන්තයක්’ ආරම්භ කරන්න

    SMEs Guide SL: ව්‍යවසායකයකු වන්න කැමති නම් ‘පලතුරු බීම නිෂ්පාදන කර්මාන්තයක්’ ආරම්භ කරන්න

    වර්තමානය වනවිට කෘත්‍රිම රසකාරක අඩු හා ස්වභාවික පලතුරු බිම වර්ග උදෙසාවන ඉල්ලුමේ ඉහල ප්‍රවණතාවයක් ගොඩනැගී ඇත්තේ එහෙයිනි. ශක්තිජනක බීම Energy Drinks, කාබනික බීම Organic Drinks සහ මිශ්‍ර බීම Smoothies යන කාණ්ඩ අතර පලතුරු යුෂ නිෂ්පාදන සැලකිය යුතු වෙළඳපොලක් අත්පත්කර ගැනීමට සමත්වී තිබේ. ඒ අනුව පලතුරු බීම නිෂ්පාදන හොඳ ආදායමක් උපයාගත හැකි මාර්ගයක් බවට ද පත්වී ඇත. මේ සඳහා පුළුල් වෙළඳපලක් අපේ රට තුළද ගොඩනැගෙමින් පවතී. ඒ උදෙසා දේශීයව සපයා ගතහැකි පලතුරු වර්ග බොහොමයක් අප සතුව ඇත. කෙසේ වුවද ව්‍යවසායකයකු වශයෙන් පලතුරු බීම නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණවීමට පෙරාතුව ඒ පිළිබඳව යම් තරමක හෝ පූර්ව දැනුමක් ලබා තිබීම ද ඉතා වැදගත් බව පැවසිය හැකිය.

    ඒ සඳහා අවශ්‍ය වෘත්තීයමය දැනුම ලබා ගැනීමට හා කුසලතාව වැඩි දියුණුකර ගැනීමට ඔබගේ පදිංචියට ආසන්නව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින, දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන වෙතින් විමසා බැලීම වඩා උචිත වේ. එමෙන්ම ඒ උදෙසා අවශ්‍ය කරන අනුකූලතා සහතික මොනවාද යන්න ඔබ දැන සිටීම ඉතා වැදගත් වනු ඇත. විශේෂයෙන්ම ඔබගේ ව්‍යාපාරය අරඹන ස්ථානය අයත්වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ පළාත් පාලන ආයතනය වෙතින් ඒ පිළිබඳව කරුණු විමසා දැන ගැනීමට හැකියාව තිබේ. ඉන් බැහැරව පලතුරු යුෂ හෝ බීම නිෂ්පාදනය හා අලෙවිය පිළිබඳ දේශීය නීතිරීති ගැන අධ්‍යයනය කරන්න. මේවා හඳුන්වාදී ඇත්තේ ඔබගේ උත්සාහය අකර්මණ්‍ය කිරීමට නොවන බවත් අවධාරණය කරමු.

    ඒ අනුව පලතුරු බෝග වගා කිරීමේ සිට පලතුරු යුෂ ඇසුරුම්කර විකිණීම දක්වා වූ ව්‍යාපාර දාමයේ කොතැනක වුවද ඔබට නිරතවීමට හැකියාව තිබේ. එමෙන්ම නැවුම් පලතුරු යුෂ Fresh Fruit Juice, සාන්ද්‍ර යුෂ FC-From concentrate juice, සාන්ද්‍ර නොකල යුෂ NFC – Not from concentrate Juice (100% පලතුරු යුෂ) සහ සෙ.අංශක 10 කට වඩා අඩු උෂ්ණත්වයකදී පීඩනය යටතේ නිස්සාරණය කරගන්නා යුෂ Cold Press Juice හා සීනි මිශ්‍රිත පලතුරු බීම Fruity Drinks ආකාරයෙන් කැමති ස්වරූපයක පලතුරු යුෂ නිෂ්පාදන කිරීමට යොමුවිය හැකි වේ. කෙසේ වුවද සමහර ආයතන පලතුරු මිලදී ගෙන ඒවා සාන්ද්‍ර පලතුරු යුෂ බවට පත් කර, පසුව තොග වශයෙන් ඇසුරුම්කර බීම නිෂ්පාදකයින් වෙත විකුණන ආකාරය දක්නට ලැබේ.

    පලතුරු යුෂ නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක්, කුඩා ව්‍යාපාරයක්, සුළු කර්මාන්තයක් හෝ විශාල ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීම එතරම් සංකීර්ණ කටයුත්තක් නොවේ. අවශ්‍ය වන්නේ ඔබගේ නිෂ්පාදනය කෙරෙහි දෙවන හා තෙවන පාර්ශවයන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමයි. ව්‍යාපාරයේ පරිමාණය කුමක් වුවද පලතුරු යුෂ බීම ජනප්‍රියවීම කෙරෙහි බලපාන්නේ ඒවායෙහි නිෂ්පාදන පිළිවෙත, ගුණාත්මක බව හා සෞඛ්‍යාරක්ෂිත බව යැයි අවධාරණය කරමු. මෙවැනි කර්මාන්තය ඇරඹීම උදෙසා ගෘහස්ථ පරිශ්‍රයේ ඉඩකඩ නොමැති නම්, ගොඩනැගිල්ලක් කුලියට හෝ බද්දට හෝ ගත හැකි වේ. අමුද්‍රව්‍ය ගබඩා කිරීමට, යුෂ නිෂ්පාදනය උදෙසා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර හා ඇසුරුම් කිරීමට සහ කාර්ය මණ්ඩලයට නිදහසේ වැඩ කිරීමට ප්‍රමාණවත් ඉඩකඩ එහි තිබිය යුතු ය.

    කෙසේ වුවද නිෂ්පාදනය කරන පලතුරු යුෂ වර්ගය කුමක් වුවත් ඒ සඳහා සම්මත නිෂ්පාදන ක්‍රියාදාමයක් පවතින බව පෙන්වා දිය හැකිවේ. පලතුරු අස්වැන්න නෙලාගන්නා ක්ෂේත්‍රයේ සිට අලෙවිකරණ ස්ථානය තෙක්වන ගමන් මගකින් එය යුක්ත වේ. ඒ අනුව හොඳින් පැසුණු පලතුරු තේරීම, සේදීම, බාහිර ආවරණ ඉවත් කිරීම, අභ්‍යන්තරයේ වූ බීජ ඉවත් කිරීම, ඇඹරීම, නිස්සාරණය කිරීම, පෙරීම සහ බඳුන්වලට පිරවීම, මුද්‍රා  තැබීම, ලේබල් කිරීම, ඇසුරුම් කිරීම සහ වෙළඳසැල් වෙත යොමු කිරීම මෙන්ම පාරිභෝගිකයින් දැනුවත් කිරීම දක්වා එය විහිදී යයි. මෙහි සඳහන් කළ එක් එක් නිෂ්පාදන පියවර සඳහා ගෘහස්ථව භාවිත කළ හැකි සරල උපකරණවල සිට විශාල පරිමාණයේ තාක්ෂණයෙන් ඉහළ යන්ත්‍ර සූත්‍ර බොහොමයක් දැන් වෙළඳපොල වෙතින් සපයා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.

    මෙවැනි යන්ත්‍ර සූත්‍ර ඇසුරෙන් වෙනත් අමුද්‍රව්‍ය එකතු නොකර පිරිසිදු ලෙස පලතුරු බීම නිෂ්පාදනය කළහැකි අතර සමහර නිෂ්පාදන සීනි සිරප් සමඟ තනුක කර සකසා නිපදවීම ද කෙරේ. එමෙන්ම පලතුරු වලින් සාදන බීම ‘ඇසුරුම විවෘතකල සැණින් බීමට ගතහැකි Ready- To- Drink ’ මෙන්ම භාවිත කරන අතරම ගබඩා කර තබා ‘ටිකෙන් ටික නැවත භාවිතයට ගත හැකි බීම Highly Concentrated Juice’ වශයෙන් නිපදවා වෙළඳපොලට යොමු කළහැකි වේ. පෙර සඳහන් කළ ආකාරයට ඇසුරුම් කරන්නේ නම් එවැනි නිෂ්පාදන සඳහා කිසිදු කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් මිශ්‍ර නොකළ යුතුය. දෙවනුව සඳහන් කළ නිෂ්පාදන උදෙසා අනුමැතිය ලත්, කල් තබා ගැනීමට උපකාරීවන රසායනික ද්‍රව්‍ය නිර්දේශිත ප්‍රමාණයක් මිශ්‍ර කළ හැකි වේ.

    බීම නිෂ්පාදනයේදී, ආරම්භක පියවර වන්නේ පූර්ව තේරීම Pre-sorting ය. ඒ අනුව, නුසුදුසු වූ සහ හඳුනාගත් ප්‍රමිතියට නොමැති පලතුරු ඉවත් කරන්න. ගුණාත්මක නිෂ්පාදන සැකසීමේ මුල්ම පියවර එමගින් සහතික කරයි. අපවිත්‍රවීමේ අවදානමක් නොමැති බව සහතික කිරීම සඳහා යුෂ නිෂ්පාදනය කරන පරිශ්‍රයේ සීමාවෙන් පිටත මෙම ක්‍රියාවලිය සිදුකිරීමට වග බලා ගන්න. ඒ සඳහා යොමුවන පුද්ගලයා (පිරිස) ද සනීපාරක්ෂක රෙගුලාසි වලට අනුකූලව නිර්දේශිත ඇවතුම් පැවතුම් ඒ උදෙසා අනුගමනය කළයුතු අතර ඔවුන් වෙතින් හරස් දූෂණය Cross Contamination නොවන බවට සහතික කරගත යුතු ය.

    දෙවන ක්‍රියාපටිපාටිය වන්නේ පලතුරු පිරිසිදු කිරීම Cleaning ය. සියලුම බාහිර අපද්‍රව්‍ය සහ දූෂ්‍ය  ද්‍රව්‍ය  ඉවත් කිරීම සඳහා පලතුරු සේදීම කරන්න. මෙය සාමාන්‍යයෙන් නිෂ්පාදන පරිශ්‍රයේ සීමාව තුළ ඉටුකරගැනීමට කටයුතු කරන්න. මේ සඳහා ඔබට සෝදන ඒකකයක් හෝ යන්ත්‍රයක් Surfing Washing Machine අවශ්‍ය කෙරේ. ඒ අනුව මළ නොකන ලෝහ හෝ පොලිමර් ටැංකියක් වෙත ඉහළ පීඩනයකින් යුත් පොම්පයකින් ජලය යොමුකරමින් අදාල පලතුරු, පෙරළ පෙරළා පිරිසිදු කරගත හැකිවේ. බොහෝවිට ආහාර ශ්‍රේණියේ සනීපාරක්ෂක රසායනික ද්‍රව්‍ය Food Grade Sanitizing Chemicals විෂබීජ නාශක ලෙස ජලය සමග නිර්දේශිත අනුපාතයෙන් මිශ්‍රකර මේ උදෙසා භාවිත කරන්න. එම ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම මෙහිදී කොහු කෙඳි හෝ පොලිමර් බුරුසු ආධාරයෙන් පලතුරුවල බාහිර පෘෂ්ඨය පිසදැමීම මගින් පහසුවෙන් ඒවායෙහි තැවරී රැඳී ඇති අපද්‍රව්‍ය ඉවත්කර ගත හැකි වේ.

    අනතුරුව, අභ්‍යන්තරයේ අපවිත්‍ර ද්‍රව්‍ය හෝ ජීවීන් (උදා. පණුවන්)  නොමැති බව සහතික කර ගැනීමට ඒවා විවරකර හෝ කපා බලන්න. මෙම කටයුත්ත නිෂ්පාදන පරිශ්‍රය තුළ වුවද සිදු කළ හැකිවේ. සමහර පලතුරු (උදා. අඹ, පීච්, පැපොල්, අන්නාසි සහ අලිගැට පේර ) ඇඹරීමට පෙර ඒවායෙහි බාහිර ආවරණය සහ බීජ ඉවත් කිරීම කළ යුතු ය. විශේෂයෙන්ම පැඟිරි කුලයේ ඵල ඇසුරෙන් යූෂ නිෂ්පාදනයේදී ඒවායේ පොත්තෙහි අන්තර්ගත තෙල් Limonene මඟින් එහි යුෂයට කටුක රසයක් ගෙනදීම පෙන්වා දිය හැකි ය.) ගෘහ කර්මාන්තයකදී නම් මිනිස් ශ්‍රමය ඇසුරෙන් මෙම ක්‍රියාව ඉටුකර ගැනීම ලාභදායී වේ. යන්ත්‍රයක් භාවිතයේදී එහි වූ කැපුම්තල මගින් පැඟිරි කුලයේ පලතුරුවල බාහිර ආවරණය කපා බැහැරට යොමු කරනු ලැබේ. ඉන්පසුව, යුෂ නිස්සාරණය Extraction කිරීම සඳහා ඇඹරුම් යන්ත්‍රයට යොමු කළහැකි වේ.

    පලතුරු යුෂ නිස්සාරක ඇඹරුම් යන්ත්‍ර මෝස්තර රඳා පවතින්නේ ඒ උදෙසා කුමන ආකාරයේ පලතුරු භාවිත කරන්නේද යන්න සහ අවසාන නිෂ්පාදිතයේ ස්වරූපය මත ය. සමහර අවස්ථාවක ඔබට අවශ්‍ය  වන්නේ එක් යන්ත්‍රයක් පමණක් වුවද තවත් කෙනෙකුහට ඒ උදෙසා යන්ත්‍ර වර්ග කිහිපයක් භාවිතයට ගැනීමට සිදුවේ. ඇඹරුම් යන්ත්‍ර විවිධ ධාරිතාවන්ගෙන් යුතුව මිලදී ගැනීමට හැකියාව පවතියි. සපයාගතහැකි අමුද්‍රව්‍ය ප්‍රමාණය සහ අපේක්ෂිත බිම නිෂ්පාදිතයේ වයනය හා ප්‍රමාණය මත අදාළ යන්ත්‍ර තෝරා ගැනීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. එමෙන්ම එය ක්‍රියාකරවන බලශක්තිය හා බලශක්ති අවශ්‍යතාවය (උදා: විදුලිය නම්, මෝටරයේ ධාරිතාවය, ඇම්පියර් ගණන හා වොල්ටියතාවය)   ගැන සලකා බලන්න.

    එලෙසින් ඇඹරුම් යන්ත්‍රයෙන් එක්රැස් කරගන්නා උකු ද්‍රවය (පොම්පයක් ඇසුරෙන්) ඊළඟ නිෂ්පාදන අදියර වෙත මාරු කළ හැකි වේ. පලතුරු යුෂ සැකසීමේ වැදගත් ඒකකයක් වන්නේ මිශ්‍ර  කිරීමේ ටැංකියයි. සාන්ද්‍රණය, පලතුරු පල්ප්, කල් තබා ගන්නා ද්‍රව්‍ය, ජලය, රසකාරක, වර්ණකාරක සහ තවත් බොහෝ දේ මිශ්‍ර කිරීම සඳහා මෙවැන්නක් උපකාරී වේ. විවිධ ප්‍රමාණවලින් මළ නොකන ලෝහ ද්‍රව්‍ය  ඇසුරෙන් සකසා ඇති මෙම ටැංකි විවිධ මිල ගණන් යටතේ විවෘත වෙළඳපොල වෙතින් සපයා ගතහැකි වේ.

    මෙලෙසින් නිපදවාගත් පලතුරු යුෂ පෙරහන් ක්‍රමයක් Filtration System භාවිත කර අන්තර්ගතයේ ස්වරූපය අනුව පෙරා වෙන්කර ගැනිමට හැකිවේ. ඒ සඳහා  පීඩන පෙරීමේ තාක්ෂණය සහිත උපකරණ භාවිතා කරයි. මේවායේ සෑම කොටසක්ම මළ නොබැඳෙන වානේ වලින් නිපදවා තිබේ. ඒ තුළ ඇති මළ නොබැඳෙන වානේ හෝ ඇලුමිනියම් ලෝහ මගින් නිපදවා ඇති පෙරහන් දැල ආධාරයෙන් 1μ ට වඩා වැඩි අංශු බැහැර කිරීමට හැකියාව තිබේ. එමෙන්ම ඒකාබද්ධ යුෂ පෙරහන යන්ත්‍ර මොස්තර වලට ඉහළ පෙරීමේ වේගයක් සමග විශාල වශයෙන් අවශේෂ රඳවා ගැනීමේ ධාරිතාවයක් පවතී. මෙවැනි යන්ත්‍රයක සුමට සංසරණ ක්‍රියාදාමයක් පවතින අතර භාවිතය පහසු වේ.

    පලතුරු බීම නිෂ්පාදන ක්‍රියාවලියේදී පැස්ටරීකරණය Pasteurizing ඉතා වැදගත් අදියරකි. මෙය අත්‍යවශ්‍ය දෙයකි. බැක්ටීරියා රඳා නොසිටින හා විඛාදනය නොවන උසස් ප්‍රමිතියෙන් යුතු ලෝහ ද්‍රව්‍ය භාවිතකර නිපදවන පැස්ටරීකරණ උපකරණ මේ උදෙසා භාවිත කිරීමට සැලකිලිමත් වන්න. පලතුරු මිශ්‍රකර බීම නිෂ්පාදනයේදී වුවද බෝතල් තුළට පිරවීමට පෙර එම ද්‍රව්‍ය පැස්ටරීකරණය කළ යුතු වේ. ( පැඟිරි කුලයේ පලතුරු මිශ්‍ර කිරීමෙන් වළකින්න.) මෙම ක්‍රියාවලිය පලතුරු යුෂ ඉක්මනින් සිසිල් කිරීමට පෙර නියමිත වේලාවට නිශ්චය කරගත් උෂ්ණත්වයකට රත් කරගත යුතුවේ. නවීන පිරවුම් යන්ත්‍ර බොහොමයක් පැස්ටරීකරණ පද්ධති සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ කළ හැකිවේ.

    පැස්ටරීකරණයේදී පලතුරු බීමවල පෝෂණ ගුණයන් ආරක්ෂා කරමින්, හානිකර බැක්ටීරියා විනාශ කර දමයි. විටමින් සංරක්ෂණය කරදෙයි. නිෂ්පාදනයේ ආයු කාලය දිගු කරවයි. ඒවායේ කාබනික ගුණාංග ද ආරක්ෂා කරන අතර ඇසුරුම් තුල කල්පවත්වා ගැනීම සඳහා  ද උපකාරී වේ. අනතුරුව  නිෂ්පාදිතය ඉක්මන් සිසිලනය කිරීම වැදගත් වේ. එසේ නොමැති නම්, නිෂ්පාදනයට පිළිස්සුණු රසයක් ගෙන එයි. වර්ණය තද දුඹුරු බවට පත්වේ.

    මෙලෙස සැකසූ පලතුරු බීම, පිරවුම් යන්ත්‍රයක් Filling Machine ආධාරයෙන් බෝතල් කිරීමෙන් පසු එයට අදාළ මූඩිය හෙවත් වැස්ම සවිකර ගැනීම කළ යුතුවේ. අවම මිනිස් ශ්‍රමයක් යටතේ ක්‍රියාකරවිය හැකි සරළ උපකරණ මේ උදෙසා භාවිතය ලාභදායී වුවද පරිමාණයෙන් ඉහල නිෂ්පාදන ආයතනයක් නම් සකස්කරගත් පලතුරු බීම අපතේයාම සිදුනොවීමට බෝතලයට යොමුකරන දියර ප්‍රමාණය සහ පිරවීමේ වේගය නියාමනය කළ හැකි යන්ත්‍ර භාවිත කිරීම වාසිදායක වේ. ඒ අනුව වාහක පටි මතින් රැගෙනයන බෝතල යන්ත්‍රයේ නැසිනි Nozzles වෙතට යොමුකිරීමෙන් පසුව පරිමාමිතික තාක්ෂණය Volumetric Technology භාවිතයෙන් බෝතල තුළට යොමු කරයි. බහාලුම්වල ප්‍රමාණය, ඒවායෙහි හැඩය සහ ඇසුරුම් ද්‍රව්‍ය අනුව ද නිමි නිෂ්පාදන ක්‍රියා පිළිවෙත විවිධ මුහුණුවර උසුලයි.

    කෙසේ වුවද පලතුරු බීම ඇසුරුම් කිරීමට පෙර අදාල ඇසුරුම් බෝතල පරීක්ෂා කිරීම විශ්වසනීය පිරවීමේ මෙහෙයුමක අත්‍යවශ්‍ය කටයුත්තකි. ඒ අනුව බෝතලයේ නිෂ්පාදිත දෝෂ, අපද්‍රව්‍ය හෝ අවශේෂ ද්‍රවයක් තිබේදැයි පරීක්ෂා කළ හැකිවේ. පිරවීමෙන් පසුවද අපේක්ෂිත පිරවුම් මට්ටම හා කාන්දුවීම් නොමැති බව සහතික කරගැනීම සඳහා ඒවා නැවත පරීක්ෂා කළ යුතු වේ. කුඩා ව්‍යාපාරයක නම් කල්ගත වුවද එය මිනිස් ශ්‍රමයෙන් ඉටුකර ගැනීම ලාභදායී වේ.  කර්මාන්තශාලා තුළ සාමාන්‍යයෙන් වාහක පටි ඔස්සේ බෝතල් ගමන් කිරීමේදී ඒවා සමග ස්පර්ශ නොවන දෘශ්‍ය  පරීක්‍ෂණයක් යටතේ බෝතලයේ ස්වරූපය හා අන්තර්ගත දියර ප්‍රමාණය නිරීක්ෂණය කළහැකි වේ. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ස්වයංක්‍රීය වන අතර ඒ සඳහා බෝතල් පරිලෝකන තාක්ෂණය භාවිතා කරයි. තත්ත්ව පාලන ක්‍රියා පටිපාටිවලට අනුකූලවීම මෙන්ම සත්‍යාපනය Verification කිරීම සඳහා බෝතල් පරීක්‍ෂණ උපකරණ වර්තමානයේදී පලතුරු බීම කර්මාන්තයේ බහුලව භාවිතා වේ.

    අවසාන පියවර වන්නේ ඔබගේ පලතුරු බීම බෝතල ලේබල් කිරීම සහ ඇසුරුම් කිරීම Labeling and Packaging යි. මෙය සුවිශේෂී කටයුත්තකි. පෙර සකසාගත් ලේබලය මත නිෂ්පාදන නාමය, ව්‍යාපාරික නම සහ ලිපිනය, නිෂ්පාදනය කරන ලද දිනය, කල් ඉකුත්වන දිනය, භාවිත අමුද්‍රව්‍ය, අන්තර්ගත කල් තබා ගන්නා ද්‍රව්‍ය, නිෂ්පාදිතයේ ප්‍රමාණය, කාණ්ඩ අංකය, පෝෂණ විශ්ලේෂණය, ප්‍රමිතිකරණ සලකුණ , තීරු කේත (ප්‍රධාන ප්‍රවාහ වෙළඳපල සඳහා) සහ ගබඩා කල යුතු ආකාරය සඳහන් කිරීම රීතියකි. එමෙන්ම නිෂ්පාදියේ වැසුමේ/ මූඩියේ මුද්‍රා තැබීම සහතික කිරීම සඳහා මෙන්ම ලේබල වලට සිදුවන හානි වළකාගැනීම සඳහා උණුසුමට ලක්කළ වාතය හෝ ජලය ඇසුරෙන් පොලිතීන් හැකිලීමට සලස්වා ආවරණය Shrink wrapping කිරීම නිෂ්පාදිතයට ඉහළ වටිනාකමක් එකතු කරදෙයි. මෙවැනි කටයුත්තකට Heat gun dryer ආකාරයේ අත් යන්ත්‍රයක් කුඩා ව්‍යවසායත්වයකට යෝග්‍ය වේ.  කුඩා ව්‍යවසායෙකු හට ආරම්භයේදී මුද්‍රිත ලේබල ඇලවීමට, ඇසුරුම් කිරීමට හා ඇසුරුම මත ලේබල යෙදීමට මෙන්ම ඒවා මුද්‍රා  කිරීමට ද සේවක ශ්‍රමය යොදා ගතහැකි වේ. ව්‍යාපාරය පුළුල්වනවිටදී ඒ උදෙසා බහුකාර්ය යන්ත්‍ර ඔබගේ ආයතනය තුළ ස්ථාපිත කර ගන්න.

    එමෙන්ම නිෂ්පාදන පිරිවැය ඉතිරිකර වැඩි ලාභයක් ලබාගැනීම සඳහා සෑම දෙයකටම අදාලව ඉන්වෙන්ටරි පාලන ක්‍රමවේදයක් සකස්කර ගන්න. ඒ අනුව ආරම්භයේ සිටම නිෂ්පාදන පිරිවැය, ශ්‍රම පිරිවැය, කළමනාකරණ පිරිවැය, අපේක්ෂිත ලාභය ඇතුළත් තොරතුරු රැස්කර වරින්වර සමාලෝචනය කරන්න. අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් සහ බෙදා හැරීමේ නියෝජිතයින් ලැයිස්තුගත කරන්න. සමකාලීන තරඟකරුවන්, පාරිභෝගිකයින් පිළිබදව සහ පවතින නිෂ්පාදන පිළිබදව වෙළදපොල විශ්ලේෂණය කරන්න. නිෂ්පාදන අලෙවිකරණය සහ කළමනාකරණය සංවිධානය කරන්න. සෑම දෙයකටම නිශ්චිත කාර්යයන් සහ ඉලක්ක තබන්න. ආරම්භයේදී සිටම අසීරුවෙන් වුවද ඔබගේ  බීම නිෂ්පාදන පිළිවෙතේ තත්ත්ව කළමනාකරණ, සුරක්ෂිතතා කළමනාකරණ, යහපත් නිෂ්පාදන පිළිවෙත්, පාරිසරික කළමනාකරණ, වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂක හා බලශක්ති කළමනාකරණ උදෙසාවන සහතිකකරණ වැඩසටහන් වෙත නැඹුරුවන්න. මේ උදෙසා සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයෙන් විමසා දැනගැනීමට උනන්දු වන්න.

    ඔබ හෝ ඔබගේ ආයතනය විසින් නිෂ්පාදන කරන ලද ද්‍රව්‍ය ග්‍රාමිය වෙළඳසැල්, ආපනශාලා, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, ජංගම වෙළදසැල් හා උද්‍යාන වෙළඳසැල් ආදිය වෙත යොමු කරන්න. තවද ඔබට ඇතැම් ප්‍රදේශවල බෙදාහැරීම සහ විකුණුම් කටයුතු සිදුකරන නියෝජිතායතන මේ සඳහා සහායකරගත හැකිවේ. ඒ උදෙසා ඔවුන් සමග දිගුකාලීන සහයෝගීතාවයක් ඇතිකර ගැනීම වඩා වැදගත්වේ. ආරම්භයේ සිටම ඔබගේ නිෂ්පාදන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කුඩා දැන්වීම් හෝ කෙටි වීඩියෝ දර්ශණ ප්‍රචාරණය කරන්න. වෙළඳ ප්‍රදර්ශන හරහා ඔබේ නිෂ්පාදන සන්නාමය පතුරුවා හරින්න. වසරින් වසර පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ආකර්ෂණීය ඇසුරුම් ක්‍රම නිර්මාණය කර භාවිත කරන්න.

    එමෙන්ම ඔබගේ නිෂ්පාදන පරිශ්‍රයේ සනීපාරක්ෂාව කෙරෙහි ද අවධානය යොමු කරන්න. සැම දිනකදීම පිරිසිදු කිරීමේ උපකරණ ආධාරයෙන් ගබඩා ප්‍රදේශය, භාවිත උපකරණ හා මෙවලම්, වැඩ පෘෂ්ඨයන් හා ආයතනික පරිශ්‍රය සේදීම හා විෂබීජහරණය කළයුතු වේ. එහෙයින් ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පිරිසිදු කිරීමේ උපකරණ භාවිතයට ගන්න.

    ලොව පුරාම පලතුරු බීම ජනප්‍රිය වීමත් සමඟම නව උපකරණ, යන්ත්‍ර සූත්‍ර හා ඇසුරුම් ක්‍රම අඛණ්ඩව බිහිවෙමින් තිබේ. එහෙයින් පරිමාණයෙන් කුඩා වුවත්, විශාල වුවත් පලතුරු බීම සකසා ඇසුරුම්කර වෙළඳපොලට යොමුකිරීමට බලාපොරොත්තු වන්නේනම් ඔබගේ ව්‍යාපාරය උදෙසා  භාවිතා කරන උපකරණ පිළිබඳව පළමුව සැලකිළිමත් වන්න. යෝග්‍ය උපකරණ හා අණපනත් පිළිබඳව දැනුවත්වීමෙන් පසුව නිෂ්පාදන කටයුතු ඇරඹිම ඔබගේ සාර්ථකත්වයට හේතුවන බව සිතන්න.

    එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

    සටහන: මෙම ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස  සේවයකර තිබේ. එසේම පෞද්ගලික අංශයේ ආහාර සැකසුම් නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලන කළමණාකරුවකු වශයෙන් ද සේවය කර ඇත. වසර 2005 සිට 2020 දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ, තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (කෘෂිකර්ම)  සහ වසර 2000 සිට 2021  දක්වා ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වසර 2016 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර ඒකකයේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. චින මහජන සමූහාණ්ඩුවේ ආධාරමත අවස්ථා දෙකකදී ද  ජපාන තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අවස්ථා දෙකකදී ද වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන ඇත.)

  • Full Story : යළි කිසිඳු දිනෙක 2022-23 වැනි තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ‍

    Full Story : යළි කිසිඳු දිනෙක 2022-23 වැනි තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ‍

    ජනපති පාර්ලිමේන්තුව අමතමින් පවසයි

    ඊයේ දිනයේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පිළිබඳ පැය තුනක විවාදයක් පැවැත් වුණා. ඒ විවාදයේදී වර්තමාන ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම දක්වා වූ ගමන් මාවතත්, එහිදී අත්පත් කර ගෙන තිබෙන කාර්යභාරයන් පිළිබඳව විවාදයේදී සාකච්ඡා වුණා. එම නිසා මා දීර්ඝ පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. 2028 වන විට අපට ණය ගෙවීමට සිදු වෙනවා, ඊට පස්සේ අපේ රට නැවත බංකොලොත්භාවයට යනවා කියලා නැවත සමාජයේ මතවාදයක් ඇති කරන්න උත්සාහ කරනවා. 2028 තිබෙන්නේත් අපේ ආණ්ඩුව බව මතක තබාගන්න.

    මේ රට යළි කිසිඳු දිනක, අනාගතයේ, 2022 -23 වගේ තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ.

    අපේ අපේක්ෂාව තමයි, 2028 වන විට අපේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වනවා. අපට ශක්තිමත් විශ්වාසයක් තිබෙනවා ඒ වන විට ඩොලර් බිලියන 15.1ක විදෙස් වත්කම් ප්‍රමාණයක් අපට උපයා ගන්න පුළුවන් වේවි කියලා.

    ඒ වගේම මා දැක්කා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන විට බොහෝ අය කතා කළේ උපදේශාත්මකවයි. විශාල තොරතුරු ඉදිරිපත් කිරීම් කළා. අද අප ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කර තිබෙන ඩොලර් බිලියන 12.55ත් එයට ගෙවන්න සිදු වී තිබෙන පැහැර හරින ලද ණය ඩොලර් බිලියන 1.7ක් අප ප්‍රතිව්‍යුහගත කිරීමකට භාජනය කළා. මෙම ඩොලර් බිලියන 12.5න් ඩොලර් බිලියන 11.5ක්ම 2015-2019 ආණ්ඩුව කාලයේ ලබා ගත් ණයයි. අද ඔය උපදේශාත්මක හඬින් කතා කරන අය එදා උපදෙස් දුන්න නම් මේ රට මේ විදිහට බංකළොත්භාවයට පත් වන්නේ නැහැ. ඒ නිසා උපදෙස් ප්‍රමාද වැඩියි. නිශ්චිත මොහොතේ උපදෙස් ලබා දීම තමයි උපදේශවල තිබෙන වටිනාකම ඇති වන්නේ. ඒ නිසා දැන් ලබා දෙන උපදෙස් වලංගු වන්නේ නැහැ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දෙවන සමාලෝචනය අවසන් කර දෙවෙනි වාරික මුදල නිදහස් කර ගෙන තිබුණා. අපි බලය අත්පත් කරගන්නා විට තුන්වන සමාලෝචනය පමා වී තිබුණේ. තුන්වෙනි සමාලෝචනය ආරම්භ කරන්න තිබුණේ සැප්තැම්බර් මාසයේයි. මැතිවරණයක් පැවැත්වෙන වෙලාවේදි ඔවුන් තුන්වන සමාලෝචනයට සූදානම් වුණේ නැහැ. ඒ අනුව මහ මැතිවරණය අවසන් වූ වහාම නොවැම්බර් 16 වන දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තුන්වන සමාලෝචනය ආරම්භ කළා. දෙවන සමාලෝචනයේදී පුරෝකථනයන්, එකඟතාවන් ගණනාවක් තිබුණා පැවති ආණ්ඩුව එළඹ ගත්. එකක්, ආරෝපිත පොලී ආදායම මත පදනම්ව දේපළ මත බදු පැනවීම. මේ බද්ද 2025දී පැන වීමට දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

    සේවා අපනයනය මත 30%ක සංස්ථාපිත බද්දක් ඇති කිරීමට දෙවන සමාලෝචනයේදී එකඟ වී තිබුණා. ජනවාරි මාසය වන විට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර එය එකතු කළ බද්ද මත ආදේශ කිරීම යෝජනා කර තිබුණා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හරහා තමයි අපේ රටේ දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා බදු පැනවීම, බදු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදු කරන්නේ. නමුත් දෙවන සමාලෝචනයේදී එකඟතාවයකට පැමිණ තිබුණා එම බද්ද අහෝසි
    කර ඒ වෙනුවට වැට් බද්ද පනවන්න. ඒ වගේම පුද්ගලික ආදායම් මත බදු රහිත සීමාවන් ඒ විදිහටම පවත්වා ගෙන යන්න තමයි එකඟතාව තිබුණේ.

    2025 වසරේ අප්‍රේල් මාසය වන විට සරල කරන ලද එකතු කිරීමේ අගය මත බද්ද, සෙස් වැට් එක ඉවත් කිරීමටත් දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබුණා. අපේ රටේ ව්‍යාපාරිකයන්ට වැට් නැවත අය කර ගැනීම (Refund) සඳහා දුෂ්කර කාලයක් ගත වෙනවා. ඒ නිසා මේ සෙස් වැට් එක හරහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වන කෑෂ් ෆ්ලෝ (Cash flow) එක පවත්වා ගෙන යාමේ හැකියාව තිබුණා. නමුත් ඒ ඉවත් කිරීමට යෝජනා සකස් කර තිබුණා.

    උපයන විට ගෙවන බදු පැනවීමේ සීමාව ඉහළට

    අපි තුන්වන සමාලෝචනය පටන් ගැනීමේදී අපේ රටේ වෘත්තීයවේදීන් මත පනවා තිබුණු උපයන විට ගෙවන බදු ප්‍රමාණය (PAYE Tax) යම් ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණය කළා. මේ උපයන විට බදු සම්බන්ධයෙන් වෘත්තියවේදීන් අතර විශාල කනස්සල්ලක් තිබුණා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් තුළ මේ පිළිබඳව කනස්සල්ලක් තිබුණා.

    එම නිසා අපි ඒ පිළිබඳව සාකච්ඡා කර උපයන විට බදු පැන වීමේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහමාරක් දක්වා වැඩි කර ගැනීමට සමත් වුණා. 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ හයේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කිරීමට අප කටයුතු කළා. ඒ අනුව ලක්ෂ එක හමාරක මාසෙක වැටුපක් ගන්න කෙනෙකු සීයට සීයක් බදු නිදහස්. ලක්ෂ දෙකක් වැටුපක් ගන්න කෙනෙක්ගෙ බද්ද 71%කින් නිදහස්. ලක්‍ෂ දෙකමාරක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්. ලක්ෂ තුනක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%න් නිදහස්. ලක්ෂ තුනහමාරක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්. ඒ කියන්නේ මොකක්ද?

    වැඩි ආදායම් ලබා ගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායම් ලබා ගන්න අයට වැඩි සහනයකුත් ලබා දීමට මේ සමාලෝචනයේදී අප සමත්ව තිබෙනවා .

    යෝගට් සහ කිරි නිෂ්පාදන එකතු කළ අගය මත බද්දෙන් නිදහස්

    අපේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සම්බන්ධයෙන් අප සාකච්ඡා කළා. පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහා යෝගට් සහ කිරි නිෂ්පාදන සඳහා එකතු කළ අගය මත බද්ද නිදහස් කරන්න තීරණය කළා. පසුගිය රජය පනවා තිබුණු සේවා අපනයනය සඳහා 30%ක බද්ද 15%ක් දක්වා අඩු කිරීමට එකඟ වුණා.

    රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10%ක් දක්වා වැඩි කිරීමට එකඟතාවකට ආවා. සාමාන්‍ය වැඩිහිටි අය, විශ්‍රාමිකයින්, යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කර පොලියෙන් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ එකහමාරක් මාසයක පොලිය වැටුණොත් ඒ අය බද්දට හසු වෙන්නේ. ඕනෑම පුරවැසියෙකුට මේ බද්දට තමන් ඇතුළත් නොවේ යැ’යි කියා උපකල්පනය කරනවා නම් ඔවුන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් තමන්ගේ බදු තත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තමන් ඒ බද්දට ඇතුළත් වීම වළක්වා ගන්න පුළුවන්. ඒ සදහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් ස්ථාපිත කරනවා. තමන්ගේ බදු තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට. මෙහි අපේක්ෂාව තිබෙන්නේ විශ්‍රාමිකයන් සහ, මුදල් රඳවා ගැනීමෙන්
    ආදායම් ලබන පුද්ගලයින්ට සහන ලබා දීමටයි. මේ නිසා කිසිවෙකුට අගතියක් ඇති වන්න ඉඩ දෙන්නෙ නැහැ. නමුත් අපි අපේක්ෂා කරන්නෙ බදු දැල සඳහා බදු යාන්ත්‍රණය පුළුල් කිරීමටයි.

    වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කිරීමට අවධානය

    අපේ රටේ වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කරන්න සැලසුම් කර තිබෙනවා. එයත් එක්ක ගොඩනැගුණු කර්මාන්තයක්ද ව්‍යවසායකයන්ද සිටිනවා. එනිසා මෙම වෙළඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නැහැ. එම නිසා කාණ්ඩ තුනකින් වාහන ආනයන වෙළඳපොළ විවෘත කරනවා. මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන මෝටර් රථ වාහන පසුගිය 14 වන දා ආනයනය කිරීමට විවෘත කළා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයනය ලබන වසරේ පෙබරවාරියේ සිට සිදු කරනවා. මේ නිසා ඩොලර් අර්බුදයකට මුහුණ දෙයි කියා කවුරුත් සැකයක් තියා ගන්න එපා. මහ බැංකුව සමග අප දීර්ඝ සාකච්ඡාවක් කර මේ වාහන ආයනයනය සඳහා පිටමන්ව යන ඩොලර් ප්‍රමාණය පිළිබඳ යම් ඇස්තමේන්තුවක් කර තිබෙනවා. එය කොතරම් ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවද කියා අපි සොයා බලා තිබෙනවා. නමුත් අපේ ආර්ථිකය යළිත් උද්දීපනය කරන්න නම් මේ වාහන වෙළෙඳපොළ විවෘත කළ යුතුයි.

    පරාටේ නීති සහනය දීර්ඝ කෙරේ

    පරාටේ නීතිය දෙසැම්බර් මාසෙ පහළොස් වන දා අවසන් වීමටට තිබෙනවා. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවමත් ප්‍රකෘති තත්වයට පැමිණ නැති නිසා එය අප තවදුරටත් දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ අධ්‍යයනයේදී එළිදරව් වුණේ ණය ගැතියන්ගෙන් 99%ක්ම රුපියල් මිලියන 25කට වඩා අඩු ණය පැහැර හරින්නන් බව. එනිසා අප සැලැස්මක් සකස් කළා. පරාටේ නීතිය මුළුමනින්ම අත්හිටුවා තිබීම බැංකු පද්ධතියේ අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ජනතාවගේ මුදල් බැංකු පද්ධතියේ තිබෙන නිසා බැංකු පද්ධතිය ආරක්ෂාව අප සහතික කළ යුතුයි. විශාල මූල්‍ය ආයතන පද්ධති කඩා වැටීමෙන් ජනතාව පීඩාවට පත් වුණා.

    තැන්පත්කරුවන් සියදිවි නසා ගත්තා. ඒ නිසා මූල්‍ය ආයතන කඩා වැටීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දුන්නේ ජනතාවයි. එම නිසා අප තීන්දු තීරණ ගැනීමේදී බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම යන කාරණා දෙකම සැලකිල්ලට ගෙන කටයුතු කර තිබෙනවා. ඒ නිසා පරාටේ නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරනවා. බැංකු සහන ණය හිමියන් සමඟ සාකච්ඡාවේදී තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දෙසැම්බර් 31 වෙනි දා දක්වා කාලසීමාවක් ලබා දී තිබෙනවා.

    හිඟ පොලිය සහ ණය මුදල රුපියල් මිලියන 25ත් 50ත් තිබෙන අයටත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකුව සමඟ සාකච්ඡා කළ හැකියි. හිඟ පොලිය හැර ණය මුදල රුපියල් මිලියන පනහකට වැඩි අයට 2025 ජුනි මාසය දක්වා කාල සීමාව දිගු කිරීමටත් ඊට ප්‍රථම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණීමටත් ඔවුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

    එළඹෙන අයවැය ලේඛනයේදී මේ අයට යම් සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අයවැය ‍ලේඛනය යෝජනා ලබන අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සමහර ඒවාට නීති සම්පාදනය කිරීම අවශ්‍යයි. විශ්‍රාමිකයන්ට එතෙක් ලබා දුන් දීමනාව
    අප ඔක්තෝම්බර් මාසයේ සිට රු 3000කින් වැඩි කළා. පොහොර සහනාධාරය 25,000ක් දක්වා වැඩි කළා. එම පොහොර සහනාධාරය කිසිදු ප්‍රමාදයකින් යුතුව ගොවි ජනතාවට ලබා දීමට මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

    අගහිඟකම් ඇති පාසල් දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක්

    මුදල් නොමැතිකම නිසා පාසල් නොයන දරුවන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙවර අයවැය මගින් මුදල් වෙන් කර තිබෙනවා. එම දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

    අස්වැසුමට එක් නොවුණු ප්‍රතිලාභ ලැබිය යුතු දරුවනුත් මේ සඳහා එකතු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

    අස්වැසුම කාණ්ඩ හතරකට ලබා දීමට සැලසුම් කර තිබුණා. ඉන් ලක්ෂ අටක් මේ දෙසැම්බර් මාසෙ තිස් එක් වන දා අස්වැසුම ව්‍යාපෘතියෙන් එළියට වැටෙන්න නියමිතව තිබෙනවා. අපි එම කාණ්ඩ දෙකෙන් යටම කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ලැබීම මාර්තු මාසය දක්වා දීර්ඝ කළා. අනිත් කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ලැබීම ලබන වසර දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කළා. අස්වැසුම ලැබෙන අයත් අස්වැසුම නොලැබෙන අයත් අතර මතයක් ගම්වල තිබෙනවා. එනිසා අස්වැසුම නැවත සමාලෝචනය කළා. පද්ධතිය හරහා ලබා ගන්නා තොරතුරු නැවත පරීක්ෂාවට ලක් කර අස්වැසුම දැනට නොලැබෙන එහෙත් ලැබිය යුතු කොටස් පිළිබඳ සොයා බලා අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා.

    අපේ රටේ අස්වැසුම ලබා දීමට තීරණය කළේ බැංකු හරහායි. සාමාන්‍යයෙන් අපේ රටේ බැංකුවක ගිණුමක් ආරම්භ කරන්න හැදුනුම්පතක් අවශ්‍ය වෙනවා. හැඳුනුම්පතක් ලබා ගන්න නම් උප්පැන්න සහතිකය අවශ්‍යයි. උප්පැන්න සහතිකය නොමැති, අස්වැසුම ලැබිය යුතු වුවත් බැංකු ගිණුමක් ආරම්භ කිරීමට හැකියාව නොලැබීම හේතු කර ගෙන වසර එකහමාරක් තිස්සේ අස්වැසුම නොලැබුණු පවුල් 67,000ක් සිටිනවා. මේවා පාලකයන් ඉතා සමීපව සොයා බලා විසඳන්න ඕන ප්‍රශ්න නොවෙයිද? එම අයට හැඳුනුම්පතක් නොමැතිව බැංකු ගිණුමක් විවෘත කිරීමට කාලය ලබා දීමට අප තීරණය කර තිබෙනවා. හැඳුනුම්පත ලබා ගන්නා දවසේ සිට නොව, ඔවුන්ට අස්වැසුම ප්‍රතිලාභය හිමි දවසේ සිටම හිඟ මුදල සමඟ අදාළ දීමනාව ලබා දීමට අප කටයුතු කරනවා. අපේ අයවැය විවාදය නිම වෙන්න තිබෙන්නේ මාර්තු මාසේ 21 වන දිනයේයි. අස්වැසුම පනතේ සංශෝධන ගණනාවක් තිබෙනවා. ඒ සඳහා ඔබගේ සහයෝගයද බලාපොරොත්තු වෙනවා.

  • පොල් හිඟයට 90%කට වගකිව යුත්තේ කවුද ? සුපිරි හෙළිදරව්ව

    පොල් හිඟයට 90%කට වගකිව යුත්තේ කවුද ? සුපිරි හෙළිදරව්ව

    මේ වසරේ මුල් මාස තුන තුළ අත්විඳින ලද අධික උෂ්ණත්වය ශ්‍රී ලංකාවේ දැනට පවතින පොල් හිඟය උග්‍ර කිරීමට හේතු වී ඇති අතර, රිලා ගහනය වැඩි වීමත් සමඟ මෙ තත්ත්වය තව දුරටත් උග්‍ර වූ බව රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය කේ.කේ.අයි.යූ අරුණකුමාර මහතා පැවසීය. 

    මහාචාර්ය අරුණකුමාර හෙළි කළේ ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වගා කරන පොල් පැල සංඛ්‍යාව මිලියන හතක් දක්වා පමණක් පහත වැටී ඇති බවයි.

    ගෝලීය වශයෙන්, රටවල් 92ක් පොල් වගා  කරන අතර, ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ සිටී. කෙසේ වෙතත්, ඉන්දියාව සහ පිලිපීනය වැනි රටවල් සැලකිය යුතු ලෙස විශාල ප්‍රමාණයක් පොල් නිෂ්පාදනය කරයි.

    “ඉන්දියානු කෘෂිකර්ම පර්යේෂණ කවුන්සිලයේ නවතම වාර්තාවකින් පෙන්නුම් කළේ මාර්තු සිට ජුනි දක්වා පවතින ඉහළ උෂ්ණත්වය පොල් අස්වැන්න කෙරෙහි අහිතකර ලෙස බලපෑ බවයි. ශ්‍රී ලංකාවේ පොල් ගස් සඳහා සුදුසුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-28 පමණ වෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ඉක්මවන විට පොල් පරාගණය අඩු වන අතර එමඟින් අස්වැන්න අඩු වෙනවා”

    මහාචාර්ය අරුණකුමාර සඳහන් කළේ අධික උෂ්ණත්වය හේතුවෙන් දෙරටේම පොල් අස්වැන්න අඩුවීම හේතුවෙන් ඉන්දියාවට සමාන අභියෝගවලට ශ්‍රී ලංකාව ද මුහුණ දෙන බවයි.

    “රිලවුන් සහ දඬු ලේනුන්ගේ ගහනය හදිසියේ වැඩි වී ඇත්ද යන්නත් අපි සොයා බැලිය යුතුයි. කාලයත් සමඟ ඔවුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව සාක්ෂිවලින් පෙනී යනවා.  රටේ පොල් අස්වැන්නෙන් 10%ක් පමණ රිලවුන්, දඬුලේනුන් සහ වෙනත් පළිබෝධකයන් විසින් විනාශ කරනවා. රිලවුන් ඔවුන්ගේ ජනගහනය පාලනය කිරීමට ස්වභාවික විලෝපිකයන් නොමැතිකම නිසා වැඩිම හානියක් රිලවුන් සිදු කරනවා” ඔහු තවදුරටත් පැවසීය.

    සත්ත්ව ගහනය තුලනය කිරීමේ වැදගත්කම මහාචාර්යවරයා අවධාරණය කළේය.

    “මිනිසුන් ස්වභාවධර්මයට බාධා කරන විට, සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා අනෙකුත් සත්ත්ව ගහනය පාලනය කළ යුතුයි. මේ ක්‍රමය වෙනත් රටවලත් අනුගමනය කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

    2020 සහ 2021 වසරවල වගා කර ඇත්තේ 2012 වසරේ සිටුවන ලද පොල් ගස් සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. පසුගිය වසර 25 තුළ පොල් වගාවට කැප වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 1.1ක් වූ අතර එහි වර්ධනයක් සිදු වී නොමැත. පොල් වගා කරන භූමි ප්‍රමාණය අඩුවීමට විවිධ සාධක බලපා ඇති අතර එය වත්මන් පොල් හිඟයට හේතු වී ඇත.

    “වර්තමාන පොල් හිඟය හදිසියේ ඇති වූ ප්‍රශ්නයක් නොව පසුගිය වසර 25 ක වර්ධනයේ ප්‍රතිඵලයක්. ඉදිරියේදී වර්ෂාපතනය වැඩි වීමත් සමඟ හිඟය යම් ප්‍රමාණයකට අඩු විය හැකියි. කෙසේ වෙතත් ප්‍රමාණවත් පොහොර ලබාදී අස්වැන්න වැඩිකර ගැනීමට රජයේ මැදිහත්වීම අවශ්‍යයි” ඔහු සඳහන් කළේය.

    අනාගත හිඟතා විසඳීම සඳහා, මහාචාර්යවරයා පියවර කිහිපයක් ගෙනහැර දැක්වීය:

    1. රිලවුන් සහ දඬු ලේනුන් ඇතුළු පළිබෝධ ගහනය පාලනය කිරීම.
    2. වඩා හොඳ වගා පිළිවෙත් තුළින් පොල් අස්වැන්න වැඩි කිරීම.
    3. අනාගත ඉල්ලුමට සරිලන පරිදි නව පොල් ගස් සිටුවීම ඉහළ නැංවීම.

    “මෙම ගැටලුව විසඳීම සඳහා සතත්ව ගහනය කළමනාකරණය කිරීම සඳහා කෙටි කාලීන ක්‍රියාමාර්ග සහ පොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා දිගුකාලීන උත්සාහයන් අත්‍යවශ්‍යයි” යනුවෙන් මහාචාර්ය අරුණකුමාර වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

  • ආණ්ඩුවට ‘සදාචාරාත්මක උස්බව moral high ground අහිමි කළ ව්‍යාජ උපාධි සහතික

    ආණ්ඩුවට ‘සදාචාරාත්මක උස්බව moral high ground අහිමි කළ ව්‍යාජ උපාධි සහතික

    කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර, ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා ඇතැයි අනුමාන කරන තවත් පිරිසක් මේ ලැයිස්තුවේ සිටී.

    ලංකාවේ පුරවැසියෙකුට මහජන නියෝජිතයෙකු, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට උපාධියක් තබා කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වන්නේ නැත. පාකිස්ථානය වැනි සීමිත රටවල් කිහිපයක් හැර, ලෝකයේ බොහෝ රටවල තත්වය එයයි.

    නමුත්, මනාප ඡන්ද ක්‍රමයේ දී මනාප ලබා ගැනීමට අපේකෂකයින් තම අධ්‍යාපන සුදුසුකම අලෙවි කරන්නට පටන් ගත්තේය. එහි තීරණාත්මක කඩඉමක් ලෙස 2020 මහා මැතිවරණයේ දී ‘වියත්මග කණ්ඩායම’ තම අධ්‍යාපන සුදුසුකම ඉස්සහින් තබාගෙන දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. අධ්‍යාපනය අත්තටු බවට පත් වූ වේ ද, ඡන්ද ආකර්ෂණ මැෂිමක් බවට පත් වූවේ ද, ඒ අනුවය.

    ජාතික ජනබලවේගය 2022 අරගලයෙන් පසුව තමන් වෙත ජනතාව අද්දවා ගැනීමට උගත් – බුද්ධිමත් ලේබලය තීරණාත්මක ලෙස යොදාගැනීමට තීරණය කළේ මේ සමයේ දී ය.  අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව ජවිපෙට සැලකිය යුතු උපාධිධාරීන් පිරිසක් සිටී. මේ උපාධිධාරීන්ටත් වඩා ‘සුපිරි බඩු ටිකක්’ අපිට සිටින බව පෙන්වීමට ජවිපෙට අවශ්‍ය විය. ආචාර්ය – මහාචාර්ය පට්ටම් සහිත පිරිසකට ද, වෛද්‍ය, ඉංජිනේරු පිරිසකට ද ජජාබ මැතිවරණ වේදිකාවේ දොරටු ඇරෙන්නේ ඒ් අනුවය. ජවිපෙට පිටතින් පැමිණි හරිනි ඇතුළු කණ්ඩායම තම අධ්‍යාපන සුදුසුකම් මත බැබලෙන විට ජවිපෙ ද සිට පැරණි කාඩර්වරුන්ට විවිධ අධ්‍යාපන සුදුසුකම් නමට ඉදිරියෙන් පිටුපසින් එල්ලනු ලැබීය.

    සපුගස්කන්දේ අශෝක රන්වල බියගම ජවිපෙ සංවිධායකවරයෙකි. වෘත්තීය සමිති නායකයෙකි. සයිටම් විරෝධී සටනේ දී හිටපු ගමන් සපුගස්කන්දේ අශෝක – මහාචාර්ය අශෝක බවට පත් විය. ඒ සීමිත සමාජිකයින් අතුරින් සයිටම් විරෝධී සටනේ නායකයෙකු කළ හැකි අත් දිග කමිසය අදින නිසාය. දිගින් දිගටම මේ මහාචාර්ය පට්ටම පවත්වා ගැනීමට අශෝකට කෙසේ වෙතත් පක්ෂයේ පැවැත්මට වැදගත් විය.  මහා මැතිවරණයේ හැම පෝස්ටරයකටම, දැන්වීමකට ආචාර්ය අශෝක වූයේ ඒ නිසාය. අඩුම ගානේ රූපවාහිනියෙන්වත් මුහුණ දැන නොතිබුනත්,  ගම්පහ ජනතාව ටෙලි නාට්‍ය නිලි පබා තරමටම ආචාර්ය අශෝකට මනාප විය.  ඒ ගෝඨාභය ගේ කාබනික යුගයේ ඇඹිලිපිටියේ කාබනික පොහොර හැදු ආචාර්ය අශෝක, රසායන විද්‍යා කේෂ්ත්‍රයේ මහ මොළයක් යැයි සිතූ නිසාය.  අවසානයේ ජීවිත කාලයම දේශපාලනය කළ පක්ෂය දැවැන්ත අර්බුදයකට යවමින් ඔහුට රටේ ධූරාවලියේ ඉහළම තනතුරට සමුදෙන්නට සිදුවිය.

    කැලණිය ගණිත අධ්‍යයන අංශයේ අනුර කරුණාතිලක ට දර්ශන විශාරද උපාධියක් නැති බව විශ්විද්‍යාලය වෙබ් අඩවියම පමණක්ම සාක්ෂි දරයි.  විශ්වවිද්‍යාල ප්‍රජාවේ බහුතරය මේ කතාව හොදින් දනී.  ජවිපෙ වෙනුවෙන් මානව හිමිකම් විද්වත් සංසදය නමින් මැතිවරණ නිරීක්ෂණ ජාලයක් සකස් කළේය. 2014 තරම් ඈත ක දී ද එහි ලේකම් හා ආචාර්ය අනුර කරුණාතිලක ය.  ඒ වන විට ඔහු ආචාර්ය උපාධියට ලියාපදිංචි වී සිටියේ වත් නැත. ‘විද්වත්’ කෑල්ල අලෙවි කළ හැක්කේ ‘ආචාර්ය පට්ටමක්’ සමඟය. එදා ත්, අදත් එය වෙනස් නොවීය. 2014 සිට අනුර කරුණාතිලක සෑම මාධ්‍ය අවකාශයකම, ලිපියක, ප්‍රවෘත්තියක පෙනී සිටියේ ‘ආචාර්ය අනුර‘ ලෙසය.  නාගරික සංවර්ධන අමාත්‍ය ධූරයට පත් වන විට ඔහු ‘මහාචාර්ය අනුර‘ වීය. දැන් එය ගැලවී නිකම්ම ‘අනුර‘ වී ඇත.

    විද්‍යාවේදී උපාධිය සඳහා ලියාපදිංචි වී සිටි නමුත්, උපාධිය අවසන් නොකල බව කියන බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉංජිනේරුවෙකු ලෙස ලේබල් කරන්නේ ද, මේ ‘විද්වත්’ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ම ය.

    තවත් දේශපාලනඥයෙකුට 2002 වර්ෂයේ යුරෝපයේ හා ආසියාවේ ඉහළම පිළිගැනීම් සහිත විශ්වවිද්‍යාල දෙකකින් පශ්චාත් උපාධි ඇතැයි කියනු ලැබේ.

    විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි ගේ විශේෂඥතාව මැදකොළඹ, බොරැල්ල, උතුරු කොළඹ මුස්ලිම් ප්‍රජාවගේ දරුවන් සුන්නත් කිරීම බව මරදානේ කලීල්ස් නර්සින් හෝම් දන්නා අයට රහසක් නොවේ. නමුත්, එය කොළඹ දිස්ත්‍රික්කයම ඔහුට ඡන්දය දුන්නේ ‘විශේෂඥ වෛද්‍ය‘ පට්ටමක් ඇතැයි සිතාය.

    මේ සියල්ලටම වඩා බරපතල විය හැක්කේ, ජාත්‍යන්තර සංවිධාන වෙත නිරවද්‍ය නොවන අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර ඇත්තම් එයයි.   2017 දී වොෂින්ටන් හි ලෝක බැංකු කාර්යාලයේ  Global Forum on Asset Recovery (GfAR ) වැඩසටහනකට සහභාගිවීමට මට අවස්ථාව ලැබුණි. එවකට නීතිපති, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරයා, සිවිල් සංවිධානය නියෝජිතයින් පිරිසක් ද මා සමඟ එයට එක් විය.  ලෝක බැංකුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි සංවිධාන තමන්ගේම විමර්ශන ඒකක පවත්වාගෙන යමින් ලොව පුරා රාජ්‍යයන් හි දේශපාලනඥයින් හා නිලධාරීන් ගේ ජීව දත්ත විමර්ශනය කරන ආකාරය පැහැදිලි කරනු ලැබූවේ ඒ සඳහා යොදාගත හැකි පරිගණක පද්ධති හා උපක්‍රම ද සහිතවය. මේ දත්ත ජාත්‍යන්ත වශයෙන් හුවමාරු කර ගැනීමේ හැකියාව පවතින්නේය.  එබැවින් මෙය ජාතික ප්‍රශ්නයක් නොව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් ලෙස ද බලපෑම් කළ හැකිය.  ආර්ථිකය ගැන දේශන පවත්වන 2010 – 2015 කුප්‍රකට ‘ පම්පිම් – ඩම්පින්‘ මෙහෙයුමේ බර අවියක් වූ අයෙකුගේ ‘ආචාර්ය උපාධිය‘ කුමන විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇතිදැයි අංජනම් එළි බැලිය යුතුව ඇත.

    ජවිපෙ ට සම්බන්ධ බහුතරයක් දෙනා රෝහණ විජේවීර මෙන්ම උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඩාල කර ගනිමින් පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කටයුතු කළ අය වෙති.  ඔවුහු කිසි විටෙකත් උපාධිය මහ දෙයක් ලෙස සැලකුවේ නැත. අවශ්‍ය දෙයක් ලෙස සැලකුවේ ද නැත.  ජවිපෙ හෝ වෙනත් පක්ෂයක නායකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බොහෝ දෙනා වද වෙන්නේ ද නැත. අධ්‍යාපනය වෙනුවට දේශපාලනය තෝරාගෙන උපාධි අහිමි කර ගත් බිමල් රත්නායක වැනි මිනිසුන් පිළිබඳ සමාජ ගෞරවයක් ඇත. සීමාවාසික පුහුණුව නිමා නොකර දේශපාලනය තෝරාගත් අයට ඒ අතර ඇත. එවැනි තෝරාගැනීම් නිසාම මරණයට පත් වූ, ජීවිතයට මහ මගට වැටුණු පිරිසක් ද වෙති.  මේ ඔවුන්ගේ අති මහත් කැපවීමේ ප්‍රතිඑලයක් ලෙස  ගොඩනැගු ආණ්ඩුවයි.

    අධ්‍යාපන සුදුසුකම් මැතිවරණ කරලියේ කොඩි දාන තැනට පැමිණියේ 2020 න් පසුව ය. ඒ ‘වියත්බව’ මැතිවරණ ප්‍රචාරක කාර්යයෙහි අලෙවි කිරීම උදෙසාමය. ජවිපෙ ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ අධ්‍යාපන සුදුසුකම් නිර්ධය විවේචනයට ලක් කළේය.  චාමර සම්පත්  නූගතෙකු යන්න බදුල්ලේ නොකියූ රැස්වීමක් නැත. චාමර තමාට නැති අධ්‍යාපනයක් ගැන කිසිදා කීවේ නැත. නාමල් – චිචී ගේ අධ්‍යාපන සහතික  ගැන වැඩියෙන්ම කතා කළේ ජවිපෙ යි.

    අද මිනිසුන් ප්‍රශ්න කරන්නේ ජජාබ මන්ත්‍රීවරුන්ගේ උපාධි සහතිකය නොවේ.  ඔවුන්ගේ අවංක භාවයයි!

    උපාධි සහතික ප්‍රශ්නය නිසා, ජනතා විමුක්ති පෙරමුණට තිබූ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) අහිමි වෙමින් ඇත.  1956, 1970, 1999 ආණ්ඩු තුනම අඩු වැඩි වශයෙන් ‘සදාචාරාත්මක උස්බව’ අහිමි වීම නිසා දැවැන්ත අර්බුදයට ලක්වූවේය. දක්ෂිණාංශික ආණ්ඩුවකට වටා වාමාංශික වටිනාකම් මත මැතිවරණ ව්‍යාපාරයක් ජයගන්නා කණ්ඩායම් වෙතින් ඔවුන් අලෙවි කළ ප්‍රතිපත්ති රාමුවට වටිනාකමක් ජනතාව බලාපොරොත්තු වේ.

    අනෙක් අතට, මාලිමාව පැත්තෙන් ගත් කළ කතානායකවරයාගේ ඉල්ලා අස්වීමෙන් පමණක් විසදෙන ප්‍රශ්නයක් නොවේ.  එය තවත් බොහෝ දෙනෙකු හා බැඳුණු, අනන්‍යතා අර්බුදයකි.  ඔවුන් තම මැතිවරණ ව්‍යාපාරයේ කේන්ද්‍රය ලෙස ‘වියත් – බුද්ධිමතුන්’ය. අනුර කරුණාතිලකගේ ආචාර්ය උපාධිය විමසන විට, වසන්ත සමරසිංහ හැප්පිලා බලන්න කතා කරන්නේ ඒ නිසාය.  සැබවින්ම, සිරිපාල අමරසිංහ හෝ අනුරුද්ධ පොල්ගම්පල ඉවත් කළ ආකාරයට බොරු උපාධි දමා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දිනාවා දුන් මන්ත්‍රීවරුන් ඉවත් කිරීම ලේසි හෝ පහසු හෝ නැත.

    2015 යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව ගේ පළමු බිඳවැටීම ‘බැඳුම්කර ගණුදෙනුව’ යි. එය කිසිදු අයුරකින් නැවත පුරුද්දාගත නොහැකි විය. ව්‍යාජ අධ්‍යාපන සහතික අර්බුදය ද, මුළුමනින්ම පිළියම් යොදන්නේ නැතිනම්,  එවන් තැනටක ගමන් කර අවසන්ය. එය නැවත පිරියම් කළ නොහැකි කැළලක් දැනටමත් තබා ඇත.

    රජිත් කීර්ති තෙන්නකෝන්

     

     

  • ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) පලතුරු සහ එළවළු සඳහා නව්‍ය ඇසුරුම් විසඳුම්

    ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) පලතුරු සහ එළවළු සඳහා නව්‍ය ඇසුරුම් විසඳුම්

    අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) විසින් “අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්‍රිත ඇසුරුම්කරණ විසඳුම්පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී  පැවැත්විණි. අපනයනකරුවන් සහ විභව  අපනයනකරුවන් 70 දෙනෙකුගේ පමණ  සහභාගීත්වයෙන් ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ ජාතික ශාක නිරෝධායන සේවාවේ විශේෂඥයින්ගේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩමුළුව පවත්වන ලදී.

    වැඩමුළුව පැවැත්වීමේ එක් අරමුණක් වන්නේ නව්‍ය ඇසුරුම්කරණ විසඳුම් හරහා පලතුරු සහ එළවළු වල පසු අස්වනු හානි අවම කිරීම මඟින් ආර්ථිකයට ප්‍රතිලාභ ලබා දෙමින් අපනයන නිෂ්පාදනවල වටිනාකම ඉහළ නැංවීමයි.

    ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය සැලකිය යුතු මට්ටමක ඇති අතර එය එළවළුවලින් 20% – 30% සහ පලතුරුවලින් 15% – 20% අතර ප්‍රමාණයකට බලපානු ලබන අතර ප්‍රමාණවත් පරිදි ඇසුරුම් නොකිරීම මෙම පසු අස්වනු හානියට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.

    එම පුහුණු වැඩසටහනනේ දී ඇසුරුම් සංකල්ප, ඇසුරුම් ද්‍රව්‍ය, ඇසුරුම් තාක්ෂණය, ඇසුරුම්කරණ සැලසුම් සහ පලතුරු සහ එළවළු ඇසුරුම් සඳහා ග්‍රැෆික් නිර්මාණය සහ ශාක නිරෝධායන සහතිකයේ වැදගත්කම සහ එය ලබා ගැනීමේ ක්‍රියාවලිය වැනි ප්‍රධාන මාතෘකා සාකච්ඡා විය. නිසි ඇසුරුම්කරණයේ වැදගත්කම, වඩාත් ඵලදායි ඇසුරුම්  ක්‍රම තෝරා ගැනීම සහ නිෂ්පාදන පිරිවැය වැළැක්වීම සඳහා නිවැරදි ද්‍රව්‍ය තෝරා ගැනීම ආදිය වැඩමුළුව මඟින් ආවරණය විය.

    ඇසුරුම් උපදේශක ඩබ්ලිව්. අභය සේනාවිරත්න මහතා, ප්‍රධාන විධායක නිලධාරී දුලේෂ් ප්‍රනාන්දු මහතා (ඩිසයින් 83 ආයතනය) සහ ජාතික ශාක නිරෝධායන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.ඩී.කමනි ප්‍රියදර්ශනී මහත්මිය යන අය විසින් දේශන පවත්වන ලදී. තවදුරටත් මවුන්ට් පැක්ස් ආයතනය විසින් ඇසුරුම්කරණයේ ප්‍රායෝගික හැසිරවීම පිළිබඳව සහභාගීවන්නන් දැනුවත් කෙරිණි. වැඩසටහන අවසානයේදී, ලබා දෙන ඇගයීම් පත්‍රිකාවන්ට අනුව මෙම වැඩසටහන ඔස්සේ සහභාගීවන්නන්ගේ දැනුම හා ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වී ඇත.

    අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පවතින ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) ස්ථාපනය කරන ලද්දේ ඇසුරුම් කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබා දීමේ අරමුණෙනි.

    අපනයනකරුවන්, ඇසුරුම් කර්මාන්තයේ නියැලෙන්නන්, නිෂ්පාදකයින්, නිර්මාණකරුවන්, විභව ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කාන්තා ව්‍යවසායකයින්, වෙනත් මේ ආශ්‍රිත රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයන්, පර්යේෂණ සහ සංවර්ධන ආයතන, සැපයුම් සේවා සපයන්නන් යන සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා ඇසුරුම්කරණ සංවර්ධන විෂයට අදාළ ව්‍යාපෘති සඳහා ජාතික කේන්ද්‍රස්ථානය ලෙස, ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) ක්‍රියා කරයි. රාජ්‍ය ආයතන සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ සහයෝගීතාවය වර්ධනය කිරීම මගින් ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඇසුරුම් කර්මාන්තය ප්‍රගමනය කිරීමට සහ කෘෂිකාර්මික අපනයන අංශයේ තිරසාර වර්ධනයට සහාය වීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

  • කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති අනුර අවධාරණය කරයි

    කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති අනුර අවධාරණය කරයි

    ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පළුදු වීමට ඉඩ නොදෙන බවත් තම ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් ක්‍රියා මාර්ග ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදීය.

    එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය. “දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. විවිධ ආණ්ඩු පෙරළුවා. ඉතිහාසයේ පළමු වෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජන වරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් තියෙනවා. ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි කළා. ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැහැ.

    ඉතාම කෙටියෙන් කිවහොත්, රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවානම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතු නිවැරදිම මොහොතේ ගැනීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ.”

    දශක 07ක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය සුරක්ෂිත කිරීමට සහ මේ රට වඩා යහපත් රටක් කිරීමට තම රජය කොන්දේසි විරහිතව කැප වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ඇතුළු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

  • වඳුරු සහ රිලා වසංගතයට පාර කැපුවේ කවුද ? ‘සුපිරි හෙළිදරව්ව’ මෙන්න

    වඳුරු සහ රිලා වසංගතයට පාර කැපුවේ කවුද ? ‘සුපිරි හෙළිදරව්ව’ මෙන්න

    මෙරට ඇස්තමේන්තුගත වඳුරන් ලක්ෂ 3න් 50,000ක් පමණ ගම්වල සහ නාගරික ප්‍රදේශවල වාසය කරමින් ගැටලු ඇති කරන වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි.

    300,000 වඳුරන් අතරින් 250,000 ක් වනාන්තරවල දක්නට ලැබෙන අතර, විලෝපනය සහ සීමිත ආහාර ලබා ගැනීම හේතුවෙන් වනාන්තරවල ජීවත් වන්නේ වඳුරන්ගෙන් සියයට 15ක් පමණක් බව ද වෛද්‍ය නානායක්කාර වැඩි දුරටත් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත්, ගම්වල සහ නාගරික ප්‍රදේශවල ජීවත් වන වඳුරන් විලෝපිකයන්ට මුහුණ නොදෙන හෙයින් සහ ආහාර බහුල ලෙස ලබා ගත හැකි හෙයින් ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව ද ඔහු හෙළි කළේ ය. මේ නිසා නගරවල සහ ගම්වල වඳුරන්ගේ පැවැත්ම සියයට 30 දක්වා ඉහළ ගොස් ඇති බවත්, විලෝපිකයන් සිටින නිසා වනාන්තර තුළ වඳුරන්ගේ ගහනය ස්වභාවිකව පාලනය වන බවත් ඔහු පැවසීය.

    මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතැම් සත්ව ගහන වැඩි වී ඇති බැවින් මෙම ගහනය විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට කැපවූ ආයතනයක් ස්ථාපිත කළ යුතු බව ද වෛද්‍ය චමිත් නානායක්කාර අවධාරණය කළේ ය.

    වෙනත් රටවලට සතුන් අපනයනය කිරීමෙන් හෝ මරා දැමීමට ඉඩ දීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව ඔහු පැවසීය. බොහෝ රාජ්‍ය ආයතන විවිධ විසඳුම් යෝජනා කර ඇතත් මෙම ක්‍රියාමාර්ග විද්‍යාත්මක ප්‍රවේශයන් මත පදනම් වී නොමැති බවට ද ඔහු පෙන්වා දුන්නේ ය.

    මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදලි කරමින් වෛද්‍ය නානායක්කාර මෙසේ ද පෙන්වා දුන්නේ ය, “මිනිසුන් සත්ව වාසස්ථාන ආක්‍රමණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එම වාසස්ථානවල ජීවත් වූ සතුන් එක්කෝ ජනාකීර්ණ ප්‍රදේශවලට සංක්‍රමණය වී තිබෙනවා. එසේම ඇතැම් විශේෂ සිය ගහනයේ වැඩිවීමක් මෙන් ම අඩුවීමක් වැනි ඔවුන්ගේ ගහනයේ වෙනස්කම් අත්විඳ තිබෙනවා. සත්ත්ව ගහනය තුළ සමතුලිතතාවයක් තිබිය යුතුයි. ආහාර දාමයේ කිසියම් ස්ථානයක් හිස් වුවහොත් හෝ නැති වුවහොත්, එය අසමතුලිතතාවයකට තුඩු දිය හැකි අතර එය අනෙකුත් විශේෂවල අධික ජනගහනයට හේතු විය හැකියි”

     

    මෙම ගැටලුවලට මානුෂිකව විසඳුම් සෙවීම සඳහා විද්‍යාත්මක ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව ආචාර්ය නානායක්කාර මහතා අවධාරණය කළේය. “වෙනත් රටවල් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අධ්‍යයනය කරමින් සහ නවීන තාක්‍ෂණය භාවිතා කරමින් සත්ව ගහනය පාලනය කිරීම සඳහා මානුෂීය ක්‍රමවේද අනුගමනය කළ යුතුයි” ඔහු පැවසීය.

    උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේ ඉන්දියාවයි. “ඉන්දියාවේ රිලවුන්ගේ විශාල ගහනයක් සිටිනවා. කෙසේ වෙතත්, ඉන්දියානු රජය ඔවුන්ගේ සංඛ්‍යාව පාලනය කිරීමට ඔවුන්ව මරා දැමීමට පියවර ගන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් විවිධ මාරාන්තික නොවන ක්‍රම භාවිතා කරනවා. උදාහරණයක් ලෙස, ඔවුන් බෝග හානි වැළැක්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග භාවිතා කරනවා. වඳුරන් බිය ගැන්වීම සඳහා බෙර සහ අධි-සංඛ්‍යාත ශබ්ද භාවිතා කරනවා. අපි එවැනි උදාහරණ වලින් ඉගෙන ගෙන වෙනත් රටවලින් උපදෙස් ලබා ගත යුතුයි. සතුන් මැරීම අවසාන විසඳුම විය යුත්තේ සියලු විද්‍යාත්මක හා මානුෂීය ක්‍රියාමාර්ග අවසන් වූ පසුව පමණයි. එසේ වුව ද, ආහාර දාමයට බාධා නොකිරීමට එය විද්‍යාත්මකව කළ යුතුයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය, විශේෂයෙන්ම එහි වන සතුන්, විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරන බව ද ආචාර්ය නානායක්කාර සඳහන් කළේය. “අපේ රටේ මෙම අංගය විනාශ කළහොත් එය විදේශ ආදායමට සෘජුවම බලපානවා,” ඔහු අනතුරු ඇඟවීය.

    මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ රිලා ගහනය පාලනය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස ව්‍යන්ධිකරණ වැඩසටහනක් දියත් කර ඇත.

    ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4.5ක් වෙන් කර ඇත. උගුල් භාවිතයෙන් අල්ලා ගන්නා ලද රිලවුන් ආරක්ෂිතව ගිරිතලේ සත්ව සංරක්ෂණ ඒකකය වෙත ප්‍රවාහනය කරන අතර එහිදී ඔවුන් වඳ භාවයට පත් කෙරේ. පසුව, රිලවුන් ඔවුන්ගේ මුල් ස්ථානයට මුදා හරිනු ඇත.

  • ඔප්පු කරන්න සහතික නෑ – කතානායක ඉල්ලා අස්වෙයි

    ඔප්පු කරන්න සහතික නෑ – කතානායක ඉල්ලා අස්වෙයි

    කතානායක අශෝක රන්වල මහතා සිය ආචාර්ය උපාධි සුදුසුකම් සම්බන්ධයෙන් මතුව ඇති මතභේද මධ්‍යයේ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැහැදිලි කළේ ජපානයේ Waseda විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයක් විසින් පිරිනමනු ලබන ආචාර්ය උපාධිය පිළිබඳ ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කිරීමට තමාට දැනට නොහැකි බවයි.

    කෙසේ වෙතත් පර්යේෂණ ආයතනය එම සහතිකය තමා වෙත එවූ පසු එම ලේඛන සාක්ෂි නිකුත් කරන බවද ඔහු අවධාරණය කළේය.

    රජය අපහසුතාවයට පත් කිරීමට හෝ රජය කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

  • ඉන්ධන හිඟය ගැන තෙල් සංස්ථා සභාපති දුන් ‘සුපිරි’ සහතිකය

    ඉන්ධන හිඟය ගැන තෙල් සංස්ථා සභාපති දුන් ‘සුපිරි’ සහතිකය

    කිසිඳු පිරවුම් හලක හෝ ඉන්ධන හිඟ වීමේ කිසිඳු හේතුවක් නැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අවධාරණයෙන් පැවසුවේය.

    අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී, මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් තෙල් සංස්ථාවේ සභාපතිවරයා මේ බව අවධාරණය කළේ ය.

    ඒ අනුව, මෙරට ප්‍රමාණවත් තෙල් තොග තිබෙන බවත්, රටේ අඛණ්ඩ තෙල් සැපයීම වෙනුවෙන් රජයේ ආයතනයක් වශයෙන් එම වගකීම ලංකා ඛනිජතෙල් සංස්ථාව භාර ගන්නා බවත්, ජනක රාජකරුණා මහතා පැවසුවේ ය.

    රටට කිසිඳු ගැටලුවකින් තොරව බලශක්ති අවශ්‍යතාවය පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවත්, දැනට තෙල් තොග සංචිත අවසන් වූ වහාම United Petroleum සතු ශෙඩ් 64ක ප්‍රමාණය සඳහා තෙල් සංස්ථාවෙන් තෙල් නිකුත් කිරීමට අමාත්‍යංශයේ ලේකම්වරයා, united Petroleum සහ තෙල් සංස්ථාව එක්ව මේ පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයකට පැමිණි බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

  • වගා හානි වූ ගොවීන්ට ලැබෙන ‘සුපිරි වන්දිය’ මෙන්න

    වගා හානි වූ ගොවීන්ට ලැබෙන ‘සුපිරි වන්දිය’ මෙන්න

    පසුගිය දා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

    වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවි ජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහය ලබා ගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

    වගාබිම් සකස් කිරිමේදී පවතින චක්‍රලේඛ පිළිබඳව නොසිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • රිලා ගහණය පාලනය ගත් ‘සුපිරි’ විසඳුම

    රිලා ගහණය පාලනය ගත් ‘සුපිරි’ විසඳුම

    කෘෂි වගාවන්ට බරපතළ ලෙස හානි කරන රිලා ගහණය පාලනය කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ධ්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ, ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ කළේය.

    මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය රුපියල් මිලියන 4.5ක මුදලක් වැය කරනු ලබන අතර, ඉදිරියේදී රට පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

    මාතලේ දිස්ත්‍රික්කය තුළ උඟුල් සහ කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් ගිරිතලේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් වන්ද්‍යකරණය සිදුකර නැවත ඔවුන් අල්ලාගත් ප්‍රදේශයටම මුදා හැරීමටයි කටයුතු යොදා තිබෙන බව ද වැඩි දුරටත් වාර්තා වේ.

  • රට පුරා තිබෙන ජනපති හා අගමැති නිල නිවාස ගැන ආණ්ඩුව ගත් අලුත් ම තීන්දුව

    රට පුරා තිබෙන ජනපති හා අගමැති නිල නිවාස ගැන ආණ්ඩුව ගත් අලුත් ම තීන්දුව

    හිටපු ජනාධිපතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා වෙන් කර තිබූ බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනයට, යෝජනා ගෙන ඒමට කමිටුවක්

    ජනපති සහ රාජ්‍ය පරිපාලන ඇමති ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    හිටපු ජනාධිපතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා වෙන් කර තිබූ බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කොළඹ 07 සහ 05 යන ප්‍රදේශවල රජයේ බංගලා නිවාස 50ක් සහ ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර ද පිහිටා ඇත. එයින් නිරන්තර භාවිතයට ගැනෙන කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිරයන් හැර අනෙකුත් ජනාධිපති මන්දිර ද, මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින රාජ්‍ය නායකයින් ගණනාවකගේ නිල නිවස ලෙස භාවිතයට ගත් කොළඹ 02හි පිහිටා ඇති විසුම්පාය, අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවතින නුවරඑළියේ අග්‍රාමාත්‍ය නිල නිවස සහ ඉහත කී රජයේ බංගලා නිවාස මෙසේ ආර්ථිකමය වශයෙන් ඵලදායී ලෙස උපයෝජනය කිරීමට නියමිතය.

    එකී රජයේ දේපළ නඩත්තුවට විශාල මුදල් වැය කර ඇති නමුත් මේ වන විට ඌන උපයෝජන තත්ත්වයක පවතී.

  • ආහාර සුරක්ෂිතතාවයට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

    ආහාර සුරක්ෂිතතාවයට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

    ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, සෑම පුරවැසියකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීමේ අරමුණෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව,
    • රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම
    • අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම
    • රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම
    • ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම
    යන ක්‍රියාවලින් සඳහා පෞද්ගලික අංශයේ ද සහභාගීත්වය ලබා ගනිමින් ඵලදායී වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කිරීමද මෙම කමිටුවේ ප්‍රමුඛ කාර්යයන් වේ. ඒ අනුව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා සම්බන්ධිත සියලුම ආයතනයන්හි සහභාගීත්වය සහිත දත්ත හා තොරතුරු මත පදනම් වූ විද්‍යාත්මක විශ්ලේෂණයක් තුළින් ප්‍රතිපත්තිමය මග පෙන්වීම ලබා දීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යවරයාගේ සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ සම සභාපතීත්වයෙන් යුතුව අග්‍රාමාත්‍ය ලේකම් ඇ
  • ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උත්සවය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව

    ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උත්සවය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව

    පසුගිය ජනවරම අපි සෑම දෙනාටම, සමාජයේ අපේක්ෂාව පෙන්නුම් කර තිබෙනවා. විවිධ අවස්ථාවල අපේ රටේ ජනවරම එක එක ආකාරයට ප්‍රකාශයට පත්ව තිබෙනවා. විටෙක යුද්ධය අවසන් වීම හේතු කොටගෙන, ජනවරම ප්‍රකාශයට පත්ව තිබෙනවා. තව විටෙක රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම වෙනුවෙන් ජනවරමේ ප්‍රධාන ලක්ෂණයක් පිළිඹිබු වෙලා තිබෙනවා. මා හිතන්නේ 2024 වසරේ ජනවරමේ ප්‍රධානතම පංගුව තිබෙන්නේ අල්ලසට සහ දූෂණයට එරෙහි ජනතාවගේ වුවමනාවයි. මෙතැන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණ සේවාව නියෝජනය කරමින් ඇතුළු ඉතා වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් නිලධාරීන් සිටිනවා. දේශපාලනය නියෝජනය කරමින් මම සිටිනවා.

    එතකොට අපි එකිනෙකාට ව්‍යවස්ථාව තුළ බලය පවරා ති‍බෙනවා. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතිය විසින් අප එකිනෙකාට බලය පවරා තිබෙනවා. ඒ පනත් විසින්, රෙගුලාසි, චක්‍රලේඛ විසින් බලය පවරා තිබෙනවා. අප සෑම දෙනාටම ව්‍යවස්ථාව සහ නීතිය තුළ අප සියලු දෙනාටම බලය පවරා තිබෙනවා. හැබැයි ඒ සියලු බලය උත්පාදනය වී තිබෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය කියන බලය තුළින්. එහෙනම් අප බැදී තිබෙන නීතීන්, අපට පවරා තිබෙන සීමාවන්, මේ සියල්ලටම වඩා ජනතාවගේ ජනවරමට සහ එහි පරමාධිපත්‍ය බලයට අප සියලුම දෙනාම යටත්.

    ‘අභිමානවත් ජාතියක ආදර්ශමත් පෙර ගමන්කරුවන් බවට අපි පත් වෙමු. ඒ අපි කියන්නේ අපි වෙන්න ඇතිනෙ. හරි, මෙතැන කවුද අඩු? දේශපාලන අධිකාරිය වශයෙන් මා සිටිනවා. ජනාධිපති ලේකම්තුමා, අග්‍රාමාත්‍ය ලේකම්තුමා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිටිනවා. පොලිස්පතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා සිටිනවා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව භාරව සිටින සභාපතිතුමා ඇතුළු කොමසාරිස්වරුන් සිටිනවා. එහෙනම් තව කවුද අඩු? එහෙනම් ප්‍රශ්නය තිබෙන්නේ කොතැනද? අපි අවංකවම විමසා බැලුවහොත් ප්‍රශ්නය තිබෙන්නේ මෙතැනමයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆයිල් එකක් උඩ යන්නෙත් යට යන්නෙත් කොහොමද? වසර 7-8ක් ලිපිගොනු කබඩ් අස්සේ හිර වෙලා තිබෙන්නේ ඇයි? ප්‍රශ්නය මෙතැන නෙමෙයිද?
    මා මේ කියන කරුණු කිසිවක් ඔබ පෞද්ගලිකව ගන්න එපා. අද අපේ සමාජයේ ඛේදවාචකයේ බැරෑරුම්කම. ෆයිල් උඩ යෑම ගැනත්, යට යෑම ගැනත් විමසන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කරන ලිපි ගොනුවක් වසර 7ක් ඒ පිළිබඳව උද්ධෘතයක් නොදී තිබෙන්නේ කොහොමද? ප්‍රශ්නය තිබෙන්නේ කොතැනද? අධිකරණය හමුවේ විභාග වන නඩුවක් මාස 7-8ක් කල් යන්නේ කොහොමද? නැවත දිනයක් ලබා ගැනීම සදහා කල් යන්නේ කොහොමද? මේ සෑම දෙනාටම තම ආයතනයේ එවැනි ප්‍රශ්නයක් මතු වීම පිළිබඳව අදහසක්, හේතුවක් කියන්න පුළුවන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්න පුළුවන් මෙතරම් පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙනවා, එනිසා විභාග කොට නිසි පරිදි නඩුවක් පැවරීමට ප්‍රමාණවත් නිලධාරීන් නැහැ කියලා. අල්ලස් කොමිසමටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් ඒක කියන්න පුළුවන්. ඒ ප්‍රශ්නය තිබෙන්නේ අපෙන් බාහිරව නෙමෙයි.

    අපි සෑම කෙනාම අවංකව ප්‍රයත්නයක් දරන්නේ නොමැති නම් ‘ආදර්ශමත් පෙරගමන්කරුවන් අපි වෙමු‘ අපිම තමයි ප්‍රශ්නය. ඉතිං මෙතැන නම් ප්‍රශ්නය තිබෙන්නේ පොදු ජනයා එහි වගඋත්තරකරුවන් වන්නේ කෙසේද? මෙතැන නම් ප්‍රශ්නය තිබෙන්නේ, දූෂණය, වංචාව අපි මැඩ පවත්වන්නේ කොහොමද? මා හිතනවා අපි පළමු කොටම අපි අපේ හෘද සාක්ෂියෙන් විමසිය යුතුයි. මා ඔබට එක සහතිකයක් දෙන්නම්. දේශපාලන අධිකාරිය ලෙස, මා වෙත පැවරී තිබෙන බලතල මුළුමනින්මත්, අවංකවත් මේ වංචාව හා දූෂණය මැඩ පැවැත්වීම වෙනුවෙන් යොදවනවා. ඒ පිළිබඳව සැකයක් තියා ගන්න එපා.

    එහෙත් මා දන්නවා මාගේ සීමාවන්. මට එයට දේශපාලන අධිකාරියේ නායකත්වය ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය වන යටිතල පහසුකම් සම්පාදනය කර දෙන්න පුළුවන්. අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර දෙන්න පුළුවන්. හැබැයි කවුරු විසින්ද එය කළ යුතු වන්නේ? මා හිතනවා එය කළ යුතු වන්නේ මෙතන ඉන්න ඔබ විසින්.

    අපි දැන් සිටින්නෙ එකසිය පහළොස් වැනි තැන. මම හිතන්නේ හරිම තොරතුරු නැති නිසා තමයි එතන ඉන්නේ. හරිම තොරතුරු තියෙනවා නම් ඊට වැඩියි. මෑත කාලයේ ලෝකයේ ආන්දෝලනයට තුඩු දුන් පරීක්ෂණ ගණනාවක් දියත් වුණා. එකක් ඇමෙරිකන් එක්සත්ජනපදයේ සී.අයි.ඒ නියෝජිතයෙක් වන ඉමාම් සුබේරු මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිර දඬුවම් ලැබුවා. ඒ පරීෂණයේදී හෙළිදරව් වෙනවා ඔහුට ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් ඩොලර් මිලියන හයක් ලබා දී ඇති බවට. එක්සත් ජනපදයේ නඩුවක් විභාගයට ලක්වෙනවා ලංකාවේ මහ බැංකුව සම්බන්ධ වෙනවා.

    එංගලන්තයේ මහාධිකරණයේ නඩුවක් විභාගයට ලක් වුණා, එයාර් බස් සමාගම ඒ ඒ රාජ්‍යයන්ට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් දීම පිළිබඳව. එක්සත් ජනපදයත්, ප්‍රංශයත්, එංගලන්තයත් ඒකාබද්ධව මේ පරීක්ෂණය සිදු කළා. ඒ පරීක්ෂණයේදී හෙළිදරව් වෙනවා ශ්‍රී ලංකාවේ එයාර් ලංකා එකටත් එයාර් බස් සමාගම අල්ලස් දී ඇති බවට.

    එක්සත් ජනපදයේ නඩුවක් විභාග වුණා ශ්‍රී ලංකාවේ තානාපතිවරයා තානාපති නිවසක් මිලදී ගැනීමේ දී මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදකරු වුණා. ඔහු අධිකරණයෙන් සමාව ඉල්ලුවා.

    ඒ වගේම පැන්ඩෝරා විමර්ශන පත්‍රිකා එළියට එනකොට ලංකාවේ කට්ටිය ඒක ඇතුළේ ඉන්නවා. පැනමා විමර්ශන පත්‍රිකා එළියට එනකොට ලංකාවේ අය ඒක ඇතුළේ ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ විමර්ශනයක් දියත් වුණා හම්බන්තොට රෝහලට වෛද්‍ය උපකරණ සැපයීමේදී ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් අල්ලස් දී ඇති බවට. එහේ පරීක්ෂණයක් යනවා. මෙහේ හම්බන්තොට මතු වෙනවා.

    අපි අපේ රටේ ඇතුළේ ටික පැත්තකින් තියන්න. මෙහෙමනේ අපේ රටට වෙලා තියෙන්නේ. නමුත්, අපි බැලුවොත් මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු වී නියමිත වග උත්තරකරුවන් අධිකරණය හමුවට පමුණුවා අප දඬුවම් ලබා දීමට සමත් වී තිබෙනවාද? අපි හැමදෙනාම මෙරටේ පුරවැසියන් විසින් උත්පාදනය කරන ලද බලය, බලයේ මූලයෙන් අපට බලය ලැබී තිබෙනවා. ඔවුන් එක්රැස් කරන ධනයෙන් මහන්සියෙන් ශ්‍රමයෙන් අපට වැටුප් වරප්‍රසාද ලබා දෙනවා. හැබැයි පෙරළා අපි අපේ රටේ පුරවැසියන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු කර තිබෙනවාද?

    නෑ. අපි පෙරළා කරමින් තිබෙන්නේ බොහෝ තැන්වල ඒ ලැබී තිබෙන බලයෙන් නැවත නැවත උපයෝගී කර ගන්නවා දූෂණයේ යෙදෙන්න. ජනතාව විසින් බලය අපට උත්පාදනය කර තිබෙනවා. ජනතාව විසින් අපට වරප්‍රසාද ලබා දී තිබෙනවා. වැටුප් ලබා දී තිබෙනවා. හැබැයි එය ලබා ගන්නා අය විසින් කරන්නේ කුමක්ද? තමන්ගේ බලයත් තමන්ගේ වරප්‍රසාදත් උපයෝගී කර ගන්නවා නැවත නැවත අල්ලසේ සහ දූෂණයේ යෙදෙන්න. ඒකනේ යථාර්ථය. එහෙම නෙවෙයිද?

    බලය ලබා දෙන්නේ සාධාරණත්වය වෙනුවෙන්. හැබැයි ඒ බලය උපයෝගී කර ගන්නේ අයුක්තිය සඳහායි. පුද්ගලික ප්‍රතිලාභයන් වෙනුවෙන්. ධනය එක්රැස් කිරීම වෙනුවෙන්. එහෙම නම් මේ බලයෙන් ඇති ඵලය කුමක්ද? මම අහන්නේ එච්චරයි.

    ඒ නිසා අපි හැමදෙනාම තිර අධිෂ්ඨානයකට එන්නේ නැත්නම්, අපිට ලබා දී තිබෙන බලය ජනතාව විසින් උත්පාදනය කර ඇති බලයක්. ඒ බලය තුළ ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කළ යුතුයි කියල සැබෑ අදිටනකට එන්නේ නැත්නම් මොන ආයතන ගොඩ නැඟුවත්, මොන නීති සම්පාදනය කළත් ඵලක් නැහැ.

    මා කියන්නේ නෑ නීතිය අනවශ්‍ය බව. මා කියන්නේ නෑ ආයතන ශක්තිමත් නොකළ යුතු බව. නීති ප්‍රමාණවත් නැත්නම් තව අපි නීති සම්පාදනය කරමු. ආයතන ප්‍රමාණවත් නැත්නම් තව ආයතන ගොඩ නඟමු. හැබැයි මොන තරම් නීති සම්පාදනය කළත්, මොන තරම් ආයතන ගොඩ නැඟුවත් ප්‍රමාණවත් නෑ, එහි බලය හොබ වන අය තමන්ට පැවරී තිබෙන යුතුකම හා වගකීම ඉටු කරන්න සූදානම් නැත්නම්. මගේ කාලයේ නම් මම දැක තිබෙන්නේ බොහෝ අය, අවංකව කියන්නේ බොහෝ අය තමන්ගේ බලය අපහරණයේ යොදවනවා.

    තමන්ගේ වගකීම අපහරණය, එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 07ක් ලිපිගොනුවක් සිර වී තිබෙන්න විදියක් නැහැ. සමහර ලිපි ගොනු ලාච්චුවට දාලා වහපු දවසේ සිට විවෘත කරනේ නැතිව ඉන්න විදියක් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිපිගොනු, කඩදාසි දිරන තුරු පරීක්ෂණ කරමින් ඉන්න විදියක් නැහැ. එය නීතියේ ප්‍රශ්නයක්. ආයතනයේ ප්‍රශ්නයක් නොවයි. තමන්ට ලැබී තිබෙන බලය තමන් විසින් අපහරණය කිරීම. එය වළක්වා ගැනීමට අසමත් වන තෙක් අපට මේ කාර්යය ජයග්‍රහණය කරන්න බැහැ.

    2021 වසරේ නඩු 69ක් අවසන් කර තිබෙනවා. එයින් නඩු 40ක් ඉල්ලා අස් කර ගෙන තිබෙනවා. එවිට අවසන් වූ නඩු 69න් 40ක් ඉල්ලා අස් කරගෙන තිබෙනවා. ප්‍රසිද්ධ මල්වානේ ඉඩම් නඩුවේ එතනින් එහා සාක්ෂි අත්හිටවනු ලැබුවේ කුමක් නිසාද, ඇතැම් නඩුවල එම පරීක්ෂණ සිදු කළ
    නිලධාරීන් එහි සාක්ෂිකරුවන් ලෙස සටහන් නොවන්නේ කුමක් නිසාද, ශානි අබේසේකර සාක්ෂි දරනවා ඇතියි. ඔහු සම්පූර්ණයෙන් විමර්ශන නිලධාරියා වෙනවා. නමුත් නඩුව ගොනු කරන විට ඔහු සාක්ෂිකරුවෙක් නොවේ නම් මොකක්ද මේ වෙන්නේ.

    2022 නඩු 89ක් පවරා තිබෙනවා. නඩු 45ක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ඇයි, අපේ රටේ පුරවැසියන්ට අපි බැඳි සිටිනවා නම් මේ හේතුව අපි කිව යුතු නැද්ද, අදාළ නිශ්චිත නඩුවේදී එම විමර්ශන නිලධාරියා සාක්ෂිකරුවෙක් ලෙස සටහන් නොකරන්නේ කුමක් නිසාද, අපි ජනතාවට බැඳී සිටිනවා නම් මෙය පැහැදිලි කළ යුතුයි. ඇතැම් නඩුවල සාක්ෂිකරුවන් කැඳවන්නේ නැතිව නඩු ඉවත් වෙන්න අරින්නේ කුමක් නිසාද, අපි ජනතාවට බැඳි සිටිනවා නම් මෙය පැහැදිලි කළ යුතුයි. අපි නඩු ඉල්ලා අස්කර ගන්නේ ඇයි කියා ජනතාවට පැහැදිලි කළ යුතුයි. ලිපි ගොනු අවුරුදු 07ක් 08ක් ලාච්චු අස්සේ සිර වී තිබෙනවා නම් ඇයි එසේ සිදු වන්නේ කියා අප ජනතාවට පැහැදිලි කළ යුතු නැද්ද?

    ඒ නිසා මේ සමස්ත දේහයම පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා. යළි අපේ රට ගොඩනඟනවා නම් මේ සමස්ත පද්ධතියම ප්‍රතිෂ්ඨාපනයට ලක් කළ යුතුයි. එසේ නොමැතිව කුඩා නීතිමය ප්‍රතිසංස්කරණයකින්, කුඩා ආයතනික ප්‍රතිව්‍යුහගතකරණයකින් පමණක් මේ කාර්යය සම්පූර්ණ කර ගන්න බැහැ. එයට පුළුවන් මගේ අවුරුදු 05ක් ගත කිරීමට පමණයි. නමුත් මෙම ක්‍රමය වෙනස් කරන්න නම් මේ සමස්තය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. එසේ නොමැතිව මෙම ජයග්‍රහණ අත්පත් කරගන්න බැහැ. පෞද්ගලිකව මා ප්‍රයත්න දරනවා මේ සමස්ත පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කර මේ රාජ්‍ය සුවපත් රාජ්‍යයක් බවට පත් කිරීමට. එයයි මගේ අපේක්ෂාව. මම සිතනවා අපි මේ අවස්ථාවේ මෙය කිරීමට අසමත් වුවහොත් අපේ රටේ ජනතාව හීනයකින්වත් සුබ රාජ්‍යයක් පිළිබඳ සිතන්නේ නැහැ.

    මෙම 2024 වසරේ ජනවරමේ ජනතාව තැබූ අපේක්ෂාවන් හා බලාපොරොත්තු ඉටු කිරීමට අප අසමත් වන්නේ නම් අපේ ජනතාව හීනෙන්වත් සුබ සිහිනයක් දකින්නේ නැහැ. උතුර,නැගෙනහිර, සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව සියලු ජනතාව එක තැනකට පැමිණ සුබ අරමුණක්, සුබ අපේක්ෂාවක් වෙනුවෙන් බලයක් පිහිටුවා තිබෙනවා. ඒ අරමුණ, ඒ අපේක්ෂාව ඉටු කිරීම අප අසමත් වුවහොත් මම නැවත නැවත කියනවා ජනතාව නැවත කිසි දින සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ.

    ඒ නිසා එම කාර්යය ඉටු කිරීමට අපට වගකීමක් තිබෙනවා. එම කාර්යය ඉටු කිරීම සඳහා පෞද්ගලිකව මා වෙතත්, අපේ ආණ්ඩුවටත් පැවරි ඇති කාර්යභාරය අපි නිසි පරිදි ඉටු කරනවා. හැබැයි, ඔබගේ සහාය අත්‍යවශ්‍යයි. විමර්ශන සිදු කරන ආයතන, සහාය දක්වන ආයතන, එම විමර්ශනයන් විභාගයට ලක් කොට තීන්දු තීරණ ලබා දෙන ආයතන නිසි පරිදි මීට සක්‍රීය දායකත්වය ලබා නොදෙන්නේ නම් අපට තවත් දශක ගණනාවක් දූෂණ විරෝධි දිනය සමරන්න පුළුවන්. අපි සියලු දෙනාට සැදැහැ සිතින් පැමිණ දූෂණ විරෝධි දිනයේ වාඩි වී ඊට සහභාගි වුණා කියලා අත්පොළසන් දී පිටවී යන්න පුළුවන්.

    හැබැයි අපි වෙනස් කිරීමට සූදානම් නම් ලබන වසරේ අපට යමක් කළ, මෙය ජයග්‍රහණය කළ හැකි දෙයක් කියා සමරන්න පුළුවන්. හැබැයි අපේ සභාපතිතුමා සඳහන් කළ පරිදි 2012 වසරේ තිබූ ලකුණු මට්ටම 40යි. එය 2024 වන විට 34 දක්වා අඩු වී තිබෙනවා නම් අපි ඊළඟ දිනය මෙතන වාඩි වී සැමරිය යුතුද? දූෂණයට ලක් වූ රාජ්‍යයක් ලෙස තව තවත් ඉදිරියට ඒම අපට දෙසැම්බර් 09 වනදාට සමරන්න පුළුවන්

    අපි දැන්, 2012 ඉඳන් සැමරුවා නම් අපි සමරන හැම වසරක් පාසාම මොකක්ද සිදු වි තිබෙන්නේ? සමරන හැම වසරක් පාසාම සිදු වී තිබෙන දේ තමයි තිබුණ තැනට වඩා දූෂණය ඉහළට යනවා. අපි දෙසැම්බර් 09 වන දා සමරනවා. නරක නෑ. හැබැයි මම කියන්නේ අපට සැමරීම සඳහා අයිතිය ලැබෙන්නේ දිනය විසින් නෙමෙයි. ඒ දිනයට තියෙන අභිප්‍රායයන්ට සහ අපේක්ෂාවන්ට මොන තරම් ප්‍රමාණයකින් අපි සාධාරණය ඉටු කර ගන්න සමත් වුණාද නැද්ද කියන එක මත. එසේ නොවන්නේ නම් මම හිතනවා සැදැහැ සිතින් ඊළඟ අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ 09 වන දා අපි වාඩි වෙලා සැමරීමෙන් ඵලක් නෑ. සමරන්නෙ අපි අලුත් අධිෂ්ඨානයකට නම්, අලුත් තිරණාත්මක හැරවුමකට නම් ඒ සැමරීම අපි ඒ පතුලෙන්ම ඒ සැමරුම කළ යුතුයි කියල මම විශ්වාස කරනවා. ඒ නිසා මම හිතන්නේ අපි ඊළඟ දිනය සැමරිය හැකි වන්නේ පුරවැසියන්ට, අපි මේ කුඩා ශාලාවකට එකතු වෙලා අපිට සමරන්න පුළුවන්. කවදත් පුළුවන් වෙයි. හැබැයි, පුරවැසියන්ට ඒ සැමරීම පිළිබඳව යම් අදහසක්, යම් භක්තියක්, යම් ගෞරවයක්, යම් වටිනාකමක් නිර්මාණය වන්නේ පුරවැසියන්ට ඒ පිළිබඳව විශ්වාසදායක ක්‍රියාමාර්ගවල අප නිරත වුණොත් විතරයි. ඒ නිසා මම හිතනවා, මේ ඇවිල්ලා ඔබ සතුව තියෙන පැමිණිලි ප්‍රමාණය මම දන්නවා. ඒ පැමිණිලිවල නම් ගම් දන්නවා. මතක තබාගන්න. ඒ පැමිණිලි දාපු කාල වකවානු ගැන අදහසක් තිබෙනවා. ඒ පැමිණිලිවල චූදිතයන් කවුද කියල අපට යම් දළ අදහසක් තිබෙනවා. හැබැයි මම ෆයිල් එක කියවල නැතත් අදහසක් තිබෙනවා. හැබැයි ෆයිල් එක බර වෙනවද? ෆයිල් එක සැහැල්ලු වෙනවද කියල තීරණය කරන්නෙ ෆයිල් එක ඇතුළෙ තියෙන කෙනාගෙ නම නම් මොකක්ද ඇති ඵලේ? අපේ විනිසුරුතුමා කිවුව අඩුම තරමෙ මේ ආර්ථිකයට තීරණාත්මක ලෙස බලපෑමක් කරන ප්‍රධාන ටිකවත් අපි ඉක්මන් කරල කරන්න ඕන. හැබැයි මා ගාව තියෙනවා මාර්තු 06 වාර්තාව, ඉද්දෙවෙල මැතිතුමා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් විදිහට පාර්ලිමේන්තුවේ කතාවක් කළා. මා පෙන්වා දෙන්නම්.

    එක අවුරුද්දක අල්ලස් කොමිසමේ දඩුවම් ලබා දීල තියෙන්නෙ පීසී මහත්තුරු දෙන්නයි, ග්‍රාම සේවක මහත්තයයි එස් අයි මහත්තයෙකුයි ලිපිකරුවෙකුයි, තව දෙන්නෙක් ඉන්නවා මට මතකය මදි. තව දෙන්නෙක් විතර හිටියා. ඒ කියන්නේ කාටද ? නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මකුළු දැලක් වගේ පොඩි සත්තු පැටලෙනවා. ලොකු සත්තු මකුළු දැල බිඳ ගෙන යනවා. ඉතින් එහෙම නීතියක් තිබෙන බව, එහෙම ක්‍රියාත්මක වෙන බව, මේ රටේ පුරවැසියන් දන්නවා. මා දන්නවා මට වඩා තීතිය පිළිබඳ හසළ අත්දැකීම් සහිත ඒ ක්ෂේත්‍රයේම වැඩ කරපු, ඒ ක්ෂේත්‍රයේම අත්දැකිම් සහිත අය ඉන්නවා. හැබැයි, අපි කවුරුත් දන්නවා නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම නීතිය සාධාරණව ඉටු වෙනවා බවට ජනතාවගේ විශ්වාසය ගොඩනැඟිය යුතුයි. මම කියන්නේ අද ජනතාව තුළ එහෙම විශ්වාසයක් නෑ.

    මේ නිසා, ඒ වගේම යුක්තිය ඉටු කිරිම සඳහා ප්‍රමාද වීම් එක පැත්තකින් යුක්තිය ඉටු කිරිමක් නොවන්නේය. යුක්තිය ඉතා ඉක්මනින් ඉටු කිරිම තමයි යුක්තියට කළ යුතු සාධාරණත්වය. යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීමක් යුක්තිය ඉටු කිරිමක් නොවන්නේය කියා අපි විශ්වාස කරනවා. ඒ නිසා මා විශ්වාස කරනවා අපි අපිම ප්‍රශ්න කර ගත යුතු දවස ඇවිත් තිබෙන්නෙ. අපි අපිම අවංකව මේ කාර්යයට මොන තරම් ප්‍රමාණයකින්, අපි උර දෙන්න සූදානම්ද? නැද්ද? යන ප්‍රශ්නයට අපි ඇවිල්ලා තියෙනවා. මම දන්නවා ඔබගේ ආයතන, ඔබගේ කාර්යයන් මේ බිඳ වැටීමට ලක් වුණේ ඔබගේම තනි ස්වකැමැත්තක ප්‍රතිඵලයක් හැටියට මෙතනට පත් වුණා නොවෙයි. ස්වභාවික ඉරණමක ප්‍රතිඵලයක් නෙවෙයි මේ ආයතන පද්ධතිය මෙතන බිඳ වැටෙන්න. මේ සියලු ආයතන පද්ධතියම මෙතන බිඳ වැටෙන්න ප්‍රධානම හේතුව අපේ රටේ අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය. මා දන්නවා අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එක රැයින් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳෙව්වා ඉතිහාසෙ. මතක ඇති, රණසිංහ කියල මහත්තයෙක් කුරුණෑගල හිටපු, ටයි කෝට් ඇඳපු මහත්තයෙක් මතක ඇති, එක රැයකදි එක අමාත්‍යවරයකු පිළිබඳ පරීක්ෂණය දියත් කරන්න කිවුවයි කියල මොකක්ද වෙලා තියෙන්නෙ අපේ රටේ මේ තිබෙන ඉතාමත් අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය අපේ රටේ සියලු ආයතනික පද්ධතීන්වල තිබෙන හරයාත්මක වටිනාකම් දූවිලි බවට පත් කරල විනාශ කරල තිබෙන්නේ. සෑම ආයතන පද්ධතියක් කෙරෙහිම පුරවැසියන්ගේ තිබෙන විශ්වාසය බිඳ වැටිල තිබෙන්නෙ. හැම ආයතන පද්ධතියක්ම තමන්ට තිබෙන තමන්ගේ බලය පිළිබඳ විශ්වාසය බිඳ වැටිල තිබෙන්නෙ. හැම ආයතන පද්ධතියකම මේ ආයතන පද්ධතිය මෙහෙය වන්නාට පැවරී තිබෙන වගකීම පිළිබඳව දිය කරල තිබෙන්නෙ. ඇයි? මේ දේශපාලන සංස්කෘතිය හින්දා. ඒ නිසා අපේ විනිසුරුතුමා කී පරිදි අපි හිතන්නෙත් නෑ අවුරුද්දෙන් දෙකෙන් මුළුමනින්ම මේක අනික් පැත්තට හසුරවන්න හැකි වෙයි කියල. හැබැයි අපි යහපත් ප්‍රයත්නයක් දරනවා. ඊළඟ පරම්පරාවට මේ වැඩේ පවරන්නෑ. අපේ පරම්පරාව මෙය සාර්ථක කර ගැනීම සඳහා පොර බදපු මිනිස්සු හැටියට, මේ වෙනස් කිරීම සඳහා පොර බදපු මිනිස්සු හැටියට අපි අපේ කාර්යය අවසන් කිරීමට නියමිතයි.

    අපි අපේක්ෂා කරනවා අපේ කාලයෙ මේක අවසන් කරන්නට. හැබැයි, අපි දෙන්න ඕන මුලාරම්භයක් යහපත් දිශාවට මේක පරිවර්තනය කරන්න. අන්න ඒ මූලාරම්භය දෙන්න දේශපාලන අධිකාරියක් ලෙස අපි ලෑස්තියි. මම ඔබගෙන් ඉල්ලන්නේ මෙතන ඉන්නේ ඒ පිළිබඳ විශේෂ වගකීම් කණ්ඩායමක්. මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ, මේකට සහය දෙන්න. මෙතන එක් රැස් වී සිටින අපි මේක කරන්නේ නැත්තම්, ඈත දෙහිඅත්තකණ්ඩියේ ජීවත් වෙන ගොවියද මේක කරන්නෙ? එහෙම නැත්තම් ගමේ ඉන්න සාමාන්‍ය පුරවැසියද මේ කාර්යය කරන්නෙ? මේ කාර්යය කරන්න තියෙන්නෙ අපිට. අපි මේ කාර්යය කිරීම සඳහා මැදිහත් වෙන්නේ නැත්තම් මේ කාර්යය කිසිවෙක් විසින් කරන්නේ නෑ. ඒ නිසා මා හිතනවා ඔබට මේ පැවරී තිබෙන කාර්යභාරය ඉටු කිරීම සඳහාත්, ලබන වසරේ දෙසැම්බර් මාසේ 09වන දා අපට වාඩි වෙලා මේ දිනය සමරන්න පුළුවන් වටිනාකමක් එකතු කර ගැනීම සඳහාත්, සියලු දෙනා වැඩ කරමු කියා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි! හැම දෙනාටම.

  • පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල පැතිර යන ‘උණයක්’ ගැන අනතුරු ඇඟවීම්

    පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල පැතිර යන ‘උණයක්’ ගැන අනතුරු ඇඟවීම්

    පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන රෝගය පැතිර යන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත

    ඉන්ෆ්ලුවෙන්සා / influenza වැනි රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර පැතිරෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂ්ක විජයවර්ධන මහතා පවසයි.

    විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ වත්මන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, මස්පිඩු හෝ සිරුරේ කැක්කුම, ඔක්කාරය, තෙහෙට්ටුව, ආහාර රුචිය අඩුවීම සහ උගුර වණ වීම බව යි.

    මෙය සෘතුමය රෝගයක් වන අතර කාලයත් සමග සමනය වන බව විජයවර්ධන මහතා පැවසුවේ. මීට මාස කිහිපයකට පෙර ආසාදිතයින්ගේ වර්ධනයක් සිදු වූ නමුත් වර්තමානය වන විට ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙමින් පවතින බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

    කෙසේ වෙතත්, ඔහු ප්‍රකාශ කළේ මුහුණු ආවරණයක් පැළඳීම, නිතිපතා අත් සේදීම සහ හොඳ සනීපාරක්ෂාව පවත්වා ගැනීම වැනි ක්‍රියාමාර්ග මඟින් මෙම  රෝගය වළක්වා ගැනීමට බොහෝ දුරට හැකියාව ඇති බව යි.

    “පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති ස්ථාන  ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ නිසා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරන ලෙසත්, යම් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින ලෙසත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා,” විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ද මෙවැනි උණ රෝගයක් පැතිර යන බවයි.

    “ශ්‍රී ලංකාවේ අප දකින්නේ සාමාන්‍ය උණ වර්ගයක්. නමුත් කොංගෝවේ, හුදකලා ප්‍රදේශවල රෝගය පැතිර යන බැවින් තත්ත්වය වඩාත් සංකීර්ණ වන අතර නිශ්චිත හේතුව තවමත් හඳුනාගෙන නැහැ. කොංගෝවේ පැතිර යන රෝගය ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අඩු යි.අපි තත්වය පිළිබඳව හොඳින් විමසිල්ලෙන් සිටිය යුතුයි, නමුත් දැනට කලබල වීමට හේතුවක් නැහැ” ඔහු තවදුරටත් පැවසීය.