මතුගම නගරයේ ගව මස් වෙළදසැළේ 2018 වර්ෂය සඳහා ටෙන්ඩරය බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විසින් ලබාගෙන ඇති බවට වන පුවතක් වාර්තා වනවා.
මතුගම ප්‍රාදේශීය සභාවේ ගව මස් කඩය 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් මුදල රුපියල් 22,60,150ක් වූ අතර 2018 වර්ෂයේ අවම ටෙන්ඩර් මුදල රුපියල් 24,86,165ක් විය යුතු බව ප්‍රාදේශීය සභාව නිවේදනය කර තිබුනා. ඒ අනුව දැනට මස් කඩය පවත්වාගෙන යන මොහොමඩ් ෆාසී මොහොමඩ් පබ්ලිස් හා මාවිට ඥානරතන හිමි ගව මස් වෙළදසැළ සදහා ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුනා. පසුගිය 27දා ටෙන්ඩර් විවෘත කිරීමේදී මොහොමඩ් ෆාසී 27,16,000ක් ලංසු තබා තිබූ අතර මාවිට ඥානරතන හිමියන් රුපියල් 32,25,622ක මුදලකට ලංසු තබා ඇත. ටෙන්ඩර් පත් අනුව 2018 ජනවාරි සිට මතුගම ගව මස් කඩය ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට හිමිව ඇත.
ගව මස් කඩ ටෙන්ඩරය ලබාගත් මාවිට ඥානරතන හිමියෝ ප්‍රකාශ කරන්නේ මතුගම ගවමස් කඩය වසා දමන්නැයි 2015 වසරේදිත් ඊට පසුවත් කිහිප අවස්ථාවකදී ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීම් කළත් නීතිමය ගැටලු නිසා එය ඉටුකළ නොහැකි බව ප්‍රාදේශීය සභාව ප්‍රකාශ කළ බවයි. ඒ අනුව 2018 වර්ෂයේ මස් කඩ ටෙන්ඩරය ලබාගෙන සභාවට බදු මුදල් ගෙවා මස් කඩය වසා දැමීමට පියවර ගන්නා බව මාවිට ඥානරතන හිමියෝ පවසනවා. දකුණු ආසියාවේ උසම හිටි පිළිමය පිහිටි මතුගම ඓතිහාසික පූජනීය නගරයක් බවත් සතිපොළ පැවැත්වෙන ඉරිදා හා බදාදා දිනවලදී දිනකට ගවයන් දෙදෙනකුගේ මස් අලෙවි කරන තත්ත්වයක් ඇති නිසා මෙම පියවර ගත් බවත් මේ සඳහා මහා සංඝරත්නයේත් බෞද්ධ ජනතාවගේත් විශාල ඉල්ලීමක් හා සහයෝගයක් ඇති බවත් ඥානරතන හිමියෝ මාධ්‍යයට පවසා තිබුනා.
කෙසේ වෙතත් මේ පිළිබඳව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ පවසා සිටියේ වැඩිම ටෙන්ඩර් මුදලට මස් කඩය හිමිවන නමුත් ටෙන්ඩර්කරු ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බවයි. ඒ අනුව දින හතකට වඩා මස් කඩය වසා තැබිය නොහැකි බවත් ගිවිසුමේ නීති කඩකළහොත් අදාළ ටෙන්ඩරය අවලංගු වන බවත් අසෝක රණසිංහ වැඩි දුරටත් සදහන් කර තිබුනා.

