තීන්දුයි.. තීරණයි.. එජාපය සමග හවුලක්‌ නෑ – ජනපති මෛත්‍රී නායකත්වයෙන් ශ්‍රිලනිපය පුළුල් සන්ධානයකින්..!

Spread the love

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 වැනිදා) රැස්‌ වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම තීරණය කළ බව ජනමාධ්‍ය සහ මහනගර සභා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා  පැවසීය.

එජනිස මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දින කිහිපය තුළ එම කටයුතු සිදුකෙරෙනු ඇති බව ද අලගියවන්න මහතා කීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට සූදානම්වීම පිළිබඳව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් 12.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ශ්‍රීලනිපය සමඟ එක්‌ව තරග කිරීම පිළිබඳව සෙසු පක්‍ෂවලින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම්, යෝජනා සහ වරප්‍රසාද පිළිබඳව එජනිස මහ ලේකම්වරයා ඊයේ පැවැති හමුවට කරුණු වාර්තා කිරීමක්‌ සිදු කළ බව ද අලගියවන්න මහතා කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට ඊයේ පැවැති රැස්‌වීමට සහභාගි වන ලෙස පක්‍ෂ ලේකම්වරයා විසින් ලිතව දැනුම් දෙනු ලැබුව ද ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු ඒ සඳහා සහභාගි වී නැත.

තමන් එම සාකච්ඡාව සඳහා සහභාගි වීමට අවශ්‍ය නම් එජාපය සමඟ තිබෙන හවුල් සන්ධානයෙන් ඉවත් වීම ඇතුළු ඉල්ලීම් 7 ක්‌ ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් එම ලිත ඇරයුම්වලට ප්‍රතිචාර දක්‌වමින් ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් ඉදිරි කාලයේදී හෝ ඔවුන් තමන් සමඟ එකතුවීමට එකඟතාව පළකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව නියෝජ්‍ය ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය. එජාපය සමඟ එකතු වී මැතිවරණයට තරග කිරීමට තමන්ගේ කිසි කැමැත්තක්‌ නැති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

[rns_reactions]