මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඉදිරිපෙළ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇතුළත් නොකිරීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි සාධාරණීකරණය කරනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත තරුව ලෙස සැලකුණු 22 හැවිරිදි කුසල් මෙන්ඩිස් සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව ක්‍රීඩාලෝලීන්ගේ ද විරෝධතාවය එල්ල විය. මෙම වසරේ මුල භාගයේ දී ද මෙන්ඩිස් මේ ආකාරයට ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ අවස්ථාවේ දී එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතා ඔහුව සංචිතයෙන් ඉවත් නොකර ඔහු හට තවදුරටත් අවස්ථාව ලබා දීමට කටයුතු කළේය
කෙසේ නමුත් තේරීම් කමිටුවේ සභාපති ලැබ්රෝයි, මෙන්ඩිස්ව සංචිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින්, ‘Cricbuzz’ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ;
“අපිට ඔහුව සම්පූර්ණයෙන්ම අයින් කරන්න හරි, ඉන්දියාවට ඔහුව අරන් ගිහින් ක්‍රීඩා නොකර නිකං තියන්න හරි ඕන වුනේ නැහැ. අපි උත්සාහ කරන්නේ ඔහුට දේශීය තලය තුළ ක්‍රීඩා කරන්න ඉඩ ලබා දීලා, ඔහු ක්‍රීඩා කරන ආකාරය හදා ගන්න දීලා, නැවතත් ඔහුගේ විශ්වාසය ගොඩනංවගන්න අවස්ථාවක් දෙන්න.”
එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ;
“ඔහු ගොඩක් විශ්වාසය තුළින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔහුගේ ක්‍රීඩා විලාශය සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ ඔහුගේ විශ්වාසය මත. ඔහුට ඉහළ දක්‍ෂතා දක්වන්න අවශ්‍ය හැම දෙයක්ම ඔහු සතුව තියෙනවා. ඔහු තව ඉනිම් දෙකක් ක්‍රීඩා කරලා, එහි දී අඩු ලකුණු ලබාගෙන, එවිට ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරලා ඔහුගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමන අවස්ථාවක් හදන්න අපිට ඕනේ නැහැ. ඔහුට තවමත් වයස ඉතිරි වෙලා තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි ඉදිරියේ දී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතමයෙක් වෙනවා දකින්න. තවත් අවුරුදු 10කට ඔහු ක්‍රීඩා කිරීම අපිට අවශ්‍යයි.”
එමෙන්ම කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මහතා කෞෂාල් සිල්වා පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැනි ක්‍රීඩකයින් කණ්ඩායම තුළ සිටීම අතිශය වැදගත් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ද ඔහුව සංචිතයට ඇතුළත් නොකිරීම පුදුමය දනවන කරුණක් විය. පසුගිය මාසයේ දී පාකිස්තාන කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කරනු ලැබූ ඉනිම් 4 තුළ ඔහු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 27ක් වුවත්, නික් පොතාස් මහතා ඔහුව සාධාරණීකරණය කිරීම නිසා බොහෝ දෙනා අනුමාන කළේ ඔහුව ඉන්දියානු සංචාරය සඳහා ද ඇතුළත් කෙරෙනු ඇති බවයි.
“අපි හිතන්නෙත් නික් හිතන විදිහටම තමයි. කොහොම වුනත් අවසානයේ දී වැදගත් ක්‍රීඩකයෙක් ලකුණු අතරට එන එක. චරිතය, ආකල්ප, කණ්ඩායම් හැඟීම; මේ හැම දෙයක්ම ඔහු සතුව තියෙනවා. නමුත් අපි පිතිකරණයේ දී ඔහුගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා.” යැයි ලැබ්රෝයි පැහැදිලි කර සිටියේය.



