පරිගණකය සුද්ද කරන හැටි

Spread the love

දූවිලි, මකුළු දැල් කියන්නේ අපේ ජීවිතේට නැතුවම බැරි දේවල් දෙකක්. කවුරු අපිට අකමැති වෙලා දාලා ගියත් දූවිලි නම් එහෙම ලේසියෙන් දාලා යන ජාතියේ එකක් නෙවෙයි. මකුළුවොත් කොච්චර මකුළු දැල් කැඩුවත් “ඔබ සොයා එන්නෙමි මා හදේ මකුළුවා”කියලා ආයෙත් ඇවිත් බූත ගුහාවක් වගේ වෙන්නම ආයෙ සැරසිලි ටික කරලා දෙනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මෙහෙම කළාම ඒක අපේ ඉලෙක්ට්‍රොනික බඩුවලට විශේෂයෙන් පරිගණකයට වාවන්නේ නැහැ. එහි තිබෙන කවුළු අවහිර වුණාම ඇතුළේ ජනනය වන මහා රස්නය පිට කරගන්න බැරුව අමුතු සද්දවලින් කෑ ගහන්න සහ පරිගණකයේ වේගය අඩු වෙන්නත්, ඉක්මණින් ම තිබෙන කොටස් පිච්චෙන්නත් ඉඩකඩ ලැබෙනවා වැඩියි. මේ නිසා අපි බලමු අපිට පුළුවන් හැටියට සහ පරිගණකයට හානියක් නොවෙන්න එය සුද්ද බුද්ද කරගන්නේ කොහොමද කියලා.

හැබැයි ඔක්කෝටම කලින් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඩෙස්ක්ටොප් කම්පියුටරේ හෝ ලැප්ටොප් එකේ කෑලි ගලවලා සුද්ද කරද්දී එහි වගකීම් සහතියකට හානි වෙනවා කියන එක. බොහෝ වෙලාවට ඉතින් කම්පියුටරේට දූවිලි එහෙම බැඳිලා එනකොට වගකීම් සහතිකේ මකුළු දැල් බැඳිලා කල් ඉකුත් වෙලා ගසුත් පැළවෙලා. හැබැයි ඉතින් සේරටම කලින් ඒ ගැන කල්පනාකාරී වෙලා ඉන්න. මොකද, මේ කියන කිසිම දෙයක් නිසා ඔබේ පරිගණකයේ වගකීම් සහතිකයට හානි සිදු වුණොත් අපිට එයට වග කියන්න බැහැ. මෙහි තිබෙන පියවර ඉතා ආරක්ෂාකාරී ඒවා තමයි. හැබැයි ඔබේ අත් වැරැද්දක් නිසා මොනවා හරි පරිගණකයට වෙනවා නම් එයටත් අපිට වගවෙන්න බැරි බව මුලින්ම කියන්න ඕන.

අපි ඩෙස්ක්ටොප් පරිගණකයක් සුද්ද කරන හැටි බලමු. මුලින්ම පද්ධති ඒකකයේ ඒ කියන්නේ ස්ක්‍රීන් එක හැරුණාම ඇතැම් ඒවායේ කණුවක් වගේ තිබෙන බොහෝ දෙනෙක් වරදවා කියන CPU එක. CPU කියන්නේ පද්ධති ඒකකය හෙවත් සිස්ටම් යුනිට් එක ඇතුළේ තිබෙන කුඩා කොටසක් විතරයි. දැන් එහි තිබෙන සියලුම සබඳතා එනම්; මොනිටරය, මූසිකය, යතුරු පුවරුව ආදී වූ වයර්වලින් ඉවත් කර හොඳින් ඉඩ තිබෙන ස්ථානයකට සිස්ටම් යුනිට් එක ඉවත්කර ගන්න. ගෙදරින් එළියට වගේ නම් තවත් හොඳයි. එතකොට අස්කරන දූවිලි ආයේ අතුගාන්න වෙන්නේ නැහැ.

දැන් මේක ගලවමු. මෙහෙම ගලවන්න කලින් ගැලවීම වළක්වාලමින් පරිගණකය විකිණීම සිදු කළ ආයතනය විසින් වගකීම් සහතිකය රැක ගැනීම සඳහා ස්ටිකර අලවා ඇති දැයි සැලකිලිමත් වෙන්න. බොහෝ සිස්ටම් යුනිට් ඉස්කුරුප්පු නියන් නැතිවම අතින් ගැලවිය හැකි විධියට ඇණ දාලා පිට කවරය සවිකර තිබෙනවා. සමහර ඒවායේ නම් බොත්තමක් එබීම මඟින් සම්පූර්ණ පිටත කවරයම විවෘත කරන්න අවකාශ සලසා තිබෙනවා. පියන ඉවත් කිරීමෙන් පස්සේ එහි දුහුවිලි වැඩිපුර තිබෙන ස්ථානවල මෘදු කෙඳි තිබෙන බුරුසුවකින්, යන්තමින් අභ්‍යන්තර කොටස්වලට හානි නොවන සේ පිරිසිදු කරන්න. විශේෂයෙන් ෆෑන්වල බැඳී ඇති දුහුවිලි හොඳින් ඉවත් වන සේ පිස දමන්න. එහිදී පරිගණකයෙන් ඉවතට එම දූවිලි ඉවත් වන සේ පිස දාන්න.

ඊට පස්සේ අත්වැසුම් දාගෙන හෝ ඉතා අවම වශයෙන් ද අත් දෙක ගෑවෙන අාකාරයට RAM කාඩ් ගලවලා ඒවා සවි වී තිබූ කුහර බුරුසුව ආධාරයෙන් පිරිසිදු කරන්න. RAM කාඩ් ගැලවීමේ දී ද ඒවායේ දෙපස ඇති pinවලින් නිදහස් කරලා ප්‍රවේශමෙන් ගලවන්න අමතක කරන්න එපා. ඒවා ඉතා සියුම් නිසා අතේ තිබෙන ස්ථිති විද්‍යුත් ආරෝපණවලින් පවා හානි සිදු වෙන්න පුළුවන්. දැන් අත් වැසුම් එක්කම මකනයක් හෝ මෘදු රබර් කැබැල්ලක් ආධාරයෙන් එහි යට කොටසෙහි ඇති ලෝහමය ඉරි වැනි කොටස් පිස දමන්න. එහෙම කළාම ඒවායේ බැඳී තිබෙන මලින වීම් ඉවත් වෙලා විද්‍යුත් සබඳතාවය ඇති වෙනවා. දැන් හැමදේම කලින් තිබුණු විධියටම සවි කරලා කවරයත් ඇණ සවි කිරීම හෝ ක්ලික් හඬ නැගෙන සේ තද කර ලොක් කරගන්න.

මොනිටරය පිරිසිදු කිරීමේදී ගෙදර තිබෙන්නේ CRT හෙවත් පිටිපස්සේ ගෙඩියක් වගේ දිගට තිබෙන ආකාරයේ එකක් නම් එතරම් බය වෙන්න දෙයක් නැහැ. එය ආස්‍රැත ජලයෙන් හෝ රුපියල් පන්සියයකටත් අඩු මිලකට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි කම්පියුටර් ස්ක්‍රීන් ක්ලීනින් කිට් එක්ක ලැබෙන දියර භාවිතයෙන් ඒ එක්කම ලැබෙන රෙදි කැබැල්ලකින් පිස දැම්මාම ඇති. ඒ වගේම එහි පිටුපස තිබෙන වායු කවුළුත් බුරුසුවකින් සුද්ද කරන්න. හැබැයි කුණු එළියට වැටෙන්න. නැත්නම් ඒවා තව ඇතුළට ගිහින් ඔක්කොම පිච්චිලා යන්නටත් පුළුවන්. මේ කාලේ LCD මොනිටර බහුලයිනේ. ඒ කියන්නේ ගොඩක් සිහින් ස්ක්‍රීන් තිබෙන ඒවා. මේවාට නම් පිසදැමීමෙදී අත තද නොකර කරන්නට වග බලා ගන්න ඕන. නැත්නම් ස්ක්‍රීන් එක උඩ නොමැකෙන පැල්ලම් ඇති වෙනවා.

මුලින්ම මෘදු කෙඳි බුරුසුවකින් එහි තිබෙන ලොකු දූවිලි කැබලි ඉවත් කරගන්න. ඊට පස්සේ තිර පිරිසිදු කිරීමේ දියරවලින් ටිකක් ස්ප්‍රේ කරන්න. ඉන්පසු මෘදු රෙදි කැබැල්ලකින් සෑම දාරයක්ම ආවරණය පිසදා ගන්න. හැම විටම රෙදි කැබැල්ලේ එක් තැනකින්ම පිහදාන්න එපා. එතකොට මුලින් තිබුණු දූවිලිවලින් වෙනත් තැනක් සීරී යන්න පුළුවන්.

මේ ටික හරියට කර ගත්තොත් පරිගණකය අලුතින් ගත්තා වගේ පෙනුමක් වගේම වේගයත් ටිකක් වැඩි කරගන්න ඔබට හැකියාව ලැබේවි. මාසෙකට සැරයක් වත් ස්ක්‍රීන් එකත්, වැඩිය දූවිලි වදින්නේ නැති තැනක පරිගණකය තිබෙනවා නම් මාස දෙක තුනකට විතර සැරයක් පද්ධති ඒකකයත් මෙහෙම පිරිසිදු කරන්නට පුළුවන් නම් පරිගණකයේ දිගු කල් පැවැත්මට ඒක විශාල පිටිවහලක් වේවි.

[rns_reactions]