රටම සයිටම් ගැන කතා වෙද්දී මනුස්සකම දන්නා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් කල සමාජ සත්කාරය මෙන්න..

Spread the love

දුෂ්කර ප්‍රදේශයක, දුප්පත් පාසලක් තෝරා ගෙන එම පාසලට සිය වියදමින් හා ශ්‍රම දායකත්වයෙන් පරිගණක විද්‍යාගාරයක් ලබා දුන් කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් පිළිබදව වාර්තා වෙනවා.

මේ උතුම් සත් ක්‍රියාව සිදු කර තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ  Exploration Club සංගමයේ විසිනුයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය විසින් සංවිධානය කරනු ලබන “ශිල්ප යාත්‍රා” අධ්‍යාපනික සත්කාරක වැඩසටහන වසරක් පාසා ක්‍රියාත්මක වෙයි .

වසරක් පාසා සිය උතුම් අරමුණ වෙනුවෙන් එක් වෙන සිසුන් ඈත දුෂ්කර පාසලක් තෝරාගෙන එයට අවශ්‍ය අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාග කරයි.

මෙවර මේ සිසුන්ගේ නවාතැන වී තිබුනේ මහියංගණ මැදයාය නම් වූ අති දුෂ්කර පාසලයි.

කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යාපන ආයතනයේ ආචාර්ය හර්ෂ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු ශිෂ්‍ය ප්‍රජාවගේ අතිමහත් කැපවීමෙන් යථාර්තයක් බවට පත් වන මැදයාය පාසලේ පරිගණක විද්‍යාගාරය සැදීම සදහා සිසුන් අරමුදල් සොයාගෙන තිබුනේ නින්නාද” නමින් පැවැත්වූ සංගීත ප්‍රසංගයකිනි.

සිසුන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ මැදයාය විදුහ‍ලේ පරිගණක විද්‍යාගාරය ඉකුත් දිනෙක විවෘත විය. මේ පිළිබදව අදහස් දැක්වූ කොළඹ සරසවියේ පරිගණක අධ්‍යනායතනයේ Exploration Club සංගමයේ සභාපති සහිරු සසංක මාධ්‍යයට පැවසුවේ “අපි මෙතැනින් නතර වන්නේ නැහැ. අපේ ඉගෙනීමේ කටයුතු අතරතුරදී ලබන අවුරුද්දේත් මෙවැනි දුෂ්කර පාසලක් සොයාගෙන යනවා. අපේ මහන්සියෙන් ශ්‍රමයෙන් එකමුතුවෙන් තවත් මෙවැනිම විද්‍යාගාරයක් ගොඩනංවා තවත් අති දුෂ්කර විදුහලකට භාර දෙනවා ” ලෙසය.