තම විධායක බලය යොදාගනිමින් නීතිය හා සාමය අමාත්‍යංශය ළගදීම ජනපති යටතට….

Spread the love

ගිංතොට සිදුවීම හා ඒ සම්බන්ධයෙන් රජයට එල්ල වූ චෝදනාවලට වගකිව යුත්තේ නීතිය හා සාමය අමාත්‍යංශය බව වාර්තාවක් ලබා දෙමින් ශ්‍රීලනිප අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ දිගින් දිගටම සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා සහ ජාතිවාදී ස්වාභාවයේ සිදුවීම් යම් දේශපාලනික මැදිහත්වීමක් සහිතව සිදුවන බවට තමන් ඇතුලු කණ්ඩායමේ මතය වූ බවත් එහිදී නීතිය හා සාමය අමාත්‍යංශයට දැඩි වගකීමක් දැරීමට සිදුවුවද ඔවුන් එය පැහැරහැර ඇති බවත් ඒ අනුව තම කණ්ඩායම විසින් වාර්තාවක් පිළියෙල කරමින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

එහිදී ඉදිරි මැතිවරණ කාල සීමාවද සළකා බලා සිදුවිය හැකි සිදුවීම් අවම කර ගැනීම වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයා වෙත පවරා ගන්නා ලෙස ඔවුන් යෝජනා කර තිබෙනවා. මෙවැනි යෝජනාවක් මීට පෙරද ඉදිරිපත් වූ අතර එම අවස්ථාවේදී එය වළක්වා ගැනීමට එජාපය ජනාධිපතිවරයාට මාධ්‍ය ඔස්සේ චෝදනා කරමින් කටයුතු කළ ආකාරයද එම වාර්තාවට ඇතුළත් කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කලේය.

මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා අමාත්‍යවරයා අතර ඇති විරසකය හේතුවෙන් පොලීසිය අමාත්‍යංශය සමග ඇති සම්බන්ධය බොහෝ සේ අඩුවී ඇති බවද එම වාර්තාව අවධාරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ගොඩ නැගූ ජාතික ආණ්ඩුවේ වැඩි බලයක් සහිත අමාත්‍යධූර එජාපයට හිමිව ඇති බවද පෙන්වා දී ඇති එම අමාත්‍යවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ වසර 2 1/2 කින් පසු එවැනි වටිනාකමක් ඇති අමාත්‍යංශ හුවමාරු කර ගත යුතු බව ගිවිසුමේද දක්වා ඇති බව සිහිපත් කරමිනි.

[rns_reactions]