තාජුදීන් ඝාතකයෝ සිරුරේ අස්ථි කොටස් අතුරුදහන් කරලා – ප්‍රභූ පුතෙක් කරලියට….

Spread the love

ආන්දෝලනාත්මක වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණය පිණිස වැදගත් අස්ථි කොටස් කිහිපයක් මළ සිරුරෙන් අතුරුදන්ව තිබුණු බව රජයේ නීතිවේදියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය.

ඝාතනයට අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා, සිය සේවාදායකයා වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින බවට චෝදනා කළේය.

එය අසාධාරණයක් බැවින් පරීක්ෂණ අවසන් වන දිනය රජය අධිකරණයට දැනුම්දිය යුතු යයි ද නීතිවේදියා පැවසීය.එම ප්‍රකාශයට විරෝධය පළ කළ රජයේ නීතිවේදියා කියා සිටියේ, වෙනත් අපරාධ නඩුවලට වඩා මෙය සංකීර්ණ පරීක්ෂණයක් බවය.තාජුදීන්ගේ මළ සිරුරේ තුවාල ලැබූ, පරීක්ෂණ සඳහා වැදගත් අස්ථි කොටස් කිහිපයක්ම අතුරුදන්ව තිබූ බව සිරුර ගොඩගෙන පරීක්ෂණ සිදු කළ අවස්ථාවේ හෙළි වූ බවත් රජයේ නීතිවේදියා පැවසීය.

මෙය සැකකටයුතු තත්වයක් බව පෙන්වාදුන් ඔහු, මෙය සාක්ෂි වසන් කළ නඩුවක් බැවින් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වෙන බව අධිකරණයට දැනුම් දුන්නේය. එබැවින් පරීක්ෂණ කටයුතු අවසාන කිරීම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය බව ද ඔහු පැවසීය.

මේ අතර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසිය, තාජුදීන් ඝාතනය සිදු වූ වකවානුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ පැවති දුරකථන අංක කිහිපයක් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 05 වෙනි දින ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළ අතර එතෙක් සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.