ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය මැයි අටවැනිදායින් පසුව සිදු වන දේශපාලන පෙරළියත් සමඟ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංගට හිමි වනු ඇතැයි වාර්තා වේ.
කෙසේනමුත් දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා ගැසට් කළ නව ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම නිලවරණ ජුනි පළමුවැනිදාට පෙර පැවැත්විය යුතුය.
එම ක්‍රීඩා රෙගුලාසි අනුව නිලධාරී මණ්ඩලයේ ධුරකාලය වසර දෙකේ සිට 4දක්වා වැඩි කර තිබේ. පසුගිය ජනවාරියේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමේදී ගත් තීරණ අනුව පැරණි ක්‍රීඩා නීතිය නොව අලුත් ක්‍රීඩා නීතිය පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත. එසේ අලුත් නීතිය පිළිගතහොත් ජුනි පළමුවැනිදාට පෙර නිලවරණය පැවැත්වීමේ අවශ්‍යතාවක් නැත. තවත් වසර දෙකක් තිලංග සුමතිපාල මහතා සහ විධායක කමිටුවට ස්වකීය ධුරවල කටයුතු කිරීමේ අවස්ථාව උදාවනු ඇත.
ඒ අනුව මැයි 20වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය කල්දැමීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. එසේ වුවහොත් නීති උපදෙස් මත ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කළ යුතු බවට ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයට යෝජනා කර තිබේ. එසේ පත්කෙරන අතුරු කමිටුවේ සභාපති ධුරය භාර ගන්නැයි අමාත්‍ය අර්ජුන රණතුංගට ආරාධනා කර තිබේ.
මේ ආරාධනාව සිදු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉහළම දේශපාලන නායකයා හරහා හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් විසිනි. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග සහ එම ඉහළ දේශපාලනඥ නායකයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බවද වාර්තාවේ. විශේෂයෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දරන තිලංග සුමතිපාල මහතා පසුගියදා විශ්වාස භංගයට පක්ෂව කටයුතු කිරීමත් සමඟ ඔහු දේශපාලනික වශයෙන් හුදකලා වෙමින් සිටීමත් ඔහුගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි පසුබෑමත් හේතුවෙන් ඔහුට තවදුරටත් ක්‍රිකට් සභාපති ධුරය දැරීමට අවස්ථාව ලබා නොදීමට රජයේ ඉහළම දේශපාලනඥයින් දෙදෙනා තීන්දු කර තිබේ. නිලවරණයක් කැදවුවහොත් එක්සත්ජාතික පක්ෂයේ පූර්ණ සහාය අමාත්‍ය අර්ජුන රණතුංගට ලබා දීමට තීරණය කර ඇත.

