රවීගේ සම්මානීය මොළයෙන් තවත් බද්දක්!

Spread the love

“රවී නම් බදු, බදු නම් රවී; අපේ පොකට්ටුවට බඩුම හරී…” මේ අද වන විට රටේ පොදු මහජනතාවගෙන් බහුතරයක් වත්මන් යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයා රවී ගැන කියන කතාවක සරල විග්‍රහයකි.

මේ අනාවරණය අපේ රටේ සම්මානීය උගත් මුදල් අමාත්‍යවරයා, අපි සේවකයින් ලෙස වැඩ කොට වඟුරන දහඩිය මහන්සියේ ඉතුරුම් එකතුවෙන් අපිට හොරා හොරකම් කරන්න ගහන්න යන අලුත්ම බද්දක් ගැනයි.

සේවක අර්ථසාධක අරමුදලින් (EPF) ආයෝජනය කරන මුදල හරහා ලැබෙන ආදායමට සියයට 14ක නව බද්දක් පනවා ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ හෙළි කරයි.

එම අරමුදලෙන් ආයෝජනය කරන මුදල් හරහා ලැබෙන ආදායමට දැනටමත් සියයට 10ක බදු මුදලක් නාමිකව පනවා ඇතත් එය මෙතෙක් අය නොකළ බවත් මේ සියයට 14 නව බද්දට එම සියයට 10ද එක් කළහොත් සියයට 24 තෙක් බද්ද ඉහළ යනු ඇති බවත් සමරසිංහ මහතා පෙන්වා දෙයි. කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව හරහා රුපියල් කෝටි 1,500ක් පාඩු කිරීමට අමතරව මේ සියයට 14ක නව බද්දක් පැනවීම මඟින් සේවක අර්ථසාධක අරමුදල් හිමියන්ට සියයට 50ක ප්‍රතිලාභයක් අහිමි වන බව සමරසිංහ මහතා කියයි. ඒ මහතා පවසන පරිදි පසුගිය අප්‍රේල් 1දා සිට මේ බද්ද ක්‍රියාත්මක වෙමින් පවතී.

සේවක අර්ථ සාධක අරමුදල හරහා මහ බැංකුවට වාර්ෂිකව ලැබෙන බදු ආදායම රුපියල් කෝටි 13,000ක් බවත් අදාළ බද්ද පැනවීම මඟින් එම ආදායම තවත් රුපියල් කෝටි 2,000කින් පමණ වැඩි වන බවත් ඔහු පැවැසීය.

හෙතෙම අවධාරණය කෙළේ මේ අත්තනෝමතික බදු පැනවීමට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමට තම වෘත්තීය සමිති සූදානම් වන බවයි. රටේ සේවක අර්ථසාධක අරමුදලට හිමිකම් කියන 24,70,000ක් වූ සේවක සාමාජිකයන්ට මෙමඟින් සිදුවන මහා අසාධාරණයට කිසිසේත් ඉඩ නොදෙන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

[rns_reactions]