එකම අවුරුද්දේ එකම මාසයේ, එකම දවසේ නිවුන්නු ලෙස ඔවුන් ඉපදුණත් සෝමසිරි පෙරේරා ප්‍රේමසිරි පෙරේරාට වඩා විනාඩි පහක් ඉස්සරවී ලෝකය බැලුවේය. අයියා විනාඩි පහකට කලින් උපන්නා කියා විනාඩි පහක් පමාවී උපන් මල්ලි ඒ පමාව ජීවිතයට පමාවක් කර ගත්තේ නැත.
එකට ඉස්කෝලේ ගොස් පසුව ඉස්කෝල දෙකකට ගියත් එකට උසස් පෙළ සමත් වී වෘත්තීන් දෙකක් තෝරා ගත්තත් අවසානයේ දෙදෙනාගේම වෘත්තිය එකක් වුණේය. තනතුරුද එකක් වුණේය.
සෝමසිරි අයියා 88දී පොලිසියට ගොස් අවුරුදු විස්සකට පසු ප්‍රධාන පොලිස් පරීක්ෂකකම ලබද්දී ප්‍රේමසිරි මල්ලී 90 වසරේ පොලිස් සේවයට එක්ව වසර දොළහකට පසු ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට පත් විය. අද ඔවුන්ගේ තත්ත්වය ද එකය. නිල ඇඳුමද එකය. ඒ සියල්ලටත් වඩා විශේෂත්වය වන්නේ ඔවුන්ගේ පෙනුමයි. නිවුන්නු වූ නිසාම එක සමාන හැඩරුවින් වූ ඔවුන් නොදන්නා අයට සේම එක්වරම දන්නා කෙනෙකුටත් හඳුනා ගන්නට අපහසුය. ඇතැම් විටෙක පොලිසියේ ඉහළ නිලයන්ටත් ඔවුන් දෙදෙනා හඳුනා ගන්නට අපහසු වන අවස්ථා බොහෝ විය.
“ඉස්සර පොඩි කාලේ අපේ අයටවත් නෑදෑයින්ටවත් යාළුවන්ටවත් එකපාරට අපි දෙන්නා අඳුරගන්න බැරි වුණා. ඒත් අම්මට නම් මොකක්දෝ හැකියාවක් තිබ්බා අපි දෙන්නා අඳුර ගන්න. අම්මා මට කිව්වේ කළු කියලා. මල්ලි සුදු. හැබැයි අපි දෙන්නා එහෙම කළු සුදු පාට දෙකකින් හිටියෙත් නෑ. රූපෙ වගේම පාටත් දෙන්නගෙම එක වගෙයි. ටිකක් ලොකු වෙනකොට නම් දන්නම අයට අඳුර ගන්න පුළුවන් පුංචි ලකුණු දෙකක් ආවා. මල්ලිට නළ දතකුත් මට පේර ගහකින් වැටිලා වම් කම්මුලේ පුංචි තුවාල කැළලකුත් තිබ්බ හින්දා”
නිවුන් සොහොයුරන්ගේ වැඩිමලා වූ සෝමසිරි පෙරේරා අවුරුදු පනස් එකකට එහා මතක පොතක් දිගහැරියේය.
ලංගම රියැදුරකු වූ ආර්.ඒ. ඩේවිඩ් පෙරේරාටත් ඩබ්ලිව්.ජී.ඒ. සෝමාවතීටත් දෙවැනි දරුවන් වූ සෝමසිරි හා ප්‍රේමසිරි ඉපදී හැදී වැඩුණේ මොනරාගලයි. ඔවුන්ගේ අයියා ප්‍රේමචන්ද්‍ර පෙරේරාය.
මොනරාගල රාජකීය කනිෂ්ඨ විද්‍යාලයෙන් 5 වසර ශිෂ්‍යත්වය සමත් වන සෝමසිරි මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ඇරඹීය. මොනරාගල රාජකීය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වන ප්‍රේමසිරි ද බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය.
“පොඩි කාලෙ නම් එක ඉස්කෝලෙ එක පන්තියේ හිටියේ. ගුරුවරුන්ට අඳුරගන්න හුඟක් වෙලාවට අමාරු වුණා. අපි දෙන්නා ඇන්දෙත් එක වගේ. සපත්තු සෙරෙප්පු දැම්මෙත් එක වගෙයි. ලෙඩ වෙනකොට දෙන්නම ලෙඩ වෙනවා. පුංචි කාලෙ අම්මා කියනවා ‘අපි දෙන්නා එකට හදන්න බෑ. හැදුවොත් අසනීප වෙලා හරි එක්කෙනෙක් නැති වෙනවා’ කියලා. අම්මා ඔහොම කිය කිය ඉන්න කොට තමයි මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා කිංස්වුඩ් විද්‍යාලෙට ගිහින් නේවාසික වුණේ. මුල් දවස්වලහරි අමාරුයි ඉන්න.
මල්ලි මතක් වෙනවා. නිවාඩු එනකල් මග බලාගෙන ඉන්නෙ. ඒ හින්දා ගෙදර යන්න.”
සෝමසිරි ඉගෙන ගන්නවාට අමතරව බොහෝ ක්‍රීඩා කළේය. ඒ අතර රගර්, හොකී මෙන්ම මලල ක්‍රීඩාද විය. රගර් වර්ණ, හොකි වර්ණ මෙන්ම පාසලේ හොකී තරුවද වී ඇත. එමෙන්ම වරක් පාසලේ දක්ෂතම ක්‍රීඩකයා වන්නේද ඔහුය. ශිෂ්‍ය භට කණ්ඩායමේ මෙන්ම විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු ලෙසත් කටයුතු කරමින් ඔහු ඉගෙනීම් කටයුතු කරද්දී ප්‍රේමසිරි සාමාන්‍ය පෙළ විභාගය සමත්ව බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ඉගෙනුමට ගියේය. ඔහුද පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණේය.
“මම අයියාගේ ඉස්කෝලෙට ගියොත් හරි අයියා මගේ ඉස්කෝලෙට ආවොත් හරි අපි දෙන්නගෙම යාළුවෝ රැවටුණා අපි දෙන්නා අඳුරගන්න බැරුව. උසස් පෙළ විභාගෙන් අපි දෙන්නටම විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදි වෙනවා. දෙන්නම උප පොලිස් පරීක්ෂක තනතුරට ඉල්ලනවා. ඔය 1986 දී. ඒත් ගමේ මනුස්සයෙක් ඉරිසියාවට බොරු කියලා පෙත්සමක් ගහලා අපි දෙන්නා පොලිසියට යන එක නැවැත්තුවා. අවුරුදු දෙකකට විතර පස්සේ අපි දෙන්නටම ඒ පත්වීම් ආවත් ඒ කාලෙ දේශපාලන අධිකාරියෙන් එක පවුලේ දෙන්නෙකුට උප පොලිස් පරීක්ෂක පත්වීම් දෙන්න කැමැති වුණේ නෑ. ඒ හින්දා ඒ අවස්ථාව අයියට දුන්නා. ඒ වෙනකොට මං බදුල්ල තාක්ෂණික ආයතනයේ සැලසුම් ශිල්පී පාඨමාලාවක් හදාරමින් හිටියේ”
88 වසරේ සෝමසිරි පෙරේරා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණ අතර සැලසුම් ශිල්පී පාඨමාලාව අවසානයේ ප්‍රේමසිරි පෙරේරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පී තනතුරක් ලැබුවේය. ඒ වන විට ඔවුන්ගේ ලොකුම අයියා ප්‍රේමචන්ද්‍ර ද යුද හමුදාවේ සේවය කරමින් සිටියේය.
“අයියා එතකොට කොළඹ වරාය, ග්‍රෑන්ඩ්පාස් වැඩ කරලා කිලිනොච්චියේ හිටියේ. ඒ කාලේ මගේ පරිපාලන නිලධාරි මට හැම වෙලේම කියපු කතාවක් තමයි මේ රස්සාව ගැළපෙන්නෙ නෑ. අයියලා වගේ හමුදාවට හරි පොලිසියට හරි යන්න කියන එක. 1990 අවුරුද්දේ මමත් රැකියාවෙන් ඉවත් වෙලා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙනවා උප සේවා උප පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට”
ඔහු පුහුණුවෙන් පසු බදුල්ල පොලිසියෙන් රාජකාරි අරඹද්දී කිලිනොච්චියේ සිටි සෝමසිරි පෙරේරා කොළඹට පැමිණ බොරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කළේය. අනතුරුව පොලිස් විද්‍යාලය කළුතර, පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය, කොළඹ පොලිස් මූලස්ථානය, අපරාධ කොට්ඨාසය වැනි තැන්හි සේවය කළ සෝමසිරි 94 වසරේ පොලිස්පති රථවාහන පාඨමාලාව හැදෑරීය. ඉන්පසුව කඩවත රථවාහන ස්ථානාධිපති ලෙස පත්වූ ඔහු මාස කිහිපයකට පසු 94 සැප්තැම්බර් මාසයේදී පෑලියගොඩ පොලිසියේ රථවාහන අංශයට පත් වුණේය. ඒ අතරේ 96දී පොලිස් පරීක්ෂක තනතුරට උසස් වන ඔහු 97 පෙබරවාරි මාසයේ පෑලියගොඩ රථවාහන ස්ථානාධිපති තනතුරට පත් විය.
“ඔය කාලෙ වෙනකොට මාව පොලිසිවල අය දන්නවා අඳුරනවා. මල්ලි වැඩිපුර කොළඹ රාජකාරි නොකළ නිසා මල්ලිව නමින්වත් රූපෙන්වත් කට්ටිය දැන හිටියේ නෑ. ඒත් අපේ බැඳීම් නම් පුංචි කාලෙ වගේම තිබ්බා. ලෙඩ අසනීප වෙනකොට ලෙඩ වෙන ඒවා එහෙම අඩු නැතුවම තිබ්බා.
මල්ලි මොනරාගල එච්.කිව්.අයි. කාලේ දවසක් පාන්දර හතරට විතර නින්දේ හිටපු මං ඇහැරුණා. එකපාරටම තුනටිය රිදෙන්න අරන් මොන විදිහකටවත් ඇඳේ ඉන්න බෑ. මෙට්ටේ බිමට දාලා නිදාගන්න හැදුවා. ඒත් බෑ. තුනටිය කැක්කුමයි. ඒ වෙලාවෙ මගේ ෆෝන් එක රින් වුණා. කතා කළේ තණමල්විල පොලිසියෙන්. මල්ලි ඇක්සිඩන්ට් වෙලා. තුවාල මොකුත් පේන්න නෑ. ගොඩක් අමාරුයි. හම්බන්තොට ඉස්පිරිතාලෙට ගෙනියන ගමන් කිව්වා. ඒ තොරතුරු ඇහුවට පස්සේ මගේ ඇඟට දැනුණ අමාරුව නැතිව ගියා.”
ඒ සෝමසිරි පෙරේරාගේ හා ප්‍රේමසිරි පෙරේරාගේ ජීවිතවල ඇස් මායිමට නොපෙනෙන බැඳීමක තොරතුරුය.
බදුල්ලෙන් රාජකාරි ඇරඹූ ප්‍රේමසිරි පෙරේරා 98 වසරේ පොලිස් පරීක්ෂක තනතුරට ද 2002 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරටද උසස් වූ අතර ඇල්ල ස්ථානාධිපති විවිධ පැමිණිලි, මොනරාගල වැඩබලන මූලස්ථාන ස්ථානාධිපති, වැල්ලවාය ස්ථානාධිපති පාලන, අම්පාර ස්ථානාධිපති විවිධ පැමිණිලි, තණමල්විල ස්ථානාධිපති නොවිසඳූ අපරාධ, සියඹලාණ්ඩුව ස්ථානාධිපති, මඩකලපුව කොට්ඨාස රථවාහන ස්ථානාධිපති, එරාවූර් ස්ථානාධිපති රථවාහන, වාලච්ච්ෙන වැඩබලන ස්ථානාධිපති, කල්කුඩා වැඩබලන ස්ථානාධිපති ලෙසින් පොලිස් ස්ථානවල රාජකාරි කර බණ්ඩාරවෙල පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ලෙස පත් විය.
සෝමසිරි පෙරේරා 2002 මාස 6කට යාපනේ පොලිසියට පත් වූ අතර නැවත පෑලියගොඩ රථවාහන අංශ ස්ථානාධිපති ලෙස පත් විය. 2006 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වූ අතර 2010 වසරේ පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස පත් විය. 2011 වසරේ අප්‍රේල් මාසයේ දේශපාලන හේතූන් මත පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර නැවත සේවයේ අවශ්‍යතාව මත 2013 ජනවාරියේ පෑලියගොඩ දිසා රථවාහන ස්ථානාධිපති ලෙස පත් විය. සේවයේ අවශ්‍යතාව මත වසර 21ක් එකම පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටින සෝමසිරි පෙරේරාව නොදන්නා කෙනෙක් නැති තරම්ය.
ඒ අතරේ වරක් ආසන පටි වෙළෙඳ දැන්වීමකට පෙනී සිටීම නිසාත් රථවාහන පොලිසිය සම්බන්ධව රූපවාහිනී වැඩසටහන්වලට සහභාගිවීම නිසාත් පාරවල් ඉදිවෙන අවස්ථාවල පවත්වන ඇතැම් සම්මන්ත්‍රණ නිසාත් සී.අයි. පෙරේරා ජනප්‍රිය චරිතයක් වුණේය. උදේටත් දවල්ටත් හවසටත් රථවාහන හසුරවමින් පාරේ කොතැනක හෝ සිටින සී.අයි. පෙරේරාට ඔහු වැනිම තවත් සහෝදරයෙක් පොලිස් සේවයේ සිටින බව බොහෝ දෙනෙක් නොදනිති. එයින් වැඩිපුරම අමාරුවේ වැටෙන්නේ ප්‍රේමසිරි පෙරේරා ඕඅයිසී මහත්තයාය.
“මම කියලා අයියට රැවටෙන අයත් ඉන්නවා. ඒත් වැඩිපුර ඉන්නේ අයියා කියලා මට රැවටෙන අය. මම වාලච්ච්ෙන හිටපු කාලේ ඒ.එස්.පී. සම්මුඛ පරීක්ෂණයට ගියාම හිටපු පොලිස්පති ඉලංගකෝන් මහත්තයත් එහි හිටියා. “කවද්ද පෑලියගොඩින් ගියේ” කියලා මාව දැක්කම ඇහුවා. මම කිව්වා “නෑ සර් ඒ මගේ අයියා” කියලා. “දෙන්නම එක වගේනෙ” කියලා පොලිස්පතිතුමා හිනාවුණා.
නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහත්තයා පෑලියගොඩ කාලයක් ඉඳලා තියෙනවා. බදුල්ල නියෝජ්‍ය පොලිස්පති වෙලා ආවාම තිබ්බ කොන්ෆරන්ස් එකක් අවසානේ ඇහුවා මාත් එක්ක වැඩ කරපු කට්ටිය ඉන්නවද කියලා. මම නැගිට්ටේ නෑ, මම වැඩ කරලා තිබ්බේ නැති නිසා. එස්.පී.ලාට, ඒ.එස්.පී.ලාට, එච්.කිව්.අයි.ලට කතා කරලා කොට්ඨාස අපරාධ ඕ.අයි.සී. ලාට කතා කරන අවස්ථාව ආවා. මමයි බදුල්ලයි නැගිට්ටා. කොහේදීද මාත් එක්ක වැඩ කළේ කියලා මගෙන් ඇහුවා. මට තේරුණා මාව දන්නෙ නැතිව කියලා. මම කිව්වා සර්, ඒ අයියා, පෑලියගොඩ කියලා. ඒ වතාවේ ඩී.අයි.ජී. මහත්තයා කිව්වා ‘ඒත් මං බලන් හිටියා මේ මනුස්සයා මාත් එක්ක තරහ වෙලාද, නැත්නම් ලෙඩක් අසනීපයක්ද කියලා…
ඩී.අයි.ජී. ප්‍රියන්ත ජයකොඩි සර්රුත් කොට්ඨාස අපරාධ විමර්ශන ඕ.අයි.සී.ලගේ රැස්වීමකදී “නේද පෙරේරා, අපි පෑලියගොඩ පොලිසියේ වැඩ කරද්දී’ කියලා පරණ කතාවක් මතක් කළා. ඒත් ඉතින් මං කිව්වා ‘ඒ මං නෙවේ සර්, මගේ අයියා කියලා.”
මම මඩකලපුව කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපති හිටපු කාලේ රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න සර්ගේ රැස්වීමකට ගියා අපි දෙන්නම. අයියා ආවේ බස්නාහිර පළාත උතුර දිසා රථ වාහන ස්ථානාධිපති විදිහට. නියෝජ්‍ය පොලිස්පතිතුමා කාලයක් මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි විදිහට හිටියා.
අපි දෙන්නගෙන් ඇහුවා ‘මගේ ළඟ හිටපු කෙනා කවුද?’ කියලා’
ඔය වගේ හුඟක් සිද්ධිවලට මුහුණ දීලා තියෙනවා. ඩී.අයි.ජී. අජිත් රෝහණ සර්රුත් දවසක් රැවටුණා කටානේ පුහුණුවකදී මට අයියා කියලා.
පොලිසියෙන් විතරක් නෙවේ, අයියාගේ යාළුවෝ, බස්වල යද්දී රියැදුරන්, කොන්දොස්තරවරුන් වගේම ගෑනු ළමයිනුත් අයියා කියලා හිතලා රැවටිලා මට කතා කරනවා.
ඉපදුණේ මුලින් වුණත් රැකියාව ලැබුණේ මුලින් වුවත් විවාහයේදී ප්‍රේමසිරි මල්ලි ඉස්සර වුණේය. ඒ නිසා දෙවැනි මනමාලයාට ඉන්නට වූයේ අයියාටයි. එන්.ඩබ්ලිව්.එස්. ධම්මිකා සමග විවාහ වී සිටින ප්‍රේමසිරිට පුතුන් තිදෙනෙකි. ඒ, දේලික චිනෙත්, උදිත රසාංග සහ මලිඳු තාරකයි. සෝමසිරි පෙරේරා විවාහ වී සිටින්නේ ආශා චාමරිකා ජයතුංග සමගයි. ඔහුගේ පුතා චාමරය. දියණිය ඉමාෂාය.
අද බණ්ඩාරවෙල පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා වන ප්‍රේමසිරි මොනරාගල පදිංචිව සිටින අතර බස්නාහිර පළාත උතුර රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වන සෝමසිරි පෙරේරා සපුගස්කන්දේ පදිංචිව සිටියි.
[rns_reactions]