අපේ මහේල ඇයි අපිට මෙහෙම කළේ..?

අපේ මහේල ඇයි අපිට මෙහෙම කළේ..?
Spread the love

මෑත කාලයේ ක්‍රිකට් ලෝලීන් සහ ක්‍රිකට් ලෝලීන් නොවන සෑම සියලු දෙනා අතර ජනප්‍රිය, ආදරණීය චරිත දෙකක් සටහන් වන්නේ නම් ඒ අපේ සංගා සහ මහේලයි. ඒ ඔවුන් ඒ තරමට ශ්‍රී ලාංකික හදවත්වලට ක්‍රිකට් වලින් එහා ගොස් විවිධ මාධ්‍ය ඔස්සේ සමීප වීම නිසාය. 90 දශකයෙන් පසු මෙරට ක්‍රිකට් ලෝකයේ වඩාත් හදවත් ඇඳ බැඳගත් ක්‍රීඩකයින් යුගල වූයේ සංගා සහ මහේල බව අවිවාදිතය. ඔවුන් අප රටේ නම ජාත්‍යන්තරයට ගෙන යමින් දශකයට ආසන්න කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කරමින් තම දස්කම් ඉදිරිපත් කළෝය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසින් ලිහිල් කරන ලද නීති රීතිවල ඉඩ හසර ලබමින් ඔවුන් ක්‍රීඩා කරන කාල සීමාවේ සිටම දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයකට පවා පෙනී සිටියහ. මෙතෙක් මෙරට ඉතිහාසයේ බිහි වූ ක්‍රීඩකයින්ගෙන් වැඩිම ආදායම් උපයන ලද ක්‍රීඩකයින් වෙත්නම් ඒ සංගා සහ මහේල බව නොරහසකි. ඒ සම්බන්ධයෙන් කිසිඳු කුහක බවකින් තොරව සතුටු වන්නේ ජනතා බදු මුදල් හොරා කමින් ප්‍රකෝටිපතියන් වන දේශපාලුවන් සිටින රටක ඔවුන් සැබෑ වීරයින් ලෙස මේ රටට කීර්තියක් ගෙන දෙමින් සිය ආදායම් උපයන බැවිනි. ක්‍රීඩා පිටියෙන් සමුගත්තද ඔවුන් අදටත් ක්‍රිකට් ලෝලීන්ට මෙන්ම රටේ ජනතාව අතරද ගෞරවනීය චරිතය. එම ගෞරවය සහ ආදරය රැක ගැනීමත් තමන්ට නැගීසිටීමට ශක්තියක් වෙමින් දිරියක් දුන් රටට සහ රටේ ජනතාව වෙනුවෙන් යම් මොහොතක අවැසි යම් උපකාරයක් වෙත්නම් එය ඉටු කිරීමද ඔවුන්ගේ යුතුකමක් සහ වගකීමකි.

සංගා සහ මහේල අතර ඇති පැහැදිලි වෙනස

මහේල නිරන්තයෙන් තම සමාජ ජාල මාධ්‍ය ගිණුම් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කරයි. මේ නිසාම ඔහුට 2017 සිට අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය උපදේශනය ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනා කොට තිබිණ. එහෙත් ඒවා මඟ හැර ප්‍රතික්ෂේප කරමින් ඔහු දිගින් දිගටම සිදුකළේ ලෝක කුසලානයක් හෝ ශුරතා තරඟාවලියක් ආසන්නයේදී හෝ අතරතුර එම කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රීඩකයින් විවේනය කරමින් කණ්ඩායමේ එකමුතුවත්, ක්‍රීඩකයින්ගේ මානසිකත්වයත් බිඳහෙලීම පමණි. මෙය අහඹු හෝ ඔහු නොදැනුවත්ව සිදුකරන ක්‍රියාවක් නොවන්නේ ඔහු වෙනත් රටවල කණ්ඩායම්වලට උපදේශනය ලබාදෙමින් මෙය සිදුකරන නිසාවෙනි.

මේ වන විට මහේල ව්‍යාපාරිකයෙකු ලෙස ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කරයි. කොන්ත්‍රාත් පදනමේ පුහුණුකරුවකු ලෙසත්, ක්‍රිකට් විචාරකයෙකු ලෙසත් ඒ අතරින් ප්‍රධානය. වසරේ පැවත්වෙන IPL, BPL, CPL තරඟ හරහා ඒවායේ කොන්ත්‍රාත්කරුවන් සහ විචාරකයින්ට මිලියන ගණනින් ලැබෙන ඩොලර් ප්‍රමාණය මෙරටට සාපේක්ෂව ගණන් හැදිය නොහැක. මෙරට පුහුණුකරුවකුට පවා මසකට ගෙවෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් මිලියන 2 ත් 3 ත් අතර ප්‍රමාණයකි. එය ඩොලර් වලින් ගතහොත් මසකට ඩොලර් 15,000කටත් වඩා අඩු ප්‍රමාණයකි. එය වසරකට ඩොලර් 175,000 ටත් වඩා අඩු ප්‍රමාණයකි. එහෙත් IPL පුහුණුකරුවකු ලෙස ඉපයිය හැකි මුදල ඩොලර් මිලියන දෙකකට වැඩි වන්නේය. එය රුපියල්වලින් ගතහොත් තිස් හය කෝටියකට (360,000,000.00) අධික වනවා මිස අඩු වන්නේ නැත. විටෙක මේ වෙනසට හේතුවද මෙය විය හැක.

එහෙත් අදටත් ක්‍රීඩාලෝලීන් පණ මෙන් ආදරය කරන අපේ සංගා කිසිදින මෙසේ සිදුකර නැත. ඔහු නිරන්තරයෙන් සිදුකරන්නේ අප කණ්ඩායමට දිරි දීමයි. වචනයකින් හෝ ශක්තිය ලබාදීමයි. මාතෲ භුමියට, තම කණ්ඩායමට ආදරයක් ඇති නායකයෙකුගේ පූර්වාදර්ශය එයයි.

ගුණමකු කම සහ කුහක කම එකට එක්වූ විට

එය එසේ වුවද, පසුගිය දිනෙක හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිදුකර තිබුණේ තම ගෞරවයට සහ කිර්තීනාමය නොගැලපෙන ගුණමකු ක්‍රියාවකි. අප ඔහුට කෙතරම් ආදරය කළද මෙය සඳහන් කිරීමට වන්නේ දැඩි කනස්සල්ලකිනි. මෙවර 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් මහේලට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය මාර්ගෝපදේශය ලබාදීම සඳහා වන වැඩසටහනකට නිලවශයෙන් ආරාධනා කොට තිබුණි. එහෙත් කණගාටුදායකම කරුණ නම් මහේල එම ඉල්ලීම එසැනින් ප්‍රතික්ෂේප කොට සිය නිල ටුවිටර් ගිණුම හරහාම දක්වා තිබුණු අසංවේදී, අකෘතඥ ප්‍රතිචාරයයි. ඔහු අද මෙතරම් ජනප්‍රිය වූයේත්, එතරම් ආදායම් ඉපයූයේත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සහ මෙරට ක්‍රීඩා ලෝලීන්ට පිං සිදුවන්නට බව අද ඔහුට අමතකව ඇත. තමා උපන් රටේ, තමා ගොඩනැගුණු රටේ, තම රට වෙනුවෙන්, තම කණ්ඩායම වෙනුවෙන් ඉතා සුළු උපකාරයක් ඉල්ලූ අවස්ථාවක මහේල හැසිරුණේ මෙලෙස නම් ඔහු කෙළෙහි ගුණයක් නැති ගුණ මකුවකු බව අප අමුතුවෙන් කිව යුතු නොවේ.

රටට වඩා ඉහ වහා ගිය මුදල්

මහේල විසින් කිසිඳු අණක් ගුණක් නොමැතිව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තදා සන්න හේතුව වී ඇත්තේ ඔහු ඩොලර් මිලියන ගණන් වලට ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම්වල පුහුණු කරුවකු ලෙස කොන්ත්‍රාත් කරන නිසාවෙන් බව අනාවරණය වන කරුණු අනුව සිතිය හැක. එම නිසා රටට අවැසි මොහොතක සුළු උදව්වක්, උපකාරයක් වත් කිරීමට මහේල මුදල් නොමැතිව ඉදිරිපත්වීමට සූදානම් නොමැති බව මහේල ක්‍රිකට් ආයතනය සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම තුලින්ම පැහැදිලිය. සැබැවින්ම මහේලට තම රටත්, තමා ජනප්‍රියත්වයට ඔසවා තැබූ කණ්ඩායම සහ රටවැසියන්වත් අමතක වීම ඛේදනීයය. කෙසේ වෙතත් මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය මාර්ගෝපදේශය ලබාදීමට සුදානම් නොමැති බව සඳහන් කරමින් දමා තිබූ ටිවුටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් ඔහුගේම සඟයා වූ සංගා සඳහන් කර තිබූණේ “මහේල ගත් තීරණය වැරදි බවත්, එය තමා අනුමත නොකරන බවත්, රට සහ ලෝක කුසලානයට තරඟ වදින කණ්ඩායම වෙනුවෙන් මේ මොහොතේ තම සහය ලබාදිය යුතුව තිබූ බවයි”. එහෙත් සල්ලි මත නහින ගුණ මකු මහේලට ඒ ගැන වගේ වගක් තිබූ බවක් පෙනෙන්නට නොතිබිණ.

මහේලගේ රට පටලවන කණ්ඩායම කොටවන කතා

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග ඇතුලත් නොවන බවට රාවයක් ගිය අතර එම ගින්නට පිදුරු දමමින් මහේල පවසා තිබුණේ මාලිංග නොමැති නම් මෙවර ලෝක කුසලාන කණ්ඩායම ගැන කිසිඳු ජයග්‍රාහී බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවත් ඔහු අනිවාර්යෙන්ම කණ්ඩායමට ඇතුලත් විය යුතු බවත්ය.

එහෙත් ඉන්දීය ප්‍රිමියර්ලීග් කොන්ත්‍රාත්තු කරන මහේල “බොම්බේ ඉන්දියන්” කණ්ඩායමේ පුහුණු කරු ලෙස සිටිමින් එම කණ්ඩායමෙන් ලසිත් මාලිංගගේ නම් කපා කණ්ඩායමෙන් ඉවත් කර දැමුයේ අන් කිසිවෙකුත් නොව මෙම දෙපිට කාට්ටු කතා කියන මහේලමය. මෙයින් අදවන විට ඩොලර් කාක්කෙකු වී සිටින අයෙකුගේ ක්‍රියා කලාපය පැහැදිලිය.

මහේලට දැන් ඇත්තේ, රට ගැන හෝ කණ්ඩායම ගැන හෝ ක්‍රිකට් ගැන ප්‍රශ්නයක් නොව, තම ජනප්‍රියතාවය සහ වෙළෙඳ පොල සම්බන්ධ ප්‍රශ්නයකි. මහේලට අවශ්‍ය අප රටේ වෙන ක්‍රීඩකයෙකුට නොදැවිනිව තව කොපමණ කල් තම චරිතය වෙළෙඳ දැන්වීම් වලට, ක්‍රීඩා විචාර සේවයන්ට සහ විවිධ කොන්ත්‍රාත් වැඩසටහන් වෙනුවෙන් තම චරිතය ඩොලර්වලට අලෙවි කරගත හැකිද යන අභියෝගයයි. එය එසේ වීමට නම් තම ක්‍රීඩකයෙකු දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයට පත්වීමට ඇති ඉඩ කඩ ඇහිරිය යුතුය. මහේල ව්‍යාජ ආදරයක් දක්වමින් අද සිදුවන්නේ එයද යන්න ඔහුගේ මෙම පහත් ක්‍රියාකලාපයන්ගෙන් ප්‍රකට වෙමින් තිබේ.

එසේම අවසාන වශයෙන් කිව යුතු දෙයනම් ඔහු සමඟ එකට සිටි සංගා නොහොත් අපේ ආදරණීය කුමාර් සංගග්කාර නම් අදත් එසේ නොවේ. ඔහු ලොව කොයිතරම් ජනප්‍රියත්වයට පත්ව මුදල් ඉපවුවද අදටත් මුදල්වලට වසා හදවතින්ම අප කණ්ඩායමටත් රටටත් ආදරය බව ඔහු විසින්ම බොහොම නිහතමානීව පෙන්වා ඇති නිසාවෙනි.