රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී හමුවූ බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය සක්‍රීය ව භාවිතා කර ඇති බව රජයේ රස පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශ කළේය.
අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාල ගිනි අවිය භාවිත කර යම් අපරාධයක් සිදුකර ඇත්තේa ද යන්න විමර්ශනයක් කරන බවයි.
ඔහු අද දහවල් 12ට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන ගියේය.
ඒ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය සහ ජීව උණ්ඩ 118ට අදාල නීති කෘත්‍යය අද යළි කැදවූ අවස්ථාවට ඉදිරිපත් කිරීම සදහායි.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.
එමෙන්ම මන්ත්‍රීවරයාගේ ගිනි අවිය සහ ජීව උණ්ඩ 118 සම්බන්ධ රස පරික්ෂක වාර්තාව කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබී ඇති බව එහි නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා.
කොළඹ අපරාධ කොට්ඨාශය පැවසුවේ, රස පරීක්ෂක වාර්තාවට අනුව, ගිනි අවිය සක්‍රීයව භාවිතා කර ඇති බවටත් ඉන් වෙඩි බෙහෙත් සුවඳ වහනය වූ බවටත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් බවයි.
ඒ අනුව අදාල ගිනි අවිය භාවිත කර යම් අපරාධයක් සිදුකර ඇත්තේ ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව එම නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේය.
ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා කැඳවා ඇති නිසා ගිනි අවිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලෙසයි.
විත්තියේ නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා, කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ තිබෙන සිය සේවා දායකයාගේ නිල ජංගම දුරකථනය සහ සිම් කාඩ් පත මුදා හැරීමට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පැවසුවේ සැකකරු දුරකථන සංවාද පටිගත කර ඇත්තේ මෙම දුරකථනය හරහා වන බැවින් විමර්ශන අවසන් වනතෙක් එය මුදාහැරීමට නොහැකි බවයි.
තම සේවාදායකයා මහජන නියෝජිතයෙකු වන බැවින් ඔහුගේ සියලු දුරකථන දත්තයන් සහ දුරකථන සම්බන්ධතා පොලිස් භාරයේ ඇති දුරකතනයේ අඩංගු සිම් කාඩ් පතෙහි අන්තර්ගත වන බැවින් එම සිම් කාඩ්පත් අංකය ට සමාන සිම් පතක් ගැනීමට අවසර දෙන ලෙස රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා යළි අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
ඒ පිළිබඳව නීතිපති උපදෙස් ගෙන අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නඩුව ලබන 12 වැනිදාට යළි කැදවීමට නියෝග කළේය.
අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර මන්ත්‍රීවරයාව අද දින පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සදහා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආ අතර එහිදී ඔහු කෝප් කමිටු රැස්වීමට ද සහභාගි විය.