අපේ මැතිව්ස් පරදමින් විලියම්ස් – ධවාන් හයිද්‍රාබාද් පිලට ජය ගෙනෙති..

Spread the love

අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 10 වැනි අදියරේ 21 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී පැවැති තරගයෙන් ලකුණු 15 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම  සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 176 ක් පමණි.

පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට ශ්‍රෙයාස් අයියර් සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය.

ඇන්ජලෝ මැතිව්ස් (31) සමග එක්ව 5 වැනි වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩැගීමට ශ්‍රෙයාස් අයියර් සමත් වුවද, දිල්ලි කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 23 කදී වාර්තා වූ මැතිව්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 14 ක් වන විට සෑම් බිලින්ස් ලකුණු 13 කට දැවී ගියද, එතැන් සිට දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සංජු සැම්සන් (42) සහ කරුන් නායර් (33) සමත් වූහ. පන්දු 33 කදී වාර්තා වූ සංජු සැම්සන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 23 කදී වාර්තා වූ කරුන් නායර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 191 ක් රැස්කළ අතර සිය පළමු අයි. පී. එල්. තරගයට සහභාගි වූ කේන් විලියම්සන් පන්දු 51 කදී ලකුණු 89 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක්ද සමගිනි.

ශිකර් ධවාන් (70) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 136 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ විලියම්සන් හයිද්‍රාබාද් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 50 කදී වාර්තා වූ ධවාන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ක්‍රිස් මොරිස් කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 4 ලකුණු 26 කට සීමා කරමිනි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 4 කට 191
(ශිකර් ධවාන් 70, කේන් විලියම්සන් 89, ක්‍රිස් මොරිස් 26/4)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 5 කට 176
(සංජු සැම්සන් 42, කරුන් නායර් 33, ශ්‍රෙයාස් අයියර් නොදැවී 50, ඇන්ජලෝ මැතිව්ස් 31, මොහොමඞ් සිරාජ් 39/2)

[rns_reactions]