
ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් -03 වන කොටස
ශිෂෙක් තම කෘතියේ දෙවන පරිච්ජේදය අරඹන්නේ ඉතාම සරල ප්‍රශ්නයක් විමසමිනි. “අපට මෙතරම් වෙහෙසක් දැනෙමින් තිබෙන්නේ ඇයි?”
අප මේ ගත කරන දීර්ඝ නිරෝධායන කාල පරිච්ජේදය තුළ සිරුරට ඔරොත්තු නොදෙන තරමට ඉතාම පීඩාකාරී කොන්දේසි යටතේ වැඩ කරන වෛද්‍යවරුන් ඇතුළු සහන සේවකයන්ගේ වෙහෙස අපට වටහාගත හැකිය. නමුත්, දැන් කිසිවක් නොකර නිවෙස්වලට වී සිටින්නට බල කෙරුණු බහුතරයක් වන අපද මෙතෙක් ගත කරමින් සිටියේ වෙහෙසට පත් ජීවිත නොවේද?
ශිෂෙක් වෙහෙස පිළිබඳ මෙම ප්රශ්නය මතු කරන්නේ එය දාර්ශනික කිරීම පිණිස නොවේ. මෑතකදී පැවති සම්මුඛ සාකච්ජා කිහිපයකදීම ඔහු නැවත නැවතත් අවධාරණය කළේ මේ කොරෝනා වසංගතය ඇසුරින් අපගේ පැවැත්ම පිළිබඳ කිසියම් ගැඹුරු ආධ්‍යාත්මික අවබෝධයක් ලැබීමට කෙරෙන යෝජනා තමන් පිළිකෙව් කරන බවයි.
සිදුව ඇත්තේ ඉමහත් ව්‍යසනයකි. මිනිසුන් දරුණු ලෙස පීඩා විඳිමින් සිටී. ඉදිරියේදී එන සමාජ ආර්ථික සහ දේශපාලනික අර්බුද තුළ අප මීටත් වඩා පීඩා විඳිනු ඇත. මෙහි ඇති ආධ්‍යාත්මික හෝ දාර්ශනික අටමගලයක් නැත. දැන් මහජන බුද්ධිමතුන් විසින් කළ යුතුව ඇත්තේ මේ මහා අර්බුදය වටහා ගැනීමේත් එයට මුහුණ දීමේත් මාර්ග සෙවීමට තම බුද්ධිමය ශ්‍රමය මුළුමනින්ම කැප කිරීමයි. අප ඒ වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කළ යුතුය.
ශිෂෙක්ගේ කෘතියද එවන් අවෙහෙසකර මහජන බුද්ධිමතෙකුගේ මැදිහත් වීමකි. ඔහු අපගේ ජීවිත අරක් ගත් නිමක් නැති වෙහෙස තේරුම් කරන්නේ වියුක්ත දාර්ශනික සංකල්පනා අතර සැරිසරමින් නොවේ. ඒ වෙනුවට දේශපාලන ආර්ථිකය නමැති විෂය ක්ෂේත්රයේ හැදෑරීම් ඇසුරු කරමින්ය. කොටින්ම, නව-ලිබරල්වාදය තුළ මිනිසුන්ගේ ශ්‍රමය සංවිධානය කෙරෙන ආකාරය පිළිබඳ විශ්ලේෂණයක් ඇසුරිනි. ඔහු ඒ සමගම සුඛනම්‍ය ලෙස එම තේරුම් කිරීම කොරෝනා යුගයේ සමාජ ජීවිතය සමග ගලපයි.
කොරෝනා වසංගතය සමයේ අපගේ දෛනික ජීවිතය තුළ අප සමග රැඳී සිටින, අපට අභිමුඛ වන චරිත දෙවර්ගයක් ඇත. එක් චරිත කාණ්ඩයක් වන්නේ වෙහෙසින් පරිපීඩිත වන තරමට අධික ලෙස වැඩ කරන වෛද්‍ය කාර්ය මණ්ඩල සහ රෝගීන් බලා කියා ගන්නන්ය. අනෙක් කාණ්ඩය වන්නේ ස්ව-කැමැත්තෙන් හෝ බලෙන් නිවෙස්වලට කොටු කරනු ලැබීම නිසා කරන්නට කිසිවක් නොමැති අයවළුන්ය.

දෙවන පරිච්ජේදය
අප මෙතරම් වෙහෙසට පත්ව සිටින්නේ ඇයි?
කොරෝනා වසංගතය සමයේ අපගේ දෛනික ජීවිතය තුළ අප සමග රැඳී සිටින, අපට අභිමුඛ වන චරිත දෙවර්ගයක් ඇත. එක් චරිත කාණ්ඩයක් වන්නේ වෙහෙසින් පරිපීඩිත වන තරමට අධික ලෙස වැඩ කරන වෛද්‍ය කාර්ය මණ්ඩල සහ රෝගීන් බලා කියා ගන්නන්ය. අනෙක් කාණ්ඩය වන්නේ ස්ව-කැමැත්තෙන් හෝ බලෙන් නිවෙස්වලට කොටු කරනු ලැබීම නිසා කරන්නට කිසිවක් නොමැති අයවළුන්ය.
ශිෂෙක් පවසන්නේ දෙවන කාණ්ඩයට අයත් වූවෙකු වන ඔහු මේ දුර්දසාව භාවිත කරන්නේ මිනිසුන් වෙහෙසට පත් වන වෙනස් ආකාරයන් ගැන ආපසු හැරී බැලීම සඳහා බවයි. බලෙන් අප මත පැණ වූ අක්‍රියතාව යනු එකකි. අප වෙහෙස වීම යනු තව එකකි. ඒ දෙක අතරැති ප්‍රකට පරස්පරතාව තමන් දැනට නොතකා හරින බව ඔහු පවසයි.
වෙහෙස වීම හුදෙකලාව නොගන්නා ඔහු එය තේරුම් කිරීම සඳහා දේශපාලන ආර්ථිකය වෙත හැරේ. ඔහු මෙහිදී ප්‍රථමයෙන් බ්යුන්ග් චුල් හාන් නැමැත්තා කළ විශ්ලේෂණයක් උපුටා දක්වයි.
හාන් අප විඩාවට පත් සමාජයක් තුළ ජීවත් වන්නේ කෙසේද සහ මන්ද යන කාරණය විධිමත්ව සලකා බලයි. හාන් පවසන්නේ නව-ලිබරල් ක්‍රමය තුළ අප එක්වරම කැප වන්නන් සේම පූජා කරන්නන්ද බවට පත් වන බවය; මන්ද යත්, මේ ආර්ථික ක්‍රමය තුළ අපව මෙහෙයවනු ලබන්නේ අසමත් නොවී දිගටම පැවතීම සඳහා කෙරෙන ඉල්ලුමෙනි; එසේම කාර්යක්ෂමතාව සඳහා වූ විජිගීෂාවේ ඉල්ලුමෙනි.
එසේම අප එහිදී සීමා මායිම් ලකුණු කිරීමේ, ස්වයං-සූරාකෑමට ලක් වීමේ සහ විනාශ මුඛයට ඇද වැටීමේ දිය සුළියකට ඇතුල් වේ. නිෂ්පාදනය ඇතැම් විට ද්‍රව්‍යාත්මක නොවන්නක් වේ; එවන් විටෙක සෑම අයෙකුම සතුව නිෂ්පාදන උපකරණ තිබේ (කාල් මාක්ස් පැවසුවේ ධනවාදය තුළ නිෂ්පාදන උපකරණ හිමිව ඇත්තේ ධනපති පංතියට පමණක් බවය. නමුත් වත්මනෙහි විශේෂයෙන්ම ද්‍රව්‍යාත්මක නොවන නිෂ්පාදනවලට අදාළව ගත හොත් එම තත්ත්වය වෙනස්ව ඇතැයි ඇතැමුන් පවසති. නිදසුනක් ලෙස, ඔබ මුහුණු පොතේ යම් පෝස්ටුවක් දමන විට එය මුහුණු පොත් සමාගමේ හිමිකරුවා වන මාක් සකර්බග්ගේ ලාභ ඉපැයීමට දායක වීමකි. ඔබ දමන පෝස්ටුව ද්‍රව්‍යාත්මක නොවන නිෂ්පාදනයකි. එය නිපදවීමේ උපකරණ ඔබ සතුය. නමුත්, එයින් ප්රාග්ධනය සමුච්චනය කරගන්නේ වෙනෙකෙකි. ශිෂෙක් ඔහුගේ වෙනත් කෘතිවලදී මෙය දීර්ඝව පැහැදිලි කොට තිබේ – පරිවර්තකගේ පැහැදිලි කිරීම).
හාන්ට අනුව, නව-ලිබරල් ක්‍රමය තවදුරටත් නියම අරුතින් පංති ක්‍රමයක් නොවේ. එය අන්‍යොන්‍යව පසමිතුරුතාවක් ප්‍රකට කරන පංතීන්ගෙන් සැදුම් ලද්දක් නොවේ. මෙය ක්රමයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් වූ වාර්තාවකි.”
හාන්ගේ තර්කය වන්නේ මිනිසුන් දැන් ස්වයං-සූරා කන්නන් බවට පරිවර්තනය වී ඇති බවයි.
“අද දිනයේ සෑම අයෙක්ම ඔහුගේ හෝ ඇයගේ ව්‍යවසායෙහි ස්වයං-සූරාකෑමට ලක් වන කම්කරුවෙකු වේ. දැන් මිනිසුන් එක්විටම වහලුන් සහ වහල් හිමියන් වේ. පංති අරගලය පවා තමන් සමගම කරන ඇතුළාන්ත අරගලයක් බවට පරිවර්තනය වී තිබේ.”
පුද්ගලයා හාන් පවසන ආකාරයේ ඉලක්ක ජය ගන්නා විෂයක් බවට පත්ව තිබේ. පුද්ගලයන් තමන් යටත් භාවයට පත් කරන ලද විෂයන් බව විශ්වාස නොකරයි.
” ඔවුන් දැන් ව්‍යාපෘතීන් වී ඇත. අප අපවම නිතරම නැවත හැඩ ගසා ගන්නෙමු; අපව නැවත සොයා ගන්නෙමු. එහි යම් බල කිරීමක් සහ බාධා කිරීමක් අන්තර්ගතය. සැබවින්ම, එය වඩා කාර්යක්ෂම ආකාරයේ විෂයීකරණයක් සහ යටත් කිරීමක් කරා ගමන් කිරීමකි. ව්‍යාපෘතියක් පරිබාහිර සහ පිටස්තර සීමාවලින් නිදහස් යැයි සැලකේ. එලෙසම (ව්‍යාපෘතියක් වන) මමද දැන් මාව අභ්‍යන්තර සීමාවලට සහ ස්වයං-බාධාකිරීම් වලට යටත් කර ගන්නෙමි. මා විසින් මටම පණවාගත් එම සීමාවන් සහ බාධාවන් යම් යම් ඉලක්ක සැපිරීමට කෙරෙන බල කිරීම්වල ස්වරූපය ගනී; ප්රශස්ත ප්‍රතිපල අත්පත් කරගැනීමට කෙරෙන බල කිරීම්වල ස්වරූපය ගනී.
හාන් මෙලෙස විෂයීකරණයේ නව මාදිලීන් පිළිබඳව නිරවුල් නිරීක්ෂණ කිහිපයක් ගෙන හැර දක්වයි; අපට එයින් උගත හැකි බොහෝ දේ ඇතැයි ශිෂෙක් පවසයි. ශිෂෙක්ට අනුව, හාන් මේ හෙළිදරව් කරන්නේ සුපිරි අහමේ වත්මන් ආකාරයයි. කෙසේ වුවත් ඔහු හාන් සමග මුළුමනින්ම එකඟ වන්නේද නැත. එබැවින් ඔහු ඉන්පසුව හාන්ගේ විශ්ලේෂණය පිළිබඳව විවේචනාත්මක තර්ක කිහිපයක් ඉදිරිපත් කරයි.
ශිෂෙක් පළමුව පෙන්වා දෙන්නේ සීමාවන් සහ බාධා කිරීම් එන්නේ නිශ්චිතවම ඇතුළාන්තයෙන් පමණක් නොවන බවයි. චර්යාව පිළිබඳ නව දැඩි නීති පැණවීම් තිබේ; විශේෂයෙන්ම “බුද්ධිමය” පංතියේ සාමාජිකයන් සම්බන්ධයෙන් ගත් කල එය එසේය. ඔහු මෙහිදී “දේශපාලන නිවැරදිභාවය” පිළිබඳ චර්යාමය නීතීන් ගැන නිදසුනක් ලෙස ගෙන හැර දක්වයි. (ශිෂෙක් “දේශපාලන නිවැරදිභාවය” පිළිබඳ ලිබරල්-වාම සම්මුතීන් තියුණු ලෙස විවේචනය කරන්නෙකු බව නොරහසකි). ඔහු මෙහිදී පෙන්වා දෙන්නේ මහජන අවකාශවලදී දේශපාලනමය නිවැරදිභාවයේ රීතින් අනුගමනය කරන්නට සිදු වීම “තමන් සමගම අරගල කිරීමක්” බවයි; ඒ “වැරදි” පෙළඹවීම්වලට එරෙහිව තමන් සමගම කරන අරගලයකි.
ඉන්පසුව ඔහු බාහිර බාධාවන් පිළිබඳව කදිම නිදසුනක් ඉදිරිපත් කරයි. වසර කිහිපයකට පෙර උදි අලෝනි නම් සිනමාකරුවා “Jenin Freedom Theatre” නමැති පලස්තීන කණ්ඩායම වෙනුවෙන් නිව් යෝර්ක් වෙත සංචාරයක් සංවිධානය කළේය. එම සංචාරය පිළිබඳ වාර්තාවක් “නිව් යෝර්ක් ටයිම්ස්” සඟරාවේ පළ විය. නමුත්, ඉතාම කුඩා කාරණයක් නිසා එය පළ නොවන ගානටම ගියේය. එකරුණ මෙයයි; ඔහුගේ කැමතිම ප්රකාශනය කුමක්දැයි විමසූ විට ඔහු තමන් සංස්කරණය කළ පොතක වෙළුමක් සඳහන් කළේය. නමුත්, ගැටළුව වූයේ එම පොතේ අනු මාතෘකාව තුළ “ද්විත්ව-ජාතික” යන යෙදුම සඳහන්ව තිබීමයි (මෙය ඊශ්‍රායලය සහ පලස්තීනය අතරැති ගැටුමට අදාළව සංවේදී යෙදුමකි – පරිවර්තක). ඊශ්‍රායල් ආණ්ඩුව අමනාප කර ගන්නට බිය වූ “ටයිම්ස්” සඟරාව ඔහුගෙන් ඉල්ලා සිටියේ එම වචනය මකා දමන ලෙසය. නොඑසේනම්, අදාළ වාර්තාව පළ කළ නොහැකි වෙතැයි දන්වන ලදී.
පීටර් හැන්කේ බොස්නියාව තුළ සර්බ් මිලිටරි මෙහෙයුම්වලට විවෘතවම එකඟ වන විටදීත් ඔහුට 2019 දී සාහිත්‍ය පිළිබඳ නෝබල් ත්‍යාගය හිමි විය; නමුත්, ඊශ්‍රායලය පලස්තීනයේ බටහිර ඉවුර ප්‍රදේශයේ සිදු කරන දේශපාලන කටයුතුවලට එරෙහි සාමකාමී විරෝධයකට සහයෝගය දැක්වීම නිසා කැමිලා ශම්සී හට ජයග්‍රහණය අහිමි කෙරිණ.

ශිෂෙක් ඉන්පසුව ඔහුට සුපුරුදු ශෛලියෙන් තවත් නිදසුනක් වෙත හැරේ. එය වඩාත් මෑතකාලීන නිදසුනකි. බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික ලේඛිකාවක වන කැමිලා ශම්සී “Home Fire” නමින් නවකතාවක් ලියුවාය. එය ඇන්ටිගනී කතාවෙහි ඉතාම සාර්ථක ලෙස නූතනකරණය කරන ලද අනුවාදයකි. එයට ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ම හිමි විය. ඩෝර්ට්මුන්ඩ් නමැති ජර්මානු නගරය විසින් පිරිණමනු ලබන නෙලී සැච්ස් ත්‍යාගයද ඒ අතර විය.
කෙසේ වුවද, ශම්සී පලස්තීන හිතවාදී BDS (Boycott, Divestment and Sanctions: BDS) ව්‍යාපාරයට සහාය දැක්වූ බව දැනගත් වහාම ඇයගේ ත්‍යාගය ඇයට අහිමි කරන ලදී. ඒ සඳහා දක්වන ලද හේතු දැක්වීම වූයේ ඇයට එම ත්‍යාගය පිරිනමණ විට ඇය 2014 වසරේ සිටම ඊශ්‍රායල් ආණ්ඩුවේ පලස්තීන ප්‍රතිපත්තියට එරෙහිව වර්ජන ක්‍රියාමාර්ගයකට සහභාගී වෙමින් සිටි බව ජූරි මණ්ඩලය දැන නොසිටි බවයි. අද අප සිටින්නේ මෙවන් තැනකය; ශිෂෙක් පවසයි.
පීටර් හැන්කේ බොස්නියාව තුළ සර්බ් මිලිටරි මෙහෙයුම්වලට විවෘතවම එකඟ වන විටදීත් ඔහුට 2019 දී සාහිත්‍ය පිළිබඳ නෝබල් ත්‍යාගය හිමි විය; නමුත්, ඊශ්‍රායලය පලස්තීනයේ බටහිර ඉවුර ප්‍රදේශයේ සිදු කරන දේශපාලන කටයුතුවලට එරෙහි සාමකාමී විරෝධයකට සහයෝගය දැක්වීම නිසා කැමිලා ශම්සී හට ජයග්‍රහණය අහිමි කෙරිණ.

ශිෂෙක් හාන්ට කරන දෙවන විවේචනය වන්නේ හාන් විස්තර කරන නව ආකාරයේ විෂයීකරණය ගෝලීය ධනවාදයේ නව අදියර මගින් හැඩ ගැසීමට ලක් වූවක්ය යන්නයි. එකී ගෝලීය ධනවාදය වනාහී වැඩෙන අසමානතාවක් සහිත පංති ක්රමයකි. ඒ තුළ ඇති අරගල සහ පසමිතුරුතා කිසිසේත්ම පුද්ගලයෙකුගේ ඇතුළාන්තයේ ඇති අරගලයකට නොහොත් “තමන් සමගම කරන අරගලයකට ” ඌනනය කළ නොහැක.
තවමත් තුන්වන ලෝකයේ රටවල කය වෙහෙසා වැඩ කරන මිලියන් ගණනක කම්කරුවන් සිටී. වෙනස් ආකාරයේ ද්‍රව්‍යමය නොවන නිපැයුම් කරන කම්කරුවන් අතරද ඉතාම විශාල වෙනස්කම් තිබේ. (මහළු පුද්ගලයන් බලා ගැනීම වැනි “මානව සේවාවන්”හි සේවයේ නිරත පිරිසගේ වර්ධනය ගැන සඳහන් කිරීම පමණක් මෙහිදී සෑහේ). සමාගමක් හිමි හෝ සමාගමක් පවත්වාගෙන යන ඉහළ මට්ටමේ කළමණාකරුවෙකු සහ තමන්ගේ පුද්ගලික පරිගණකය සමග දින ගණනාවක් නිවසේ සිට වැඩ කරන තාවකාලික කම්කරුවෙකු අතර ඇත්තේ විශාල පරතරයකි.
ඔවුන් එකම අරුතකින් එක් විටම වහලා සහ වහල් හිමියා වන්නේ නැත; නිශ්චිතවම නැත. ශිෂෙක් මෙහිදී ෆෝඩ්වාදී කර්මාන්ත විසින් හඳුන්වා දෙන ලද භාණ්ඩ එකලස් කිරීම සඳහා කම්කරුවන් පෙළ ගැස්වීමේ ක්‍රමය වෙනුවට නව ස්වරූපයේ සමාගමික වැඩ ආදේශ වීම ගැන බොහෝ දේ ලියැවී ඇති බව සිහිපත් කරයි. වත්මන් ක්‍රමය පුද්ගලික නිර්මාණශීලීත්වයට විශාල අවකාශයක් ලබා දෙයි. කෙසේ වුවත්, ඔහු අවධාරණය කරන්නේ මෙහිදී සැබවින්ම කාර්යක්ෂම ආකාරයෙන් සිදුවෙමින් තිබෙන්නේ පැරණි ක්‍රමය නව ක්‍රමයෙන් විතැන් වීමකට වඩා එය පිටතට පැවරීමක් බවයි. නිදසුනක් ලෙස මයික්‍රොසොෆ්ට් සහ ඇපල් කර්මාන්ත වඩාත් සමාගමික ආකාරයකට සංවිධානය කොට තිබෙනවා විය හැකිය. නමුත්, චීනය තුළ හෝ ඉන්දුනීසියාව තුළ ඒවායෙහි අවසන් නිෂ්පාදන එකලස් කෙරෙනුයේ පැරණි ෆෝඩ්වාදී ක්‍රමයටමය. මෙහිදී සිදුව ඇත්තේ සරලව එකලස් පේළි ක්‍රමය පිටතට පැවරීමය.
ඒ අනුව, අපට දැන් නව ශ්‍රම විභජනයක් තිබේ. හාන් පැහැදිලි කරන ස්වයං-රැකියාමය සහ ස්වයං-සූරා කෑමේ ක්‍රමය පවතින්නේ සංවර්ධිත බටහිර ලෝකයේය. තුන්වන ලෝකයේ පවතින්නේ කම්කරුවන් බෙලහීනත්වයට පත් කරන එකලස් පේළි ක්‍රමයයි. මෙයට එකතු කළ යුත්තක් නම් සෑම ආකාරයකම මානව උවැටන් සේවය වර්ධනය වෙමින් තිබීමයි.

මේ යටතට උවැටන් සේවකයන් සහ උපස්ථායකයන් වැනි අය ගැනේ. එහිද සූරා කෑම අධිකය. හාන්ගේ පැහැදිලි කිරීම යටතට වැටෙන්නේ පළමු කාණ්ඩය පමණි; එනම්, ස්වයං-රැකියා කරන අස්ථිර සේවකයන්ය. මේ ශ්‍රමික කාණ්ඩ තුනම සුවිශේෂී ආකාරයේ වෙහෙස වීම් සහ අධිකතර ලෙස වැඩ කිරීම් හඟවයි. එකලස් පේළි ක්‍රමය තුළ ඇති ඒකාකාරී ස්වභාවය කම්කරුවන්ව බෙලහීන කරයි (චාලි චැප්ලින්ගේ “මොඩර්න් ටයිම්ස්” චිත්‍රපටයේ සිටින මුළු දවස පුරාම එකම යකඩ ඇණය තද කරන කම්කරුවා සිහියට නගා ගන්න – පරිවර්තක). ෂැන්හයි පෙදෙසේ කුඩා නගරයක ඇති ෆොක්ස්කොන් කම්හලක් තුළ මේසයක් පිටුපසට වී නැවත නැවතත් එකම අයිෆෝන් එක එකලස් කරන කම්කරුවන් දරා ගත නොහැකි තරම් වෙහෙසට පත් වේ.
ඉහත කී වෙහෙසට වෙනස් ලෙස, මානව-උවැටන් සේවකයන් වඩාත් හෙම්බත් වන්නේ ඔවුන් සහකම්පනයකින් යුතුව වැඩ කළ යුතු යැයි අපේක්ෂා කෙරෙන බැවිනි. ඔවුන්ගේ වැඩයට අදාළ විෂය වස්තූන් ගැන ඔවුන් සැලකිලිමත් වන බව පෙන්විය යුතුය. නිදසුනක් ලෙස මොන්ටිසෝරි පාසැලක සේවකයෙකුට ගෙවනු ලබන්නේ හුදෙක් දරුවන් බලා කියා ගන්නවාට පමණක් නොවේ; ඔවුනට ආදරය පෙන්වීමටත් සමගය. මහල්ලන් හෝ රෝගීන් බලා ගන්නා අය හටද මෙය වලංගු වේ.
“සෑම විටම කරුණාවන්ත වීම” කොතරම් පීඩාකාරී දෙයක්දැයි යමෙකුට සිතා ගත හැකිය. මේ පළමු සහ දෙවන ක්ෂේත්රවලදී අඩු තරමින් අපට අප නිරත වන වැඩය සමග යම් ආකාරයක අභ්‍යන්තරික දුරස්ථභාවයක් පවත්වා ගත හැකිය. දරුවෙකුට දයාබර ලෙස සැලකිය යුතු යැයි අපෙන් අපේක්ෂා කෙරෙන විටදී අප එසේ කරන බැව් හැඟවිය හැකිය.
නමුත්, තෙවන ක්ෂේත්රය අපට බල කරන්නේ ඊට වඩා ඉමහත් වෙහෙසකට පත් වීමටය. (ශිෂෙක් මේ අවධානය යොමු කරන්නේ වෙළඳ දැන්වීම් කර්මාන්තය වෙතය). යම් භාණ්ඩයක් මිළදී ගැනීමට මිනිසුන්ව පෙළඹවීම සඳහා එයට ප්‍රචාරයක් දීමට හෝ එය ඇසුරුම් කිරීමට යමෙකු සේවයට ගැනීම ගැන මදක් සිතා බලන්න. එම පුද්ගලයා අදාළ භාණ්ඩය ගණන් නොගන්නා විටදී පවා, ඔහු ඒ ගැන සිතීම පිළිකෙව් කරන විටදී පවා ඔහුට එය කරන්නට සිදුවේ. ඔහුට වඩාත් අධිකතර ලෙස නිර්මාණශීලීත්වයේ ගැලෙන්නට සිදු වේ; නව්‍යතම විසඳුම් හඳුනා ගන්නට ප්රයත්න දරන්නට සිදු වේ. එවන් ප්රයත්නයක් ඒකාකාරී එකලස් පේළියක වැඩ කිරීමට වඩා හෙම්බත් වන වැඩක් විය හැකිය. හාන් කතා කරන්නේ මේ සුවිශේෂී වෙහෙස ගැනය.
නමුත්, ස්වයං-සූරාකෑමට ලක් වීම මගින් වෙහෙසට පත් වන්නේ තම නිවසේ සිට තම පරිගණක තිරය ඉදිරිපිටට වී වැඩ කරන අස්ථිර කම්කරුවන් පමණක් නොවේ. මෙහිදී සඳහන් කළ යුතු තවත් කණ්ඩායමක් සිටී. එනම්, සාමාන්‍යයෙන් “නිර්මාණාත්මක කණ්ඩායම් වැඩ කරන්නන් ” නමැති රැවටිලිකාරී යෙදුමෙන් හඳුන්වන අයවළුන්ය. මෙයින් අදහස් වන්නේ තම ඉහළ කළමනාකරුවන් හෝ සමාගම් හිමිකරුවන් වෙනුවෙන් ව්‍යවසායක කටයුතුවල නිරත වීමට සිදුව තිබෙන කම්කරුවන්ය. ඔවුහු නිෂ්පාදනය සමාජයීයව සංවිධානය කිරීමට අදාළව සහ ඒවා බෙදා හැරීමට අදාළව “නිර්මාණාත්මක” කාර්යයන්හි නිරත වෙති. එවන් සමාජ කණ්ඩායම්වල භූමිකාව ද්විත්වාකාරය.

(මෙහිදී ශිෂෙක් Eva Bockenheimer නමැති හේගලියානු ලේඛිකාවගේ ප්‍රකාශයක් උපුටා දක්වයි) “එක් අතකින්, කම්කරුවන් ව්‍යවසායක කාර්යයන් භාර ගැනීම මගින් ඔවුන් කරන වැඩවල සමාජමය ගති සොබාවය සහ ඒවායෙහි අර්ථවත් භාවය සමග ගණුදෙණු කරයි; ඒ ලාභ දායකත්වයේ සීමිත රාමුවක් තුළය.” (යළිත් එම උපුටනය) “ශ්‍රමය සහ ඒකාබද්ධ සමාගම් වඩා කාර්යක්ෂම ලෙසත් ලාභදායී ලෙසත් සංවිධානය කිරීමට ඇති හැකියාව සහ සමාජයීයව ප්‍රයෝජනවත් වන ශ්‍රමයේ ගති සොබාවයන් ගැන කල්පනා කිරීම මිනිස් වර්ගයාට ප්‍රයෝජනවත් වේ; ඉදිරියේදීත් ප්‍රයෝජනවත් වනු ඇත.”
ඉන්පසුව ශිෂෙක් පෙන්වා දෙන්නේ ඔවුන් මේ දෙය කරන්නේ අඛණ්ඩවම ප්රාග්ධනයට යටහත්ව සිටිමින් බවය. ඔවුනගේ අරමුණ වන්නේ තමන් වැඩ කරන සමාගම වඩා කාර්යක්ෂම සහ ලාභදායී එකක් බවට පත් කිරීමය. ඒ ආකාරයේ “නිර්මාණශීලී කණ්ඩායම් වැඩ” ඉතාම වෙහෙසකර වන්නේ මෙම ආතතිය කරණ කොටගෙනය. ඔවුන් සමාගමේ සාර්ථකත්වය සඳහා වගකීමට බැඳී සිටී.
ඒ අතරම ඔවුනගේ කණ්ඩායම් වැඩද එකිනෙකා අතරත් අනෙක් කණ්ඩායම් සමගත් තරඟකාරී වූ ඒවාය. ශ්‍රම ක්‍රියාවලියේ සංවිධායකයින් ලෙස ඔවුන් වැටුප් ලබන්නේ සාම්ප්‍රදායිකව ධනපතීන්ට අයත් වූ භූමිකාවක් ඉටු කිරීම වෙනුවෙනි. ඔවුන් එක් අතකින් කළමණාකරණයට අදාළ සියලුම අපහසුතා සහ වගකීම් උසුලයි; අනෙක් අතින්, වැටුප් ලබන සේවකයන් ලෙස ඔවුනගේ අනාගතයද ආරක්ෂිත නැත; මේ දෙලොවෙන්ම ඔවුනට හිමි වන්නේ නරකම දේය.
ඔහු පවසන්නේ ඉහත කී පංති විභේදනය කොරෝනා භීතිකාව තුළදී නව ගතිකත්වයක් අත් පත් කරගන්නා බවයි. දැන් අපට ආරක්ෂිතව හුදෙකලාවේ සිටිමින් නිවසේ සිට වැඩ කරන්නැයි කෙරෙන ඉල්ලීම්වල නිමක් නැත.

දෙවන පරිච්ජේදය අවසානයේදී ශිෂෙක් ඔහුගේ ඉහත දේශපාලන ආර්ථික විශ්ලේෂණය කොරෝනා අර්බුදය යුගයේ සමාජ ජීවිතය සමග ගලපයි. ඔහු පවසන්නේ ඉහත කී පංති විභේදනය කොරෝනා භීතිකාව තුළදී නව ගතිකත්වයක් අත් පත් කරගන්නා බවයි. දැන් අපට ආරක්ෂිතව හුදෙකලාවේ සිටිමින් නිවසේ සිට වැඩ කරන්නැයි කෙරෙන ඉල්ලීම්වල නිමක් නැත.
නමුත්, එසේ කළ හැක්කේ කුමන කණ්ඩායම්වලටද? අස්ථිර බුද්ධිමය කම්කරුවන්ට එසේ කළ හැකිය; ඊමේල් සහ ටෙලි කොන්ෆරන්ස් මගින් සබඳතා පැවැත්විය හැකි කළමණාකරුවන්ට එසේ කළ හැකිය. ඒ අනුව, ඔවුන් නිරෝධානය වෙමින් සිටියදීද ඔවුනගේ කාර්යයන් අඩු වැඩි වශයෙන් මෘදුව ඉදිරියට ගලා යයි. ඇතැම්විට, ඔවුනට දැන් “තමන්වම සූරා කන්නට” වඩා වැඩි කාලයක් පවා හිමි වේ.
නමුත්, පිටත ලෝකයේ (එනම් කම්හල් තුළ, මහ පොළොව මත, වෙළඳසැල් තුළ, රෝහල් තුළ සහ පොදු ප්‍රවාහන සේවා වල යනාදී වශයෙන්…) වැඩ කළ යුතු අය පිළිබඳව කිව හැක්කේ කුමක්ද? සෙසු මිනිසුන්ට තම පුද්ගලික නිවෙස් තුළ නිරෝධානය වෙමින් සිටීම සඳහා අනාරක්ෂිත පිටත ලෝකයේ බොහෝ දේවල් සිදු විය යුතුව තිබේ…
අවසන් වශයෙන් ශිෂෙක් පවසන්නේ ඉතා දැඩි ස්වයං-විනයක් සහිතව වැඩ කිරීම සඳහා ඇති කැප වීම හෙළා දැක “ඒක ලේසියට ගන්න!” යැයි පැවසීමට අපට ඇති පෙළඹවීම අප බැහැර කළ යුතු බවයි. “වැඩ කිරීම ඔබට නිදහස උදා කරයි” යන කියමන නාසිවාදීන් විසින් මෘග ලෙස අවභාවිතයේ යෙදුවද, එය තවමත් නිවැරදි ආදර්ශ පාඨයකි.

නමුත්, ශිෂෙක් මේ කතා කරන්නේ කවර ආකාරයේ වැඩ ගැනද? ඒ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර මේ අවසන් වාක්‍ය කිහිපය තුළ ගොණුව තිබේ. ඔව්, වසංගතයේ ප්‍රති විපාක සමග හැපෙන බොහෝ දෙනෙකු හට ඉතාම අසීරු වෙහෙසකර වැඩවල නිරත වන්නට සිදුව ඇත. නමුත් ඒ ජන ප්‍රජාවේ යහපත වෙනුවෙන් කරන අර්ථවත් වැඩය. ඒවායින් ලැබෙන තෘප්තිය ඒවායෙහි නිරත වීමමය.
ඒවා වෙළඳපල තුළ සාර්ථකත්වයක් අත්පත් කරගැනීම සඳහා දරන මෝඩ ප්රයත්නයන් නොවේ. වෛද්‍ය සේවකයෙකු අමතර පැය ගණනාවක් වැඩ කොට මාරාන්තික වෙහෙසකට පත් වන විට, උවැටන් සපයන්නෙකු දිගින් දිගටම සේවයේ යෙදෙන්නට සිදුවීමෙන් අධික ලෙස මහන්සි වන විට, ඔවුන් සැබවින්ම වෙහෙසට පත් වන්නේ තම කරදරකාරී වෘත්තීය අරමුණු මගින් මෙහෙයවෙන අයෙකුගේ හෙම්බත්වීමට වඩා වෙනස් ආකාරයකටය. ඔවුනගේ වෙහෙස අනර්ඝය!
ඉතිරි කොටස පසුවට
