ප්‍රභූ පන්තිය – පොලිසිය සහ අධිකරණය ගැන විශ්වාසය ප්‍රශ්න කළ ‘සිංගප්පූරුවේ ඓතිහාසික නඩු තීන්දුව’

ප්‍රභූ පන්තිය – පොලිසිය සහ අධිකරණය ගැන විශ්වාසය ප්‍රශ්න කළ ‘සිංගප්පූරුවේ ඓතිහාසික නඩු තීන්දුව’
Spread the love

ඇය සිංගප්පූරුවේ මහා ධන කුවේරයකුගේ නිවසෙහි මෙහෙකාර වෘත්තියේ යෙදී සිටි ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවකි. මාසික වැටුප සිංගප්පූරු ඩොලර් 600කි.

ඇයගේ හාම්පුතා වන ව්‍යාපාරිකයා සිංගප්පූරු ව්‍යාපාරික සමාජයේ මහා කුළුණක් තරම් ප්‍රබල ව්‍යාපාරිකයකු මෙන්ම,රටේ සමාගම් කීපයක අධිපතිවරයා ද වෙයි.

එක්තරා දිනයක, පාර්ති ලියනි (Parti Liyani) නම් ඉහත කී ගෘහසේවිකාවට සිය ජීවිතයේ කනගාටුදායක දෙයකට සවන්දීමට සිදුවිය. එනම්, නිවසේ වූ භාණ්ඩ කීපයක් සොරකම් කර ඇති බවට ගෙහිමියන් විසින් ඇයට චෝදනා කරනු ලැබීමය. එතැනින් නොනැවතුනු ගෙහිමියෝ ඇයට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ගොනුකළහ.

මිල අධික සුඛෝපභෝගී කාන්තා අත් බෑග්, DVD යන්ත්‍රයක් පමණක් නොව ඇඳුම් පවා සොරකම් කරන ලද බවට ඉදිරිපත් වූ චෝදනා ඇතුළත් එම නඩුව සිංගප්පූරු සමාජයේ බෙහෙවින් කතාබහට ලක්වූ නඩු විභාගයක් බවට පත්විය.

එහෙත් දීර්ඝ නඩු විභාගයක් අවසානයේ පාර්ති ලියනි, ගෘහසේවිකාව ඇයට එරෙහි සියලු චෝදනාවලින් නිදහස් කරනු ලැබුණි.

”මට හරිම සතුටුයි. අන්තිමේ දී මම නිදහස්!” පරිවර්තකයකුගේ සහයෝගය ඇතිව මාධ්‍යවේදීන් අමතමින් ඇය සඳහන් කළාය.

”මේ අවස්ථාව ලබාගන්න මම අවුරුදු හතරක් පුරා සටන් කළා” ඇය කියා සිටියාය.

‘පාර්ති’ ඇය මුහුණදුන් චෝදනාවලින් නිදහස ලද නමුත්, එම නඩු විභාගයත් සමඟ සිංගප්පූරු අධිකරණයේ පිහිට ලබාගැනීම අතින් පවතින අසමනතාවට අදාළ ප්‍රශ්න රැසක් එම නඩුකරයත් සමඟ සමාජය ඉදිරියට පැමිණ ඇත.

‘පාර්ති’ සිය හාම්පුතා වූ ‘ලීව් මුන් ලියොන්ග්’ (Liew Mun Leong) සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් එම නිවසේ රැකියාව ආරම්භකර තිබෙන්නේ 2007 වසරේදී ය. ගෙහිමියාගේ පුත්‍රයා වන ‘කාර්ල්’ ද ඇතුළුව පවුලේ සාමාජිකයන් කීපදෙනෙක් එම නිවසේ වාසය කරති.

2016 මාර්තු මාසයේ දී කාර්ල් ලීව් සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ සිය ”මහගෙදරින්” ඉවත්ව වෙනත් නිවසක පදිංචියට ගියහ.

පාර්තිට එරෙහි නඩු විභාගයේ දී එකින් එක කරුණු දිගහැරෙමින් තිබියදී අනාවරණය වූ කරුණක් වූයේ අවස්ථා කීපයක්ම එම ගෘහසේවිකාව කාර්ල්ගේ නිවසත් පිරිසිදු කිරීමට යොදවා ඇති බවය. එය සිංගප්පූරුවේ නීතිය අනුව වරදකි. ඒ සම්බන්ධයෙන් පාර්ති කලින් පැමිණිලි කරනු ලැබ ඇත.

එයින් මාස කීපයකට පසු ලීව් පවුල ඇය සේවයෙන් ඉවත් කරන ලද බව පාර්තිට දැනුම් දුන්හ .ඔවුන් එවැනි පියවරක් ගෙන තිබුණේ පාර්ති ඔවුන්ගේ නිවසේ භාණ්ඩ සොරකම් කරන ලදැයි සැකයෙනි.

කාර්ල් ලීව් ඔවුන්ගේ තීරණය දැනුම්දුන් මොහොතේ ඇය මෙසේ ප්‍රකාශ කරන ලද බව ‘Straits Times’ පුවත්පත වාර්තාකර තිබුණි.

”මම දන්නවා – ඔබ එවැනි පියවරක් ගන්නේ ඇයි කියල. ඔබ මාත් සමඟ තරහයි.මොකද මම ඔබගේ වැසිකිලිය පිරිසිදු කිරීම ප්‍රතික්ෂේප කිරීමයි-ඔබේ තීරණයට හේතුව”

සිය බඩු භාණ්ඩ පෙට්ටි කීපයකට අසුරා ගැනීම සඳහා පාර්තිට පැය දෙකක් කල්දුන් ගෙහිමියෝ ඒවා ඉන්දුනීසියාවට එවන බව දැනුම් දුන් අතර, ඒ අනුව ඇය එදිනම සිය මව්රට බලා පිටත්ව ගියාය.

එපරිද්දෙන් එම නිවසින් පිටත්ව යාමට පෙර සිය බඩු අසුරමින් සිටියදී ප්‍රකාශයක් කළ පාර්ති ”කාර්ල්ගේ නිවස පිරිසිදු කරන ලෙස නියෝග කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු බලධාරීන්ට පැමිණිලි කරනවා” යැයි ‘ලීව්’ පවුලට අනතුරු අඟවා ඇත.

පාර්ති පිටත්ව යාමෙන් පසු ලීව් පවුලේ සාමාජිකයෝ ඇය තබා ගිය පෙට්ටි පරීක්ෂා කිරීමට තීන්දු කළහ. ඒවා විවර කරමින් *පරීක්ෂාකළ ඔවුහු තමන්ට අයත් භාණ්ඩ කීපයක් පාර්තිගේ ඇසුරුම් අතර තිබී සොයාගන්නා ලද බවට පොලිසියට පැමිණිලි කළහ. එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ ලීව් සහ ඔහුගේ පුත් කාර්ල් විසිනි.

පාර්ති කියාසිටින්නේ එවැනි අනුන් සතු භාණ්ඩ කිසිවක් ගැන තමා නොදන්නා බවය. ඉහත සඳහන් කළ පරිදි ඉන්දුනීසියාවට ගිය පාර්ති ඉන් සති පහකට පසු වෙනත් නිවසක රැකියාවක් ලැබ එය භාරගැනීම සඳහා සිංගප්පූරු ගුවන්තොටුපොළට ළඟා වූවාය. එහෙත් ඇය ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට ගනු ලැබුණි

පාර්තිට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ තිබුනේ අපරාධ නීතිය යටතට ගැනෙන චෝදනා ය. එබැවින් ඇයට යළි සිංගප්පූරුවේ රැකියාවක් කළ නොහැකි වූ අතර සංක්‍රමණික කම්කරුවන් රඳවනු ලබන ස්ථානයකට යවනු ලැබුණි. නඩුව විභාගයට ගැනෙමින් පවතින අතරවාරයේ ඇයට මූල්‍යාධාර මත යැපීමට සිදුවිය.

ඇඳුම් සහ කුඩා පොකට් පිහියක්

ලීව් නිවසේ භාණ්ඩ රැසක් සොරකම් කරනු ලැබීම සම්බන්ධයෙන් පාර්තිට චෝදනා කෙරිණ. එම භාණ්ඩ අතරට ඇඳුම් කට්ටල 115ක්, මිලෙන් අධික සුඛෝපභෝගී කාන්තා අත්බෑග්, DVD යන්ත්‍රයක් සහ ‘Gerald Genta’ වර්ගයේ අත් ඔරලෝසුවක් ද ඇතුළත් විය.

එකතුව ගත්විට එම සමස්ත භාණ්ඩවල වටිනාකම සිංගප්පූරු ඩොලර් 34,000කි.

අධිකරණයේ දී පිළිතුරු දුන් පාර්ති කියා සිටියේ තමා විසින් සොරකම් කරන ලදැයි පවසන එම භාණ්ඩ එක්කෝ තමාට අයත් දේවල්, හෝ ඉවත දමන ලද භාණ්ඩ විය හැකි අතර ඊට අමතරව තමා විසින් එම පෙට්ටිවලට ඇතුළත් නොකළ දේවල් ද වියහැකි බවය.

කෙසේවුවද, 2019 වසරේ දී පළමු අධිකරණයේ විනිසකරු පාර්ති වැරදිකාරිය යයි තීන්දු කරමින් වසර දෙකකුත් මාස දෙකක සිර දඬුවමක් නියම කළේය. එහෙත් තම නිවැරදිභාවය ඔප්පුකිරීම සඳහා එම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට පාර්ති තීන්දු කළාය. එම අභියාචනය විභාග කළ සිංගප්පූරු මහාධිකරණ විනිසුරුවරයා පසුගිය මාසයේ සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පාර්ති නිවැරදි යයි ප්‍රකාශයට පත්කළේය.

සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අදහස් දැක්වූ මහාධිකරණ විනිශ්චයකාර චෑන් සෙන්ග් ඔන් (Justice Chan Seng Onn)පෙන්වා දුන්නේ පාර්තිට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් ලීව් පවුල ”සිතාමතාම අසද්භාවයෙන්” කටයුතු කර ඇති බවය. එපමණක් නොව, පාර්ති සම්බන්ධ පැමිණිල්ලේ දී පොලිසිය සහ නීති නිලධාරීන් කටයුතු කර තිබෙන ආකාරය සහ දිස්ත්‍රික් විනිශ්චයකාරවරයා එම නඩුව හසුරුවා ඇති ආකාරය පිළිබඳවද කරුණු කීපයක් මහාධිකරණ විනිසුරු විසින් ඉස්මතුකර දක්වන ලදී.

තමා කාර්ල්ගේ නිවස පිරිසිදු කිරීම සඳහා සිංගප්පූරු කම්කරු නීතියට පටහැනිව යෙදවීම සම්බන්ධයෙන් පාර්ති විසින් පැමිණිලි කරනු ලැබීම වලක්වාලීම ලීව් පවුලේ උවමනාව වී ඇති බව මහාධිකරණය තීන්දු කර ඇත.

පාර්ති විසින් සොරකම් කරන ලදැයි චෝදනා කෙරෙන බොහෝ භාණ්ඩ අබලන්ව ඇති ඒවා බව මහාධිකරණ විනිසුරුවරයා සටහන් කර ඇත. අදාළ අත් ඔරලෝසුවේ පතුලේ පියන නැත. ජංගම දුරකථන දෙකක් (iPhones) වූ අතර ඒවා ක්‍රියා නොකරයි. එවැනි අබලි ද්‍රව්‍ය සොරකම් කිරීම සාමන්‍යයෙන් සිදුවිය නොහැකි බව විනිශ්චයකාරවරයාගේ තීන්දුව විය. නිදසුනක් වශයෙන් එම භාණ්ඩ අතර වූ DVD යන්ත්‍රය ක්‍රියා නොකිරීම නිසා ලීව් පවුල විසින් ඉවත දමන ලද්දක් බව පාර්ති අධිකරණය ඉදිරියේ සඳහන් කළාය.

Pioneer DVD player
ඡායාරූප ශීර්ෂ වැකිය,පාර්ති කියාසිටියේ මෙම DVD යන්ත්‍රය අබලව ඉවතදමන ලද භාණ්ඩයක් යයි තමා විශ්වාස කළ බවය

මහාධිකරණය ඉදිරියේ පැවැත්වුණු විභාගයේ දී අදාළ DVD යන්ත්‍රය අබලන් උපකරණයක් බව තමන් දැනසිටි බව පැමිණිල්ලේ නීති නිලධාරීහු පිළිගත්හ. එසේ දැන සිටියත් එය නඩුවට අදාළ භාණ්ඩයක් වූ හෙයින් ඒ බවක් අනාවරණය නොකළ බවද ඔවුහු සඳහන් කළහ. පැමිණිලි පාර්ශ්වය විසින් එම යන්ත්‍රය ක්‍රියාත්මක වන බවක් අධිකරණයට අඟවා තිබුණේ උපායශීලීවය. එම හැසිරීම මහාධිකරණ විනිශ්චයකාරවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය. විශේෂයෙන්ම එම හැසිරීම අගතියක්ය යන්න විනිසුරු ප්‍රකාශය විය.

එපමණක් නොව, මෙම නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් කාර්ල් ලීව් කෙරෙහි තැබිය හැකි විශ්වාසය පිළිබඳවත් විනිසකරු ප්‍රශ්න කළේය.

කාර්ල් ලීව් නඩු විභාගයේ දී සාක්ෂිදෙමින් කියා සිටියේ තමා 2002 වසරේ දී එක්සත් රාජධානියේ දී මිලට ගෙන සිංගප්පූරුව කරා ගෙනැවිත් තිබූ කුඩා පොකට් පිහියක් ද පාර්ති විසින් සොරකම් කරනු ලැබ තිබුණු බවය.එහෙත් එය 2002 ට පසු නිෂ්පාදනය කරන ලද්දක් බවත්, 2002 වසර වනවිට එය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කර නොතිබුණ බවත් පිළිගැනීමට කාර්ල්ට සිදුවිය.

කාර්ල් ප්‍රකාශ කළ තවත් කරුණක් වූයේ, පාර්තිගේ ඇසුරුම් අතර තිබූ කාන්තා ඇඳුම් ද ඇතුළු විවිධ ඇඳුම් කට්ටල තමා සතු ඒවා වන බවය. එහෙත් ඉන් සමහර ඇඳුම් තමාගේදැයි සිහිපත්කර ගැනීමට ඔහු අපොහොසත් විය. එම ඇඳුම් අතර වූ කාන්තා ඇඳුම් ”තමා තබාගත්තේ කුමකටදැයි” විමසූ විට ”තමා පුරුෂ ඇඳුම් මෙන්ම කාන්තා ඇඳුම්ද ප්‍රියකරන” බව කාර්ල් සඳහන් කළේය. එහෙත් මහාධිකරණ විනිසුරු චෑන් එය ”කෙසේවත් ඇදහිය නොහැකි” බව තීන්දු කළේය.

මෙම නඩුවේ දී පොලිසියේ ක්‍රියාකලාපයත් විනිශ්චයකාරවරයාගේ ප්‍රශ්න කිරීමට ලක්විය. පළමු පොලිස් වාර්තාව පිළියෙළ කරනු ලැබීමෙන් සති පහක කාලයක් ගතවෙන තෙක් පොලිසිය නඩු නිමිත්ත සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ගොස් නොතිබුණි.

එසේම ඉන්දුනීසියානු භාෂාව කතාකරන පාර්ති සඳහා භාෂා පරිවර්තයකුගේ සහාය ලබාදීමටත් පොලිසිය පියවර ගෙන නැත. ඒ වෙනුවට පොලිසිය යෝජනාකර තිබෙන්නේ පාර්ති නොදන්නා ‘මැලේ’ භාෂා පරිවර්තකයෙකි.

”එපරිද්දෙන්, මේ නඩුවේ දී පොලිසිය කටයුතු කරනු ලැබ තිබෙන්නේ ඉතාම කණගාටුදායක ආකාරයට” යැයි සිංගප්පූරු කළමනාකරණ සරසවියේ මහාචාර්ය එයුජින් ටෑන් (Eugene Tan) බීබීසී සමග ප්‍රකාශ කළේය.

පොලිසියේ සහ පැමිණිල්ලේ නීති පාර්ශ්වයේ ඉහත සඳහන් කරන ලද ඌණතා සැලකිල්ලට ගැනීමට අසමත්වීම හේතුවෙන් පළමු නඩු විභාගයේ දී දිස්ත්‍රික් විනිශ්චයකරු පාර්තිගේ අවාසියට සිය තීන්දුව දී ඇති ආකාරයක් දක්නට ලැබේ.

ඩේවිඩ් සහ ගොලායාත් සටන බඳු සටනක්

(ඩේවිඩ් සහ ගොලායත් (Goliath) සටන යනු අතිශයින් ප්‍රබල තැනැත්තකුට එරෙහිව කුඩා දුබලයා ජයගැනීම පිළිබඳව උදාහරණයක් ලෙස ගනු ලබන බයිබලයේ එන කතාවකි)

පාර්තිට එරෙහි නඩුකරය සිංගප්පූරු සමාජය තුළ දැඩි සංවේදීභාවයක් ඇති කිරීමට හේතු වූ අතර, බොහෝ දෙනාගේ කෝපය එල්ලවුණේ ලීව් සහ ඔහුගේ පවුල කෙරෙහිය.

බහුතර ජනතාව විසින් එය තේරුම්ගන්නා ලද්දේ ”පොහොසත් ප්‍රභූ තන්ත්‍රය විසින් තමන්ගේම නෛතික රාමුව තුළ වාසය කරන කිසිදු සමාජ බලයක් නොමැති දුප්පතුන්ට එරෙහිව සිදුකරන හිරිහැර සඳහා නිදසුනක්” ලෙසිනි.

අධිකරණය අවසානයේදී එහි උත්තරීතරභාවය රැකගත් නමුත්, එරට අධිකරණයේ සාධාරණත්වය සහ අපක්ෂපාතීභාවය සම්බන්ධයෙන් දිගුකලක් පැවති විශ්වාසය පිළිබඳ ඇතැම් සිංගප්පූරු වැසියන් සලිත කිරීමකට මෙම නඩුව හේතුවිය.

”මෑත ඉතිහාසයේ මෙවැනි මතකයේ රැඳෙන වෙනත් නඩුවක් නැහැ” යි මාහාචාර්ය ටෑන් ප්‍රකාශ කළේය.

”මෙම නඩුවේ එකිනෙකට සම්බන්ධ අකාර්යක්ෂමතාවන් මහජන නොසන්සුන්තාවයකට හේතුවුණා. බොහෝදෙනකුගේ මනසේ වූ ප්‍රශ්නය වූයේ ”මම පාර්ති වුනානම්,මට අත්වෙන ඉරණම කුමක්ද?” යන්නයි.”සාධාරණ පරීක්ෂණයක් සිදුවේද?”, ”අපක්ෂපාතී තීන්දුවක් ලැබේද?” වැනි ප්‍රශ්න මහජනයා අතර මතුවුණා”

එල්ලවෙමින් පැවති මහජන විරෝධය හමුවේ තීන්දුවක් ගත් ලීව් මුන් ලියොන්ග් ඉතා කීර්තිමත් සමාගම් කීපයක තමා උසුලන සභාපති තනතුරුවලින් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.

ලීව් මුන් ලියොන්ග් නිකුත්කළ ප්‍රකාශයක් මගින් ඔහු කියාසිටියේ, තමා මහාධිකරණ තීන්දුවට ගරුකරන අතරම සිංගප්පූරු නෛතික රටාව කෙරෙහි විශ්වාසය තබන බවය.එහෙත් පොලිසියට කළ සිය පැමිණිල්ල ඔහු සාධාරණීකරණය කරයි.

”යම්කිසි සැකකටයුතු වැරදි ක්‍රියාවක් සිදුවූ බව මම අවංක ලෙසම විශ්වාස කරනවා. එවැනි දෙයක් සිදුවුණාම පොලිසියට පැමිණිලි කිරීම අපේ පුරවැසි යුතුකමක්” බව ඔහු පවසයි.

එහෙත් කාර්ල් ලීව් නඩු තීන්දුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් වැළකී සිටි අතර නිහඬබව රකියි.

මේ අතරම, සිංගප්පූරු පොලිස් සේවය සහ අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කිරීමේ ක්‍රියාදාමය නැවත අධීක්ෂණය කළ යුතුව ඇත යන යන අදහසත් මෙම නඩුව මගින් ඉස්මතු කරනු ලැබ ඇත. ”එකිනෙකට බැඳුනු ක්‍රියාවලිය තුළ යම්කිසි වැරැද්දක් සිදුව ඇති ” බව සිංගප්පූරු නීතිය සහ ස්වදේශ කටයුතුභාර ඇමති කේ.ෂන්මුගම් (K.Shanmugam) පිළිගනියි.

‘ඊළඟට ආණ්ඩුව කරන්නේ කුමක්දැයි දැඩි අවධානයකින් විපරම් කෙරෙනු ඇත. ඉහළ මට්ටමේ වගවීමක් සහ ආයතනගත සාධාරණභාවයක් සඳහා රටවැසියන්ගෙන් කෙරෙන ඉල්ලීම ඉටුකිරීමට අසමත් වුණොත්,එමගින් සිංගප්පූරු සමාජයට ඉහලින් ප්‍රභූ තන්ත්‍රයේ අභිලාෂයන් ස්ථානගත වී ඇත යන වේදනාබර හැඟීම පෙරට පැමිණීමට ඉඩ ඇත” යනුවෙන් සිංගප්පූරුවේ ප්‍රකාශකයකු වන ඩොනල්ඩ් ලෝ ( Donald Low) සිය අලුත්ම ලිපියක සඳහන් කරයි.

”උණුසුම් විවාදයක් පවතින අතරවාරයේ ප්‍රභුත්වවාදය සෙමෙන් සමාජ ක්‍රමය අභ්‍යන්තරයට කාන්දුවීද? යන ප්‍රශ්නය පැනනැගුන අතර,ඒ සමඟ රටේ සදාචාර සම්ප්‍රදායේ පිරිහීමක් අනාවරණය වූ බව” තවත් ප්‍රකාශනයක් මගින් හිටපු මාධ්‍යවේදියකු වන පී.එන්.බල්ජි (PN Balji) පවසයි.

එපමණක් නොව,පාර්ති ගේ නඩුකරය මගින් ඉස්මතු වූ තවත් කරුණක් වන්නේ සංක්‍රමණික කම්කරුවන්ට යුක්තිය ඉටුකර ගැනීමේ දී මුහුණදීමට සිදුවන තත්ත්වයයි.

පාර්තිට සිංගප්පූරුවේ රැඳී සිටීමට සහ ඇයගේ පැමිණිල්ල වෙනුවෙන් සටන් කිරීමට හැකිවූයේ ‘Home’ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සහ නීතිවේදී අනිල් බාල්චන්දනීගෙන් (Anil Balchandani) ලද සහයෝගය මතය. එම නීතිවේදියා මහජන යහපත වෙනුවෙන් මෙන්ම අඩු මුදලකට මෙම නඩුවේ දී පෙනී සිට ඇත. එසේ නොවීනම්, නීතිඥ ගාස්තුව සිංගප්පූරු මුදලින් ඩොලර් 150,000 ක පමණ වනු ඇත.

Anil and Parti
ඡායාරූප ශීර්ෂ වැකිය,නීතිවේදී අනිල් බාල්චන්දනී(Anil Balchandani) සහ පාර්ති යුක්තිය වෙනුවෙන් වසර කීපයක අරගලයක නිරත වූහ.

සිංගප්පූරුවේ සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා නෛතික පහසුකම් සලසන නමුත්, එම ශ්‍රමිකයන් ඔවුන්ගේ පවුල්වල එකම ආදායම් මාර්ගය වන නිසාත්, ආදායම් මාර්ගයකින් තොරව ඔවුන්ට මාසවලින් නොව අවුරුදු ගණන් ගතවෙන නඩුවල පැටලීමේ හැකියාවක් නොමැති නිසාත් නීතිමය ගැටලුවලට මුහුණදෙන අයගෙන් බහුතරය තම ප්‍රශ්න වෙනුවෙන් සටන් නොකරන බව ‘Home’ රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දෙයි.

තම වාසියට ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුවෙන් පසු ප්‍රකාශයක් කළ පාර්ති තමා ආපසු ඉන්දුනීසියාවට යාමට තීන්දු කළ බව පවසයි.

”දැන් මගේ ප්‍රශ්නය අවසානයි.මට ඉන්දුනීසියාවට යාමට අවශ්‍යයි” ඇය මාධ්‍යයට කියා සිටියාය.

”මම මගේ හාම්පුතාට සමාව දෙනවා. ඒවගේම, මට සිදුවූ දෙය වගේ අවස්ථාවකට වෙනත් කිසිම ශ්‍රමිකයකුට මුහුණදීමට සිදු නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා”

(බීබීසී නිව්ස් හි ඉවෙට් ටෑන් සකස් කළ ලිපියක් ඇසුරිණි)