‘මම 2025 ජනපතිවරණය එන්නෑ’ – ගෝඨා යළි යළිත් සහතික වෙයි

‘මම 2025 ජනපතිවරණය එන්නෑ’ – ගෝඨා යළි යළිත් සහතික වෙයි
Spread the love

තමන් 2025 ජනාධිපතිවරණය යළි ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි යළිත් අවධාරණය කර තිබෙනවා.

පසුගියදා මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් හා දුරකතන සංවාදයක් පවත්වා ඇති ජනාධිපතිවරයා උන්වහන්සේට පවසා ඇත්තේද තමන් නැවත ජනාධිපතිවරණයකට තරඟ නොකරන බවයි.

මේ අතර පසුගිය දා ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂ 10ක් සමඟ පැවැති සාකච්ඡාවේදි ද ජනාධිපතිවරයා තම තීරණය යළි අවධාරණය කර තිබෙනවා.

මෙහිදී ආණ්ඩුව වේගයෙන් ජනතා අප්‍රසාදයට ලක්වන බවත් ඊට බලපා ඇති හේතුත් සුළු පක්ෂ විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී තම යෝජනා ද ඉදිරිපත් කර තිබෙනවා.

එහිදි ඔවුන් යෝජනා කර ඇත්තේ ආණ්ඩුවේ පක්ෂ සන්ධානයේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ විසින් බාරගත යුතු බවත් නිරන්තරයෙන් සුළු පක්ෂ නියෝජිතයන් සමඟ සම්බන්ධ වෙමින් සාකච්ඡා පවත්වමින් 2025 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රචාරක යාන්ත්‍රණයකට දැන් සිටම එළඹිය යුතු බවත්ය.

‘ ඔබතුමා ඔසවා තැබීමේ වගකීම අපට කළ හැකියි‘ මෙහිදී ඔවුන් අවධාරණය කර තිබෙනවා.

එහෙත් ජනාධිපතිවරයා ඔවුන්ගේ උපාය මාර්ගික සැලසුම ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී දැඩිව අවධාරණය කර ඇත්තේ තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

‘ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ සුළුජාතික ඡන්ද ලබාගත හැකි අපේක්ෂකයෙක්. ඒ අපේක්ෂකයාට අවශ්‍ය සිංහල ඡන්ද ටික මට එකතු කර දිය හැකියි‘ ජනපතිවරයා පවසා තිබෙනවා.

මේ වන විට ජනාධිපතිවරයා සියලුම අංශ වලින් අසමත් වී ඇති බවට පොදු මතයක් සමාජය තුළ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. බඩුමිල ඉහළ යාම, කොවිඩ් පාලනයෙන් ගිලිහීම මෙන්ම ජනපතිවරයා විසින් මහත් විශ්වාසයෙන් පත් කළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් ‘අසමත්වීම‘ මේ අතර කැපී පෙනවා.

විශේෂයෙන් ජනපතිවරයා සිදුකරන ‘ගම සමග පිළිසදර‘ මේ වන විට ජනතාව අතර හාස්‍යයට ලක්ව තිබෙනවා.