පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව හංගන්න අවශ්‍යතාවක් නෑ – ජනපති

පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව හංගන්න අවශ්‍යතාවක් නෑ – ජනපති
Spread the love

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සැඟවීමේ කිසිදු අවශ්‍යතාවක් තම රජයට නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණයෙන් කියා සිටී. ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් හෝ සමග ඩීල් දාන්නේ නැති බවත්, කිසිවෙකු සන්තෝෂ කිරීමට වුවමනාවක් නැති බවත් ජනාධිපතිවරයා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ප්‍රශ්නයකි. එය දේශපාලන තේමාවක් කර නොගත යුතුය. මේ විපත සම්බන්ධයෙන් නිවැරදිව ක්‍රියාකිරීම ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමකි. ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන්ට ඇති වේදනාව සාධාරණය. උන්වහන්සේ ඒ ගැන කථා කිරීම නිවැරදිය. ප්‍රහාරය සිදුවූ වේලාවේ නිහඬව සිටි එදා ආණ්ඩුවේ දේශපාලනඥයන් දැන් කළු කොඩි දැමීම කණගාටුවට හා හාස්‍යයට කරුණක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පාස්කු ප්‍රහාරය පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2019 වසරේ සිදු වූවකි. එදා පැවති රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා කළකිරී සිටි ජනතාව සමුපකාර සමිති ඡන්දයේදී මෙන්ම 2018 පෙබරවාරි මස පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ද ආණ්ඩුව කෙරෙහි දැඩි විරෝධය ප්‍රදර්ශනය කළහ. තමා පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා බලයට පැමිණියේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. 

2015 ට පෙර පැවති රජය ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වය දී තිබිණ. 2015 දී බලයට පැමිණි පිරිස ජාතික ආරක්ෂාව අමතක කළහ. කුමන මානව හිමිකම් චෝදනා නගනු ලැබූවද 2015ට පෙර පැවති ආරක්ෂක ප්‍රතිපත්තිය යළි සක්‍රීය කර තිබේ.

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ රජයට බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. දෙමළ බෙදුම්වදී ත්‍රස්තවාදයට හෝ ඉස්ලාම් අන්තවාදයට හෝ හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවත්, පදනම් විරහිත සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කියා සිටී.

අද (06) පෙරවරුවේ කුරුණෑගල දිස්‍ත්‍රික්කයේ, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, වේරගල ග්‍රාම නිලධාරී වසමේ මාඳුරාගම ක්‍රීඩාපිටියේ පැවති “ගම සමග පිළිසඳර” 13 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.